යාපනය කොටි කඳවුරුවල දසවධ විඳපු හැටි තෙබුවන සාජන් මහත්තයා කියන කතාව

විමුක්ති දායකයන් සහ තව දුරටත් සත්‍යවාදීන් එක පිම්මේ මිනිස් සබඳතා අතර මැද්දට කඩා පාත්වන මෙවන් යුගයක් ඉතිහාසයේ කෙදිනකවත් නොතියෙන්නට නම් ඇති/ඛේදාන්තය; මෙවන් විමුක්ති දායකයන් සහ සත්‍යවාදීන් යුහුසුලුව තම තමන්ගේ රාජකාරිවල නිරතව සිටියදී පවා විමුක්ති සහ සත්‍ය අහිමි කරන අන්දමේ ක්‍රියාන්විතයන් දීයත්වීමනේ. එහිලා මෙම විමුක්ති දායකයන් සහ
සත්‍යවාදීන් තේරුම් ගත යුතු කරුණ වන්නේ ජීවිත පරමාදර්ශයන් මෙකලදී කාලයට හා අවකාශයට සම්බන්ධ කර නැති බවයි.

මේ ආරෝව පවතින්නේ කුමන යුගයකදීද එම යුගය තුළ අතීතයක් නැති, වර්තමානයක් ඇති විමුක්ති දායකයන් සහ සත්‍යවාදීන් පහළ වීම, සැබැවින්ම විළිලැජ්ජාවක් නැති තරමේ සහ තමන් කවුරුන්ද යන්නට "අනේ / උත්තරයක් දෙන්නකෝ" යන අයැදීමේම දිගුවකි.

අතීතයක් ඇති විමුක්ති - සත්‍යවාදීන් හැමවිටකදීම පරමාදර්ශයක් තම සිත් තුළ කාවද්දවා ගත් මනුෂ්‍යයන් වන අතර ඔවුන් හැමවිටකදීම උත්සාහ ගනු ලබන්නේ කවර තත්ත්වයක් යටතේ වුවත් තමන්ගේ විශිෂ්ටත්වය පවත්වාගෙන යෑම සඳහායි. ඉන් මත්තට පහසුවෙන් බෑවුම් මත පහළට පෙරළීමට දක්වන්නේ නොනැඹුරුවකි. මනුෂ්‍යයන්ට වඩා සමාජයේ විශාල නිසා එහිදී ඔවුන් නිනව්වක් නොමැත්තන් බවට පත්වීමට ඇති ඉඩ කඩ වැඩි වුවද සැබෑ සත්‍ය - විමුක්තිකාමීන් වන්නේ ඔවුන් යැයි නොබියව පැවැසිය හැකිය.

එවැන්නෙක් අප ඉදිරියේය. පොලිස්-අධිකාරීත්වය ලැබූ පොලිස් - වැලි - දේශපාලනය නම් තුන් අෑඳුතු සංකල්පය මත සිට අපට, අප කථානායකයා තේරුම් බේරුම් කර ගැනීමට සිදුවන නිසා එහි සමාජයීය ආරෝවක් තිබේ. ඒ සමාජයීය ආරෝව විසින් නිර්මාණය කරන ලද හිඩැස තුළ අප ඉදිරියේ සිටින්නාද යම් පමණකට ගිලී නොගොස් සිටියා නම් මෙම කතාබහ මීටත් වඩා ගෞරවනීය වීමට ඉඩ තිබුණු බව නම් කිව යුත්තේය.
ඔහු නමින් සනත් ගුණවර්ධන. සතියේ කතාබහ බරසාර කළ තෙබුුවන පොලිසියේ පොලිස් නිලධාරියාය. ඉන් මත්තට සනත් තිදරු පියෙකි.

යුතුකම් දන්නා ස්වාමිපුරුෂයෙකි. සමාජයට සැබෑ සහෝදරයෙකි. නඩු නිමිත්ත උසාවියේ එළිපත්ත පැන ඇති නිසා එය තහනම් වචනය බවට පත්කරගෙන අප සනත්ට සවන් දෙමු. ඔහුගේ දිගු ඉතිහාසය තුළ තමන්ට සාපේක්ෂව නිවැරැදි යැයි උපකල්පනය කර වැගිරූ ශ්‍රමය දෙස සම සිතින් බලා සිටිමු.

