පාසල් කාලයේදී නොසැඟ වූ ආදරයක් තිබුණා- තනියට තමයි මාත් එක්ක ආවේ

තුෂිනි මරියා ප්‍රනාන්දු අම්මයි, තාත්තයි, නංගිලා තුන්දෙනයි එක්ක පදිංචිව හිටියෙ ඉතාලියෙ. මේ විදියට සිටියදී තුෂිනිට රඟපෑමේ අවස්ථාවකට ආරාධනා ලැබුණා.  ඒත් එක්කකම කලා ලෝකයට ඇය අවතීරණ වුණා.
ඇය ඒ පිළිබඳ පුවත්පතකට පැවසූවේ
මෙවැන්නක්...........

තුෂිනි කියන්න ද? මරියා කියන්න ද?


තුෂිනි කියලා තමයි ලංකාවේ හැමෝම දන්නෙ. හැබැයි ඉතාලියේදී හැමෝම වගේ මට කතා කරන්නෙ මරියා කියලා.

ඒ කියන්නෙ ලංකාවට තුෂිනි, ඉතාලියට මරියා?

ඔව්.

උපන්නෙ?

මාරවිලදී.

පවුලේ විස්තර කිව්වොත්?

අම්මයි, තාත්තයි, නංගිලා තුන්දෙනයි. නංගිලා දෙදෙනෙක්ම ඉතාලියේ සරසවි අධ්‍යාපනය ලබනවා. අම්මයි, නංගිල දෙන්නයි, තාත්තයි, මමයි අපි ඔක්කෝම හිටියෙ ඉතාලියේ. මටයි, තාත්තටයි ලංකාවට එන්න සිද්ධ වුණා.

හේතුව?

රඟපෑමට ආරාධනා ලැබුණ නිසා.

 කොහොමද රඟපෑමට ආරාධනා ලැබුණේ.

එහි රූපලාවන්‍යය ආයතනයක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකික ශිල්පිනියකගේ ඇරයුම නිසා මට මනාලියක ලෙස නිරූපණය කිරීමේ අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවෙ එයාගෙ යාළුවෙකුත් එම විලාසිතා ප්‍රදර්ශනය නරඹන්න ඇවිත් හිටියා. රඟපාන්න කැමතිද කියලා එයා ඇහුවා. ඇත්තටම රඟපෑම ගැන ආසාවක් උනන්දුවක් තිබුණත් ඊට පෙර තිර පරීක්ෂණයකටවත් ඉඳලා නැහැ. කොහොමහරි එදා මනාලියන්ගේ දැක්මෙන් පසුව ඒ අක්කා මගේ ඡායාරූපයක් සද්ධාමංගල සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්වරුන්ට ලබා දී තිබුණා. චාමර සමරවික්‍රම මහතා තමයි මෙහි නිෂ්පාදක.

 දැන් මෙතැන් සිට දිගටම රඟපෑමට ද කැමැත්ත තියෙන්නෙ?

දැන් මේ ලැබුණු අවස්ථාවෙන් පසුව තවත් අවස්ථා ලැබුණා. උදාර පල්ලියගුරුගේ ගේ අපුරු නිර්මාණයක් වන ‘ක්‍රයිම් සීන්’ රඟපාන්න ලැබුණෙ. එය මා ලැබූ තවත් විශාල භාග්‍යයක්. එහි අමිත්ත වීරසිංහ, සනත් විමලසිරි, කළන ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණයින් සමග රඟපෑමට ලැබීම ලොකු වාසනාවක්. මේ ක්‍රයිම් සීන් නාට්‍ය ඇත්තටම හරිම වෙනස්. දැන් මම මේ ‘ක්‍රයිම් සීන්’ එනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ. ඒක ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ලොකුම වෙනසක් රැගත් නාට්‍යයක් වේවි.

 තුෂිනි දැන් අධ්‍යාපන කටයුතුවලට සමුදීල ද?

ඇත්තටම නැහැ. දැනට මේ බාරගත්ත වැඩ ටික ඉවර කරලා නැවත මගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න ඕනෑ. මම උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්. පසුව ඉතාලියට ගිහින් ඉතාලි බස ඉගෙන ගෙන උසස් අධ්‍යාපනය සඳහා පෙළ ගැසුණා. ජීව විද්‍යා අංශයෙන්ම තමයි ඉගෙන ගත්තෙ. ඒ අතරේ රැකියාවක් හොයාගෙන ඒකත් කළා. ඉගෙන ගන්න වියදම් කරන්න සල්ලිත් ඕනෑ නිසා. ඉතාලි බස කියන්නෙ වෙනමම භාෂාවක්. හරිම සංකීර්ණයි. නමුත් මම මගේ ගමන ඉදිරියටම යන්න උත්සාහ ගන්නවා.

 ඉතාලි භාෂාව උගන්වනවා නේද?

මම උගත් දේ තවත් පිරිසකට ලබාදීම ප්‍රායෝගික දෙයක්. ඉතින් ඉතාලියේදී ස්වේච්ඡාවෙන්ම ඒ භාෂාව උගන්වන්න මම පල්ලියකට සම්බන්ධ වුණා. පසුව ලංකාවට ඇවිල්ලත් පංති කළා.

ඉතාලි භාෂාවෙන් ආදරයට කියන්නේ?

‘අමෝරේ’ කියලයි.

කාට හරි ‘අමෝරේ’ කියලා, කියලා තියෙනවද?

පාසල් කාලයේදී නොසැඟ වූ ආදරයක් තිබුණා. මම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්. වර්තමානයේදී නම් ආදරයක් නැහැ.

දැන් පෙම්වතෙක් නැහැ කියලා ඉතාලි භාෂාවෙන් කිව්වොත්?

නිඇන්තෙ ෆිනාන්සා.

තුෂිනි පවුලේ අයට සහ තාත්තාට විශේෂයෙන්ම ගොඩාක් ආදරේලූ නේද?

එහෙම වෙන්න ඕනෑ නේද? තාත්තා මගේ තනියට තමයි මාත් එක්ක ආවේ. ඇවිත් මාව උනන්දු කළා. මාස දෙකක් විතර සිටියදී තාත්තා අසනීප වුණා. ඉතින් දැන් තාත්තාව සුවකර ගැනීම තමයි අපි ඔක්කෝගෙම එකම පරමාර්ථය.

දැන් තුෂිනිට වයස?

අවුරුදු 24 යි.

‘‘තුෂිනි’’ කොහොම කෙනෙක්ද?

මගේ මව්පියන් මට උගන්වලා තියෙන්නෙ ඉතාම සරලව පොළවේ පයගහලා මනුස්සකම එක්ක ජීවත් වීමටයි. ඉතින් ආඩම්බරකමක් නැහැ. එහෙම වෙන්න දෙයකුත් නැහැ. මම හරි හොඳයි. මට හිතෙන්නෙ එහෙමයි.

සටහන: සඳුන් ගමගේ