කවුද මේ 'නයනී'

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහ වෙන නමක් තමයි ‘නයනී’ කියන්නේ. ඒ වස්ති විසින් සමාජ මාධ්‍යයට මුදා හැරුනු නවතමව වීඩියෝවේ චරිතයක් පිළිබඳවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්න ගත්තා. ඉතිං ඇයව අපි මෙලෙස සම්බන්ධ කර ගත්තා. අජානි නවංජනා කියන්නේ වෘත්තීමය නිවේදිකාවක්. මේ වෙද්දි මාධ්‍ය ආයතන කිහිපයකම නිවේදිකාවක් ලෙස අජානි වැඩකටයුතු කර තිබෙනවා. සියත ටී. වී. ආයතනයේ වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරන අජානි
හමුවුණේ මේ විදිහට.


ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම අජානි නවංජනා. මම කැළණිය විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක්. මම හදාරන්නේ ජනමාධ්‍ය විෂය. අධ්‍යාපනය හදාරන ගමන් මම සියත මාධ්‍ය ආයතනයේ නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. මම මුලින්ම වැඩ කරේ දෙරණ මාධ්‍ය ආයතනයේ. මාධ්‍ය ආයතනයක වැඩ කරන එක මගේ අධ්‍යාපනයට ලොකු රුකුළක්.

නිවේදිකාවක් විදිහට දායක වන වැඩසටහන් ගැන කිව්වොත්?

පියුම් විල, ගින්දර වගේ, සොඳුරු පියස කියන වැඩසටහන්වල නිවේදිකාව විදිහට වැඩ කරනවා.කලින් නම් මීට වඩා කරා.

නිවේදනයට සම්බන්ධ වුණේ ඔබ අධ්‍යාපනය හදාරන්නේ ඒ විෂය ක්ෂේත්‍රය නිසාද?

නැහැ. මම පාසල් යන කාලේ ඉඳලාම මීඩියා ක්ලබ් එකේ හිටියා. මීඩියා වැඩවලට සම්බන්ධ වුණා. පුදුම මීඩියා පිස්සුවක් තිබුණා. ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න ආසාවක් තිබුණා. ඊටපස්සේ ඒ ආසාව වෙනස් වුණා දෙරණට සම්බන්ධ වුණාම. නමුත් නිවේදිකාවක් වෙන්න තිබුණු ආශාව ඉෂ්ට කරගත්තා. නමුත් තවම මම මීඩියා ගැන ඉගෙනගන්නවා.

නවක නිවේදකයන්ට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහය කොහොමද?

දෙරණ ආයතනයේ වැඩ කරද්දි මට ප්‍රවීණයන්ගෙන් ලොකු සහයක් ලැබුණා. දෙරණ ආයතනයේදි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. නිවේදනය කියන්නේ කැමරාව ඉදිරියේ කතා කිරීමම විතරක් නෙවෙයි කියලා දැනගත්තා. සියත ආයතනයේ වැඩ කරද්දිත් ඒ වගේමයි. සියතේ අරුණි කොඩිතුවක්කු, ආශා ලියනගේ වගේ අය ගොඩක් උදව් කරා. තව වජිර ජයවර්ධන, අනුරාධ සිගේරා, කමල් දේශප්‍රිය, අතුල ජයසිංහ, නාරද බක්මීවැව වගේ නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ශිල්පීන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

විශ්ව විද්‍යාලයෙන් කොහොමද ඔබේ වෘත්තියට ලැබෙන සහය?

කැම්පස් එකේ අපේ කණ්ඩායමෙන් මට හොඳ සහයක් ලැබෙනවා. මගේ විභාගවලදි නෝට් හොයාගන්න උදව් කරනවා. ඇත්තටම කැම්පස් එකේ හැමෝගෙන්ම වගේ ලොකු සහයක් ලැබෙනවා.

අජානිට අධ්‍යාපනයයි වෘත්තියයි සමබරව ගෙනයන්න පුළුවන්ද?

ඔව්. උසස් පෙළ ඉවර වුණු ගමන් මට හිතුණා මම මොනවා හරි කරන්න ඕනේ කියලා. ඒක නිසා මම ඩිප්ලෝමා එකක් කරලා ජොබ් එකට ඇප්ලයි කරා. විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉඳලා මම දෙරණ ආයතනයේ වැඩ කරේ. මගේ ලෙක්චර්වලට හෝ විභාගවලට මගේ ජොබ් එක බලපෑවේ නැහැ. මම දෙපැත්තම සමබරව කරගෙන යනවා.

ගෙදරින් මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ ඔබට?

මමයි, අම්මයි, තාත්තයි, අයියාලා දෙන්නයි ගෙදර ඉන්නේ. පවුලේ හැමදෙනාම මම ඉන්න තැන ගැන සතුටු වෙනවා. මම මේ තැනට ආවේ මගේ උත්සහයෙන් නිසා.

රංගනයට යොමු වෙන්න ආසාවක නැද්ද?

මියුසික් වීඩියෝ කිහිපයකට නම් මට ආරාධනා ලැබුණා. නමුත් රංගනයට යොමු වෙන්න කියලා මගේ ලොකු කැමැත්තක් නැහැ. ඊටවඩා එහා ගිය බලාපොරොත්තු තියෙන්නේ මට. නමුත් චිත්‍රපටයකට දායක වෙන්න ආසාවක් තියෙනවා.

අජානි ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මගේ උසස් අධ්‍යාපනයට මම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. තව මට ලොකු ආසාවක් තියෙනවා ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. ඒ තැනට මම කොහොමහරි යනවා. විදේශගත වෙන්න කලින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ ගමනට ශක්තියක් වුණු අය ගැන කිව්වොත්?

මම මෙතැනට එන්න ඇත්තටම ගොඩක් අය උදව් කරා. මගේ පවුලේ අයට ස්තූතියි කරන්න ඕනේ. මගේ යාළුවෝ, එතකොට ඉනෝෂා පරණහේවා, කසුන් තිවංක, සාරංග අයියා, මේ අයටත් මම ස්තූතියි කරනවා. මට මේ තැනට එන්න පාර පෙන්නපු එක්තරා පුද්ගලෙයෙක් ඉන්නවා. නමුත් ඔහු මට පාර පෙන්නලා ඒ හීනය බොඳ කරන්නත් හැදුවා. එතන ඉඳලා මම තමයි හැමදේම තනියෙන් කරගත්තේ. ඒ වගේ මගේ ළඟම හිටපු අයගෙන් සමහරු මාව වට්ටන්න උත්සහ කරා. නමුත් මම වැටුනේ නැහැ. එයාටත් මම මේ වෙලාවේ ස්තූතියි කරනවා.



සටහන - කැළුම් දේවින්ද