ඔහුගේ මව සහ පියා ජීවිත වගා බිමේ සිටි කෘමීන් මෙන්ය. ජීවිතය ගැටගසා ගැනීමේ සටනේදී ඔවුනොවුන් පරාජය ලැබූ අවස්ථා බොහෝය. එම පරාජයන් හමුවේ සෑම විටකදීම පියා පුතුන්ට - දූවරුන්ට පවසා සිටියේ "කොන්ද කෙළින් තියා ගනිල්ලා" යන්න පමණි. දැන උගත් දෙපළක දූපුතුන් වුව මූලික අධ්‍යාපනය විනා ඉන් මත්තට යෑමට ඔවුන්ට, විශේෂයෙන් සනත්ට නොහැකි වන්නේ පවුලේ බඩගින්දර අන් අවශ්‍යතා සියල්ලට පෙර මූලික වීම නිසාය. හැබැයි; සනත්ලාගේ වැඩිමහල් සහෝදරිය ප්‍රියන්ති "බඩපොත්ත, පිටපොත්තට ඇලුණත් මලේ අධ්‍යාපනය අත නොහැරපන්" යන මතයේ සිටි නිසා සනත්ට බෝඹුවල කනිෂ්ඨයට ගිය දෙපා බස් රථයක රුවා ගෙන මතුගම ආනන්දය ඉදිරිපිටින් බස්සා ගැනීමට හැකිවුණා යැයි කීම නිවැරැදිය. "අක්කා මට උගන්වන්න බීඩි එතුවා. ගෙදර වැඩ පොළවලට අම්මාට උදවු වෙලා රෑ 10-12 වෙනකන් බීඩි එතුවා.

මට ඒක ඉවසා ගන්නා බැරි වුණා. ඒ වෙද්දි මම මතුගම ආනන්දයෙන් උසස් පෙළට ජීව විද්‍යා විෂයන් හදාරමින් හිටියේ. ඉගෙනීම පැත්තක තියලා මට වුවමනා වුණේ රස්සාවක් හොයා ගන්න. ගෙදර අයව ජීවත් කරවන්න පුළුවන් රස්සාවක් අක්කා බීඩි ඔතන එක නතර කරන්න පුළුවන් රස්සාවක් අහම්බෙන් වගේ මුණගැහුණු මගේ මිත්‍රයෙක් මට කිව්වා පොලිසියට ඉල්ලුම් පත්‍රයක් දාන්න කියලා."

ඒ අහම්බය සනත් රැගෙන ගියේ මල් මාමලා, ස්පාටකස්ලා, ටෝගලා, ඇන්.ඇම්ලා, සේනක බිබිලේලා, කොටකදෙණියලා, මෛත්‍රි වික්‍රමසිංහලා, අවසාන වශයෙන් කුජීතලාගෙන් පිරි ලෝකයකටය. මේ ඒ ලෝකය තුළ ඔහුට සිදුවුණු දෑහි පෙළගැස්මයි.

"මම 1989 උසස් පෙළට ජීව විද්‍යාව හදාරමින් සිටියදී තමයි පොලිසියට එකතු වෙන්නේ. මම පොලිසියට එකතු වෙන එක ගැන ගෙදර අම්මා තාත්තට ලොකු වැටහීමක් තිබුණේ නැහැ. ඒත් මගේ අක්කා, ප්‍රියන්ති හැම වෙලේම උත්සාහ ගත්තා මට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. 1989 පොලිස් කොස්තාපල්වරයෙක් වශයෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට මම ඇතුළත් වෙනවා.

ඉන් පසුව මම අනියුක්ත වෙන්නෙ බම්බලපිටිය පොලිසියට. ඔය කාලවකවානුවේ උතුරේ වගේම දකුණෙත් සන්නද්ධ ගැටුම් ඇතිවෙලායි තිබුණේ. දකුණේ හිටිය පොලිස් නිලධාරීන් උතුරට යන්න ප්‍රියතාවක් දැක්වූයේ දකුණේ පරිසරය උතුරටත් වඩා භයානක වෙලා තිබුණු නිසා. ඒ කාලේ රට දෙකොන ඇවිළුණු විලක්කුවක් වගේ. බම්බලපිටිය පොලිසියේ ඉඳලා මම වවුනියාව ඔඩ්ඩුසුඩාන් පොලිසියට ස්ථාන මාරුවක් අරගන්නවා. ඔය කාලේ උතුරේ තත්ත්වය සාමාන්‍යයි. ඒත් අවාසනාවකට වගේ ජුනි 2 දෙවැනි ඊළාම් යුද්ධය ආරම්භ වෙනවා.

