1818දී උෟවට කළ විනාශයට බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලා අත්සන් ලක්ෂ 15කින් යුතු ජනතා පෙත්සමක්

වර්ෂ 1818 උෟව - වෙල්ලස්ස අරගලයේදී උෟව පළාතට සිදුකළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා බ්‍රිතාන්‍යයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ගොස් අස්සන් ලක්ෂ 15කින් යුතු මහා ජනතා පෙත්සමක් ඉදිරිපත් කිරීමට උෟව පළාත් සභාව තීරණය කරයි.

උෟව - වෙල්ලස්ස අරගලයට වසර 200ක් සපිරෙන ඉදිරි නොවැම්බර් මාසයේදී එය හුදු සැමරුමක් බවට
පත් නොකර පළාත ගොඩනැඟීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකට යා යුතු බවට උෟව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා...උෟව පළාත් සභාවට ගෙන ආ යෝජනාවක් පිළිබඳව අදහස් දක්වමින් අතුරු යෝජනාවක් ලෙස උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම යෝජනාව උෟව පළාත් සභාවට ඉදිරිපත් කළේය.

යෝජනාව ගෙන එමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ අතීත හිරු නොබසින අධිරාජ්‍යයේ කිසිදු යටත් විජිතයකට සිදු නොකළ තරමේ දැවැන්ත විනාශයක් බ්‍රිතාන්‍යයන් විසින් උෟවට සිදුකළ බවයි.

අදටත් ලංකාවේ දුප්පත්ම පළාත ලෙස උෟව පළාත සංවර්ධනය නොවී පවතින අතර පැවැති රජයන් පවා වෙනත් පළාත් තුළ සිදුකළ සංවර්ධනය උෟවේ සිදු නොකළ බව පෙන්වා දුන් හෙතෙම පළාත ගොඩනැඟීම පිණිස ලක්ෂ පහළොවක් පමණ වූ පළාතේ සියලු ජනතාවගේ අස්සනින් යුතු පෙත්සමක් රැගෙන පළාත් සභාවේ මහජන නියෝජිතයන් තිස්හතර දෙනාම ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත යා යුතු බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවැසීය.

අද කවුරුත් කතා කරන්නේ පුදුමාතලන් සටන ගැන. ඒත් ඊට වඩා විශාල සටනක් එක්දාස් අටසිය දහඅටේ උෟව පළාතේ සිදුවුණා. පුදුමාතලන් සටනෙදි අපිට ආයුධ බලය තිබුණා. යුද, ගුවන්, නාවික හමුදා දියුණු නවීන අවි ආයුධ තිබුණා. සටන් කළේ අපේම රටේ දෙපිරිසක්. ඒත් එදා ඒ කිසිවක් නැතිව අපේ අය සටන් කළේ ලෝකයේ බලවත්ම අධිරාජ්‍යයක් සමඟ.

අපේ සමහරු සටන පාවාදීම නිසයි සටන පැරදුණේ. යුද්ධ කරලා උෟව පළාත පරාජය කරන්න බැරි බව වටහා ගත්ත අධිරාජ්‍යවාදීන් කළේ පළාතේ ගහකොළ, හරක බාන, වැව් අමුණු, කුඹුරු, වතුපිටි සියල්ල ගම්බිම් පිටින් විනාශ කිරීමයි. අදටත් අපිට ඒ විනාශයෙන් ගොඩ ඒමට නොහැකිව සිටිනවා.

එදා හිරු නොබසින අධිරාජ්‍යයේ කිසිදු රටකට නොකළ තරම් විනාශයක් ඔවුන් මේ උෟවට සිදුකළා. ඉංග්‍රීසීන් උෟවට එල්ල කළ ප්‍රහාරය ඒ තරම්ම දරුණුයි, අමානුෂිකයි, ම්ලේච්ඡයි. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ අය මේවා ගැන දන්නේවත් නෑ.

දෙමළ ඩයස්පෝරාව හෝ එල්ටීටීඊ හිතවාදීන් මානව හිමිකම් යනවා. ඒ වගේ අපිත් අපිට සිදුවූ අසාධාරණයට එරෙහිව මානව හිමිකම් යා යුතුයි. අපිට සිදුකළ විනාශය වෙනුවෙන්  බ්‍රිතාන්‍ය රජය අපිට වන්දි ගෙවිය යුතුයි. උෟවේ ලක්ෂ පහළොවක පමණ ජනතාවක් ඉන්නවා. අපි උෟව පළාත් සභාව මැදිහත් වී පළාතේ සෑම නගරයක් පාසාම ගිහින් සියලු ජනතාවගේ අස්සනින් පෙත්සමක් අස්සන් කරන්න ඕනෑ. පළාත් සභාවේ මැති ඇමැතිවරු තිස් හතර දෙනාම ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ගිහින් ඒ පෙත්සම භාරදෙන්න ඕනෑ.