gossip lanka

බළලෙක් නිසා වැරදිකරුවෙක් වූ WikiLeaks සම නිර්මාතෘවරයාගේ අරුම පුදුම කතාව - Photos

ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලය තමන්ට පනවා ඇති නියමයන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවකදී WikiLeaks සම නිර්මාතෘ ජූලියන් අසාන්ජ් වැරදිකරු බවට ඉක්වදෝර් විනිසුරුවරියක තීන්දු කර තිබේ. විනිසුරුවරිය තීන්දු කර ඇත්තේ, ඉන්ටර්නෙට් භාවිතය වෙනුවෙන් මුදල් ගෙවීම සහ ඔහුගේ නිවසේ සිටින බළලාට නිසි රැකවරණයක් සැලසීමට නියම කිරීම ඔහුගේ අයිතිවාසිකම්
උල්ලංඝණය කිරීමක් නොවන බවටය.

ඔහුට ලන්ඩන්හි ඉක්වදෝර් තානාපති කාර්යාලය කර තිබූ නියෝගවලට එරෙහිව නඩුවක් ගොනු කරමින් අසාන්ජ් තර්ක කර තිබුණේ, අදාළ කොන්දේසි හරහා "සිය මූලික අයිතිවාසිකම් සහ නිදහස" උල්ලංඝණය වන බවය.

එම කොන්දේසි හරහා තමන්ව තානාපති කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කරවීමට උත්සහ කරන බවට ද ඔහු චෝදනා කර තිබිණි. ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් ස්වීඩනයට භාර දීම වැළැක්වීම සඳහා ඔහු ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලැබුවේ, මීට වසර 6 කට පමණ පෙරය.

යම් හෙයකින් ඔහු තානාපති කාර්යාල පරිශ්‍රයෙන් පිටතට ගියහොත් ඇප කොන්දේසි කඩ කිරීම මත අත්අඩංගුවට පත් වනු ඇත.

මේ මස මුලදී, ලන්ඩන්හි ඉක්වදොර් තානාපති කාර්යාලය විසින් ඔහුට නව නියමයන් කිහිපයක් පැවරූ අතර ඉන් ඉන්ටර්නෙට් බිල ගෙවීම සහ ඔහුගේ බළලාට අවශ්‍ය රැකවරණය ලබා දෙන ලෙස දැනුම් දී තිබිණි. ඊට අමතරව ඔහුගේ නාන කාමරය (bathroom) පිරිසුදු කරන ලෙසත් ඇඳුම් සේදීමේ සහ ආහාරවල ගාස්තු ගෙවන ලෙසත් දන්වා තිබිණි.

විකිලීක්ස් සමාගමේ නීතිඥ බැල්තසාර් ගාර්සන් මෙම නඩුව ගොනු කළ අතර, සඳුදා ඉක්වදෝරයේ ක්විටෝහිදී පැවති නඩු විභාගය සඳහා ඔහු ඩිජිටල් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. ඔහු එහිදී අධිකරණයට පැවසුවේ, ඉක්වදෝරය තමාට ලබා දී ඇති රැකවරණ නවතා තමන්ව අමෙරිකාවට භාර දීමට උත්සහ දරන බවය.

මේ අතර, අමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙසන්ස් (Jeff Sessions) පවසා තිබුණේ, ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම "ප්‍රමුඛ" කටයුත්තක් ලෙස සලකන බවය. මෙහිදී අධිකරණය හමුවේ අදහස් දක්වමින් ඉක්වදෝර් නීතිපති ඉනිගෝ සැල්වදෝර් (Inigo Salvador) සඳහන් කළේ, "අදාළ නියමයන් පිළිපදිනවා නම් ඔහුට අවශ්‍ය තරම් කාලයක් තානාපති කාර්යාලය තුළ රැඳී සිටිය හැකි," බවය.

ඔහු තානාපති කාර්යාලයේ රැඳී සිටි කාලය සඳහා මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6 ක් වැය වී ඇති බව ද නීතිපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙමින් විනිසුරු කරීනා මාටිනස් පැවසුවේ, අසාන්ජ්ගේ ජීවන තත්ත්වය පිළිබඳව තීරණය ගත හැක්කේ ඉක්වදෝර් විදේශ කටයුතු අමාත්‍යංශයට බවය. මේ සම්බන්ධයෙන් අසාන්ජ්ගේ නීතිඥවරුන් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය ඉදිරි දිනවලදී විභාගයට ගැනීමට නියමිතය.

පසුගිය මාර්තු මාසයේදී ලන්ඩන්හි ඉක්වදෝර් තානාපති කාර්යාලය ඔහුගේ ඉන්ටර්නෙට් සබඳතාව ඉවත් කළේ, ඔහු "අනෙක් රටවල කටයුතුවලට මැදිහත් වන බවට" චෝදනා කරමිනි.

කෙසේ වෙතත්, පසුව ඔහුට යම් සීමාවකට යටත්ව ඉන්ටර්නෙට් සබඳතාව ලබා දී තිබිණි.


gossip lanka