ඔඩ්ඩුසුඩාන් පොලිසියට එල්ටීටීඊය පහර දෙන්නේ ඒ වර්ෂයේ හයවැනි මාසයේ 13දායි. පොලිසියේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 26 දෙනෙක් එල්ටීටීඊ අත්අඩංගුවට පත්වෙනවා. අපේ පොලිස් නිල ඇඳුම් ගලවපු එල්ටීටීඊය ප්‍රථම අපට සාමාන්‍ය ඇඳුම් ඇඳගන්න නියම කරලා පොලිස් ස්ථානයේ තිබුණු ආයුධ සියල්ල පැහැර ගන්නවා. ඔවුන් ඊට පසුව මාන්කුලම් පොලිසියේ බලයත් තමන්ගේ අතට ගන්නවා. මාන්කුලම් පොලිසියේ සිංහල පොලිස් නිලධාරීන් 18ක් ඒ වන විට සේවයේ යෙදී සිටියා. ඔඩ්ඩුසුඩාන් පොලිසියේ 26 දෙනයි මාන්කුලම් පොලිසියේ 18යි ඇතුළුව 44 දෙනෙක් එල්ටීටීඊ අත්අඩංගුවට පත්වුණත් එවකට පැවැති රජය එවැන්නක් පැවැති බව දැනගන්නේ සෑහෙන කාලයකට පසුව.

අත්අඩංගුවට ගත් අපි සියලුම දෙනා අත්අඩංගුවට පත්වුණේ එල්ටීටීඊ සංවිධානය සහ රජය අතර පැවැති සාම කාලයේදී. අපි අතේ ආයුධ තිබුණා නම් එදා අපි එල්ටීටීඊ අත්අඩංගුවට පත් වන්නේ නැහැ. එල්ටීටීඊයට විරුද්ධව සටන් නොකරන්න යැයි අපිට ඉහළින් උපදෙස් ලැබී තිබුණා. ඊට අමතරව සියලු ආයුධ ගබඩා කරන්න යැයි උපදෙස් ලැබී තිබුණා. මෙවැනි වටපිටාවකදී තමයි එල්ටීටීඊයේ 300ක් පමණ දෙනා ඔඩ්ඩුසුඩාන් පොලිසිය වටකරලා අපිව අත්අඩංගුවට ගත්තේ. අපි අත්අඩංගුවට පත් වෙන කොට කිසිම ආයුධයක් පාවිච්චි කළේ නැහැ.

සියල්ලන්ම සිටියේ නිරායුධව. එල්ටීටීඊය අපේ කැසට් රෙකෝඩර්, ඔරලෝසු, රත්රන් බඩු වගේ දේවල් එවෙලේම පැහැර ගත්තා. සිවිල් ඇඳුම් ඇඳගත්තට පසුව අපිව නෙදුන්කර්නිවලට රැගෙන ගියා. එහිදී අපව සිරකර තිබුණේ වඩු වැඩ කළ ගබඩාවක. එහි මසක පමණ කාලයක් අපව රඳවාගෙන සිට ඉන්පසු තුරුම්කායි ප්‍රදේශයට අපිව රැගෙන ගියා. අප හිතාගෙන හිටියේ මෙලෙස තැනින් තැනට අපි රැගෙන යන්නේ අපිව ඝාතනය කිරීමට යැයි කියා. මේ අවස්ථාවේදී එල්ටීටීඊ සංවිධානයේ 100ක් පමණ පොලිස් භටයන්ගේ ආරක්ෂාව අපට ලබාදී තිබුණා.

