gossip lanka

බලධාරීන්ගේ අහක බැලීමෙන් නව නිපැයුම් රැසක් හඳුන්වා දුන් සිසුවා අසීරුවක

තඹුත්තේගම මධ්‍ය මහ විදුහලේ සිසුවකු ජාතික ආර්ථිකයට දායක විය හැකි නව නිර්මාණ රැසක් හඳුන්වා දී ඇතත් බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා කැලේ පිපුණු මල් කැලේම පරවී යන්නා සේ ඔහුගේ උනන්දුවද අඩු වී තිබෙන බව ඔහු පිළිබඳව දන්නා ප්‍රදේශවාසීහු පවසති.

තඹුත්තේගම මධ්‍ය මහ විදුහලේ 12 ශේ‍ර්ණියේ ඉන්ජිනේරු තාක්ෂණ අංශයෙන්ඉගෙනුම ලබන
ඩබ්ලිව්.එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල (18) නම් මෙම සිසුවා සෝලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කාලයක් තිස්සේ රජරට වැව්වලට මහා විනයක් වූ ජපන් ජබර ඇතුළු ජලජ ශාක ඉවත් කිරීමට රුපියල් කෝටි ගණන් වැය කළත් පලක් නොවීය. එයට පිළියමක් ලෙස වැවක ජලයෙන් ඕනම තැනකට පහසුවෙන් ගමන් කිරීමට හැකි යන්ත්‍රයක් නිපදවා ඒ මඟින් ජලජ ශාක පිටතට ගෙන ඒමටත් එම ජපන් ජබර කිලෝ 30ක් එකවර ගබඩා කිරීමටත් හැකි යන්ත්‍රයක් නිපදවා ඒ මඟින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට හැකි යන්ත්‍රයක්ද නිපදවා ඇත.

මේ මඟින් පැයකට කිලෝග්‍රෑම් 120ක් පෝර නිපදවිය හැකි වේ. එම සම්පූර්ණ කාලයටම පෙට්රල් වැය වන්නේ ලීටර් භාගයකි. එමෙන්ම පස් පෙරළීම හා පාත්ති සැකසීම සඳහා යන්ත්‍රයක්ද ඔහු නිපදවා ඇති අතර මේ සඳහා වැය වෙන්නේ පැට්රල් ලීටර් තුනක් පමණක් වීම විශේෂයකි.

ඉන්ධන 50%ක් ඉතිරි කර ගැනීමට හැකි වන පරිදි යතුරුපැදියකින් ඉවත් වන පිටාර වාතය භාවිත කර නැවත ඉන්ධන නිපදවීමක් සිදුවන පරිදි යන්ත්‍රයක් නිපදවා ඇති අතර අකුණුවලින් තම නිවෙසේ ඇති විදුලි උපකරණ ආරක්ෂා කර ගැනීමට හැකි උපකරණයක් ඔහු නිර්මාණය කර ඇත.

බහුකාර්ය බීජ පවිත්‍ර කිරීමේ යන්ත්‍රයක්ද නිපදවීමට තරම් හෙතෙම දක්ෂයකු වී ඇත. නලින්ද සම්පත් සිරිවර්ධන මහතා මෙම සිසුවාගේ ගුරුවරයාය. ඔහු තඹුත්තේගම මධ්‍ය මහ විදුහලේ ඉන්ජිනේරු හා තාක්ෂණ අංශය භාර ගුරුවරයාය.

නිසි ආදායම් මාර්ගයක් නොමැති මෙම දරුවාගේ මව එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වෙයි. ඇයට කෙසේවත් මෙම දරුවාගේ නව නිර්මාණ සඳහා මුදල් යෙදවිය නොහැකිය. බැංකුවකින් ණයක් ලබා ගැනීමට ගියද ඔවුන්ගේ ආදායම් තත්ත්වය සලකා බලා කිසිවිටක ණයක් අනුමත නොකරන බව ඔවුහු පවසති.

කැලේ පිපෙන මල් කැලේම පරවීමට නොදී දැයට ජීවයක් ලබාදෙන දක්ෂයන් රැක ගැනීම බලධාරීන්ගේයුතුකමකි. එම යුතුකම කුමන ආකාරයකින් හෝ කිරීමට යමකු සිටී නම් 0772600775 දුරකථන අංකයෙන් තොරතුරු ලබාගත හැකිය.

මේ දක්වා තමන්ට අතදුන් තම මවට, විදුහල්පති සුනිල් ජයසිංහ, පී. ගුණදාස, නලින්ද සිරිවර්ධන යන මහත්වරුන්ට ස්තුතිය පුද කිරීමට ඔහු අමතක නොකළේය.

රාජාංගණය - කේ.එම්. චන්දික


gossip lanka