36 හැවිරිදි තරුණිය විවාහ කරගන්න 21 හැවිරිදි මනාලයාට මංගල්‍ය දා බෑ හිතිලා

මනාල මහතා විවාහ මංගල උත්සවයට නොපැමිණියා යැයි මනාලියක් කළ පැමිණිල්ලට දෙපාර්ශ්වයම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන පැමිණිලිකාරියට සිවිල් අධිකරණයේ නඩුවක් ගොනු කරන ලෙස පෙරේදා (30දා) පොලිසිය උපදෙස් දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.

මෙලෙස උපදෙස් දී ඇත්තේ කෑගල්ල දේවාලේගම
පදිංචි 36 හැවිරිදි කාන්තාවකටය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ 36 හැවිරිදි තරුණියක් ඇඟලුම් ආයතනයක වසර 10ක පමණ කාලයක සිට මැෂින් ක්‍රියාකරවන්නියක ලෙස සේවය කරමින් සිටියි. ඇය අම්පාර ප්‍රදේශයේ පදිංචි දැනට මිත්තණියගේ නිවෙසේ තාවකාලිකව පදිංචිව සිට අදාළ ඇඟලුම් ආයතනයේ සේවයට පැමිණ ඇති අතර එහිදී 21 හැවිරිදි තරුණයකු සමඟ මීට වසරකට පමණ ඉහතදී ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බව පොලිසිය කියයි. පසුව මෙම තරුණයා සහ තරුණිය කිසිවකුට නොදන්වා විවාහ රෙජිස්ට්‍රාර්වරයකු ළඟට ගොස් විවාහ වී ඇති අතර පසුව යුවළ විවාහ වීම සම්බන්ධයෙන් මනාලියගේ පාර්ශ්වයේ අය පමණක් දැනගෙන ඇති බවද පොලිසිය කියයි.

ප්‍රේම සම්බන්ධතාව ආරම්භ කළ 21 හැවිරිදි තරුණයා මවුපියන් හට විවාහ වූ බව නොදන්වා ඇති බවද වාර්තා වෙයි. මේ අතර මනාලියගේ මවුපියන් සිය දියණියගේ විවාහ මංගල්‍යය උත්සව අතිඋත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට අවශ්‍ය සියලුම කටයුතු සිදුකර ඇති අතර ඒ සඳහා අලව්ව ප්‍රදේශයේ විවාහ මංගල උත්සව ශාලාවක් ඒ වෙනුවෙන් වෙන්කරගෙනද තිබිණි.

මනාලයා මංගල දිනයට පෙර දින වූ 24දා මනාලියගේ නිවෙසට පැමිණ ආපසු ගොස් ඇති අතර පසුදින මනාලිය සිය මංගල ඇඳුමින් සැරසී ඥාතීන් සමඟ විවාහ මංගල්‍යය පැවැත්වෙන අලව්වේ උත්සව ශාලාවට ගොස් තිබිණි. උත්සව ශාලාවේ ඡායාරූප ශිල්පීන් උඩරට වෙස් කණ්ඩායමක් හා සංගීත කණ්ඩායමක්ද සූදානම් කර තිබුණු අතර මනාලිය පෝරුවට නැඟීමටද මනාලයා පැමිණෙන තෙක් බලා සිට ඇති අතර මනාලයා නොපැමිණීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් ඥාතීන්ට හා පැමිණ සිටි සියලුදෙනාට දන්වා මනාලිය මවුපියන් සමඟ කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.එන්. සමරනායක මහතා වෙත දැන්වීය.

පසුව ස්ථානාධිපතිවරයා ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කළ අතර එම කාර්යාංශය විසින් දෙපාර්ශ්වයම කෑගල්ල පොලිසිය වෙත කැ¼දවා තිබිණි. එහිදී මනාලයාගේ මවුපියන් විමතියට පත්ව ඇති අතර දෙපාර්ශ්වයේ ප්‍රකාශ සටහන් කරගෙන පොලිසිය පැමිණිලිකාරියට ප්‍රකාශ කර ඇත්තේ සිවිල් අධිකරණයේ නඩුවක් ගොනු කර එහි පිහිට පතන ලෙසය.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.එන්. සමරනායක මහතා, ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා සංදීපනි, පොලිස් සැරයන් බණ්ඩාර (30422) සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරයි.

(මව්බිම)


gossip lanka