ඔවුන් අපිව කෙතරම් සුපරීක්ෂාකාරී අන්දමට රඳවාගෙන සිටියාද කිව්වොත් හැම අවස්ථාවකදීම දෙදෙනා බැගින් පමණයි කඳවුරකින් කඳවුරකට රැගෙන යන විට රැගෙන ආවේ. තුරුම්කායිවලදී අපිව රඳවාගෙන සිටියේ විශාල වළක. ඒ වළ ඇතුළට වැල් ඉණිමගකින් තමයි බහින්න තිබුණේ. අපි හැමෝගෙම කකුල්වලට දම්වැල් කෑල්ලක් දාලා ඉබ්බෝ දෙන්නෙක් දාලා ලොක් කරලා තිබ්බා. එහෙම වෙද්දී අපට වේගයෙන් ඇවිද ගෙන යන්නත් බැහැ. අප රඳවා ගෙන සිටි වළ අඩි 25ක් විතර ගැඹුරුයි.

දිග අඩි 20ක් විතර ඇති. පළල අඩි 6යි. මේ අවස්ථාවේදී තමයි මාන්කුලම් පොලිසියේදී එල්ටීටීඊ අත්අඩංගුවට පත්වුණු පොලිස් නිලධාරීන් 18 දෙනත් අපට එකතු වුණේ. ඒ ගැඹුරු වළ තුළ අප 44 දෙනාම රඳවාගෙන හිටියා. එකම වළක ඉන්න බැරි නිසා පසුව වළවල් දෙකකට අපිව බෙදා වෙන් කළා. එක වළක 23 දෙනෙක්, අනික් වළේ 21 දෙනෙක් වශයෙන්. මේ කාලය තුළ අපට කෑමට දුන්නේ හොදි දමා ඇනූ බත්. ඒ බත් වුණත් දිග ලණුවක් මඟින් වළ ඇතුළට දාන්න තමයි එල්ටීටීඊය ක්‍රියා කළේ.

වළ ඇතුළේ අත පය දිගඇරලා නිදා ගන්න බැහැ. අප නිදා ගත්තේ මාරුවෙන් මාරුවට. පළමුව 10ක් පමණ නිදා ගන්නවා. ඉන් පසුවයි ඉතිරි අය නිදා ගන්නේ. ඒ වළ තුළ මට හැඟී ගිය විදියට දවස් 48ක් පමණ අප සිටියා. ඉන්පසුව වළෙන් ගොඩ ගෙන ලොරියකින් යාපනයට රැගෙන ගියා. මේ කාලය තුළ එල්ටීටීඊය අපට පා විලංගු පමණයි දැම්මේ.

වළෙන් ගොඩ ගෙන යාපනයට රැගෙන ගියාට පසු අත් විලංගු දමන්න ඔවුන් තීරණය කර තිබුණා. මට හිතෙන විදියට අපව රඳවාගෙන සිටියේ යාපනය නල්ලූර් කෝවිලට ආසන්න නිවෙසක. ඉන්පසුව අපිව අත්අඩංගුවට පත් පොලිස් භටයන් වෙනුවෙන් සකස් කරපු විශේෂ සිරමැදිරියක රැඳෙව්වා. 15×12 තරමේ කාමරයක් ඒක. කාමරයට වාතාශ්‍රයක් ලැබුණේ කුඩා කවුළු දෙකකින්. එක් කාමරයක 23ක්ද අනෙක් කාමරයේ 21ක්ද වශයෙන් අපව රැඳෙව්වා. යාපනය ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ අගයක් ගන්නා නිසා කාමරය ඇතුළේ ජීවිතය මරණයටත් වඩා අපට බලපෑම් කළා. කාමරයේ ඉඩ ප්‍රමාණවත් නැති නිසා එක් අයකුගේ හිස එක පැත්තකටත් අනෙකාගේ කකුල් තව පැත්තකටත් සිටින ලෙසයි අප ඉඩකඩ සකසා ගත්තේ.

මේ වන විට එල්ටීටීඊය සහ රජය අතර යුද්ධය බරපතළ අඩියකට පැමිණ තිබුණේ. දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වුණා. එයින් මියයතැයි සිතුණු අවස්ථා බොහෝමයි. ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේ අප බිය වෙලා හිටියේ එල්ටීටීඊයට නෙවෙයි අපේම ගුවන් හමුදාවට. නිරන්තරයෙන් එල්ලවන ගුවන් ප්‍රහාරවලට මුහුණ දෙන්න අවශ්‍ය පරිදි බංකර සකස් කරගන්නැයි කියා එල්ටීටීඊය අපට දැනුම් දුන්නා. අපි ඉතා ශක්තිමත් විදියට බංකර හදා ගත්තේ එල්ටීටීඊ අත්අඩංගුවෙන් මිදිලා නැවත දකුණට පැමිණීමේ බලාපොරොත්තුවෙන්. ඒත් ගුවන් ප්‍රහාර දරුණු වෙද්දී අප හැදූ බංකර ඇතුළට එල්ටීටීඊ සාමාජිකයන් රිංගා ගත්තා.

එල්ටීටීඊය අපි හැදූ බංකර අත්පත් කරගත්තාට පසු අපිව රැඳවූයේ වහලක් නොමැති සිරමැදිරියක. ගුවන් ප්‍රහාර එල්ල කරන්න එන ගුවන් යානා ඒ නිසා අපට දැක ගැනීමට ලැබුණා. ගුවන් යානාවල ශබ්දය වුණත් ඉවසුම් නොදෙන්නක්. ප්‍රහාර එල්ල කිරීමට ගුවන් යානා පහත් කිරීමට කන්වල යම් රඳවනයක් ගසා සිටින්නටයි අප පුරුදු වුණේ. ඒ වන විට එල්ටීටීඊ අත්අඩංගුවට පත්වුණු අපි විතරයි අහසට නිරාවරණය වෙලා හිටියේ. එල්ටීටීඊ සාමාජිකයන් සිටියේ බංකරවල. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන අපි එක දවසක ගුවන් ප්‍රහාර එල්ල කරද්දී ගුවන් යානයට පේන්න ඇඳුම් වැනුවා.

ඒක දැකලද මන්දා ඉන්පසුව ඒ ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල වුණේ නැහැ. මේ කාලයේදී තමයි එල්ටීටීඊ සංවිධානයේ නියෝජ්‍ය නායක මහත්තයා සහ ප්‍රභාකරන් අතර ගැටුම් උත්සන්න වුණේ. ප්‍රභාකරන්ගේ නියෝගයකට අනිත් සන්නද්ධ ද්‍රවිඩ කණ්ඩායම් නිරායුධ කිරීම සහ ඔවුන් ඝාතනය කිරීම යාපනය පුරා සිදුවුණා. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සාමාජිකයන් කීප දෙනෙක් රඳවාගෙන තිබුණේ අපට අසලින් තිබූ සිරකුටියක. ඒ සිරකුටියට ප්‍රහාර එල්ල වෙලා ඔවුන් සියලු දෙනාම මියගියා. නමුත් කිසිවකුටත් ගුවන් ප්‍රහාරයකින් හානි සිදුවුණේ නැහැ. අපි හැමවෙලේම දෙවියන් ඇදහූවා. ඒ වගේ දේවල් කරන්න එපා කියලා එල්ටීටීඊය කවදාවත් කිව්වේ නැහැ.

යුද්ධය දරුණු වන අවස්ථාවලදී මඩකළපුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන යාපනයට රැගෙනවිත් සිටි පොලිස් නිලධාරීන් කීප දෙනෙක් එල්ටීටීඊ අත්අඩංගුවෙන් පැන ගොස් තිබුණා. ඒ නිසා නැවත වරක් අපි පිළිබඳ විශේෂයෙන් සොයා බලන තැනකට එල්ටීටීඊය පත්වුණා. ඔය කාලයේදී තමයි මීගමුවෙන් මුහුදු රැකියාවේ ගිය ධීවරයන් 6 දෙනකු එල්ටීටීඊ අත්අඩංගුවට පත්වන්නේ.

ඔවුන් යුද සිරකරුවන් නොවේ. එම නිසා එල්ටීටීඊය ඔවුන්ව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට පෙන්වා සිටියා. මෙම ධීවරයන් රඳවා තිබුණෙත් අප රඳවා සිටි ස්ථානයට ආසන්නයේ. ධීවරයන් බැලීමට පැමිණි එක් රතු කුරුස නිලධාරියෙක් බොහොම හොඳින් සිංහල කතාබහ කළා. මම ඉඩ ලද අවස්ථාවක අප පිළිබඳ ඔහුව දැනුවත් කළා. ඊට පසුව තමයි අපි ජීවතුන් අතර සිටින බව ලංකාවේ ආණ්ඩුව පවා දැනගත්තේ.

රතු කුරුස සංවිධානය හරහා අපට විටමින් වර්ග බෙහෙත් හේත් වර්ග ලැබුණා. මම ඉල්ලා සිටියා නිවෙස්වලට ලිපි යැවීමට අවශ්‍යයි කියා. දේශපාලන කතා, රඳවා ගෙන සිටින ආකාරය ගැන නොලියන්නේ නම් එයට අවස්ථාව ලබාදිය හැකි බව එල්ටීටීඊය ප්‍රකාශ කළා. මම සහ අනෙක් අය ගෙවල්වලට ලිපි ලිව්වා. "කොහොමද හොඳින් ඉන්නවද?, කෑවද, බිව්වද?" වගේ දේවල් තමයි ඒ ලිපිවල ලියැවිලා තිබුණේ. මේ වන විට අප මියගිහින් කියා දාන මාන පවා දීලයි තිබුණේ. මගේ අත් අකුරු හඳුනා ගත්තේ ලොකු අක්කා විතරයි. ඇය ආපිට මට ලිව්වා. නිදහස් වෙලා නැවත වරක් දකුණට එන්න ඕන කියලා හිතට දැනුණේ එදා.

මේ වන විට නොයෙකුත් හේතූන් මත අප සමඟ සිටි පොලිස් නිලධාරීන් 5 දෙනෙක් මිය ගොස් සිටියේ. ධීවරයන් නිදහස් කළාට පසු අපිව නිදහස් කරන්න යැයි කියා අප උපවාසයක් ආරම්භ කළා. නොයෙකුත් හේතූන් නිසා ඉතිරි පොලිස් නිලධාරීන් සියලු දෙනාම උපවාසයෙන් ඉවත් වුණා. නමුත් මම මිය යන තුරුම උපවාසය කරනවා කියන අදහසේ සිටියා. උපවාසයේ නිරත වෙලා ඉන්න අතරතුර මගේ බඩවල් ගැට ගැසීමේ රෝගයකට ගොදුරු වුණා. තත්ත්වය භයානක නිසා එල්ටීටීඊ සංවිධානය මාව යාපනය රෝහලට ඇතුළත් කළා. යාපනය රෝහලේ සිටිය දමිළ වෛද්‍යවරු ඔවුන්ට හැකි උපරිම ආකාරයෙන් මට ප්‍රතිකාර කළා.

ඔවුන් සැබෑ වෛද්‍යවරු. ඉන්පසුව මාව නිවෙසේ අයට බලන්න අවස්ථාව සලසා දුන්නා. මගේ තාත්තා සහ සීයා මාව බලන්න යාපනයට පැමිණියා. ඒ අයත් යුද තත්ත්වය නිසා මාසයක් පමණ යාපනයේ සිරවී සිටියේ. මානුෂික හේතූන් මත මාව නිදහස් කරනවා කියලා එල්ටීටීඊ නායක ප්‍රභාකරන් නිවේදනයක් නිකුත් කළා. ඊට පසුව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මැදිහත් වීම මත මම ගුවන් මඟින් කොළඹට රැගෙන එනු ලැබුවා. යාපනයේ මාව රඳවාගෙන සිටින කාලයේ මාදම්පේ අස්සජි හිමියන් කීප වරක් පැමිණ සුවදුක් විමසා සිටියා. මට මතක විදියට යුද හමුදාවේ බි්‍රගේඩියර්වරයකුත් මාව බලන්න යාපනය රෝහලට පැමිණියා.

ඉන්පසුව නැවත වරක් මම අනුයුක්ත වුණේ තෙබුවන පොලිසියට. තෙබුවන පොලිසියේ සාමාන්‍ය රාජකාරි සිදුකරමින් සිටින විට 1995 දකුණු පළාතේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම් මැඬ පැවැත්වීමට අපිට නියෝග ලැබුණා. එවිට දකුණේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා වුණේ චන්ද්‍රා පෙරේරා මහතා. ගැටුම් උත්සන්න වුණු අවස්ථාවකදී චන්ද්‍රා පෙරේරා මහතාගේ නියෝගය මත අප සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයන් 4 දෙනෙක් මිය ගියා. එම සිදුවීම මුල් කරගෙන මට මාස 2 1/2ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගතකරන්න සිදුවුණා.

ඒ නඩුව තාමත් මහාධිකරණයේ විභාග වෙනවා. එක් නඩු වාරයකට රු. 12,000ක නීතිඥ ගාස්තුවක් මේ වෙද්දිත් මම ගෙවනවා. සාමාන්‍යයෙන් මාසයකට නඩු වාර 2ක් එන අවස්ථාත් තිබෙනවා. දැනට අවුරුදු 24ක් මේ නඩුවට ගතවෙලා. දැනට කළුතර පොලිස් අධිකාරි නෙවිල් ආරියරත්න මහතා පමණයි නඩුවට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා හරි අහන්නේ. වෙඩි තබන්න අපට නියෝග කළ චන්ද්‍රා පෙරේරා මහත්තයා මේ වෙද්දී මිය ගිහින්. ඔය අතරවාරයේ යාපනයේ තත්ත්වය දරුණු අතට පත්වුණු නිසා මම නැවත වරක් යාපනයේ ක්‍රියාන්විත රාජකාරි සඳහා වාර්තා කරනවා.

කන්කසන්තුරේ පොලිසියේ සේවය කරද්දී මාව ඩෙල්ෆ් දූපතේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කරනවා. එතකොට කන්කසන්තුරේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ දැනට පොලිස්පති ධුරය දරන පූජිත් ජයසුන්දර මහතා. ඩෙල්ෆ් දූපතේ එක දිගට අවුරුදු 1 1/2ක සේවා කාලයකින් පසුවයි මම නැවතත් තෙබුවන පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීමක් ලබා ගන්නේ. ඉන් පසුව පයාගල, මීගහතැන්න, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය, ග්‍රෑන්ඩ්පාස් වගේ පොලිස් ස්ථානවල මම සේවය කළා. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සේවය කරන විට මට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරගන්න මම එවකට නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ අනුර සේනානායක මහතා මුණගැහෙනවා. මගේ ඉතිහාසය සහිත අභියාචනයක් ඔහුට ඉදිරිපත් කරනවා. එය තුට්ටුවකට මායිම් නොකරන අනුර සේනානායක මහතා මට පවසනවා "කොටින් තමුසෙව කොච්චර කෑවත් මට කමක් නැහැ. දුන්නු මාරුව අරගෙන රාජකාරි කරනවා" කියලා.

ඉන් පසුව නැවතත් මම තෙබුවන පොලිස් ස්ථානයට අනුයුක්ත වෙනවා. තෙබුවන පොලිස් ස්ථානයේ ඔය අවාසනාවන්ත සිද්ධිය සිදුවීමට ප්‍රථම මගේ අතේ ඇඟිල්ලක් කැපිලා දවස් 15ක් මම නිවාඩු අරගෙනයි හිටියේ. ඒ නිවාඩු ලබා ගැනීම පිළිබඳ පොලිසිය සහ එහි ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබුණා. නමුත් තෙබුවන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා සහ මතුගම පොලිස් අධිකාරිවරයා මගේ මාසික වේතනය නතර කර දමනවා. එය නීති විරෝධීයී. මේ පිළිබඳව මම මානව හිමිකම් කොමිසමට, පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කළා. නමුත් ප්‍රතිඵලයක් නැහැ.

පෙර සඳහන් කළ මහාධිකරණ නඩුව විභාගයට ගෙන තිබුණේ එම මාසය තුළ. එවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදුවෙන්න මේ කරුණු කාරණාත් බලපාන්න ඇති. උසාවිය ඉදිරිපිට තිබෙන ගැටලුවක් නිසා මගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන්න ඕනෑ කරුණු වුණත් මේ වෙලාවේ මට ඉදිරිපත් කර ගන්න බැහැ."

නීතිය සහ එය බලාත්මක වීම පිළිබඳ නිදසුන් මෙම කාලය තුළ පෙනෙන්නට නොමැති වුවද මෙවැනි නීතිගරුක නිලධාරීන් වෙනුවෙන් නීතිය බලාත්මක විය යුතු සේම අධිකරණ පද්ධතියද එයට අනුරූප වන ලෙස සැකසිය යුතුව තිබේ.

ප්‍රභාත් අත්තනායක

ඡායාරූප: කැළුම් චාමර