ඒ සිද්ධියෙන් පස්සේ මගේ හිත ගොඩාක් රිදුනා

තනාෂා පුංචි තිරයෙන් දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ?

මම දැනට රඟපාලා තියෙන්නේ “තිමිර ගිර” ටෙලි නාට්‍යයේ විතරයි. මගේ දෙවැනි ටෙලි නාට්‍ය තමයි “නීල පබළු”. මගේ අරමුණ වුණේ සිනමා නිළියක් වීමයි. ඒ හින්දයි ආරාධනා ලැබුණු ටෙලි නාට්‍ය
රැසක්ම මීට කලින් මම ප්‍රතික්ෂේප කළේ.

සිනමාවේ මතෛක් ආපු ගමන ගැන කතා කළොත්?

මම රඟපෑ “රන් දේදුන්නක්” චිත්‍රපටය තිරගත වුණා. මම රඟපෑ තවත් චිත්‍රපට තුනක් ඉදිරි කාලයේදී තිරගත වීමට නියමිතයි.

සිනමාවට වැඩි කැමැත්තක් දක්වන තනාෂා “නීල පබළු” කියන මෙගා නාට්‍යයට දායක වෙන්න තීරණය කළේ ඇයි?

ලලිත් වසන්ත මහතා සහ සඳුන් රාජකරුණා මහතා මට මේ ටෙලි නාට්‍යයට ආරාධනා කරලා එහි කතාව කිව්වම  මට ගොඩාක් ආසා හිතුණා. කුරුළු කියන්නේ හරිම අහිංසක ගෑනු ළමයෙක්. හැබැයි ටෙලි නාට්‍යය තවත් ඉදිරියට ගලාගෙන යද්දී ඇය ගොඩාක් වෙනස් වෙනවා.

නතාෂාගේ ජීවිතයේ පෞද්ගලික විස්තර කිව්වොත්?

මගේ ගම කොල්ලුපිටිය. දැන් පදිංචිය ගොතටුවේ. ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය හා ජනාධිපති බාලිකා විදුහලින් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. පුංචි කා‍ලේ ඉඳන් හීන මැවුවේ වෛද්‍යවරියක් වෙන්නයි. ඒ හින්දා උසස් පෙළ ජීව විද්‍යාව තෝරා ගත්තත් විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණා. ඊට පස්සේ නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණා. ඒ හරහා තමයි මම නිළියක් වුණේ.

දැන් තනාෂා ආදරය එහෙමත්  විඳිනවා ඇති නේද?

(හිනැහී) දැනට නම් ආදරේ කරන්න කෙනෙක් මට නැහැ.

පහුගිය කා‍ලේ මහේෂි මධුශංකායි තනාෂායි සම්බන්ධ ආන්දෝලනාත්මක පුවතක් පැතිරිලා ගියා.

මමයි මහේෂි අක්කයි පිටරට යද්දී ගුවන් යානයේ පාලක මැදිරිය නරඹන්න අපිට ආසා හිතුණා. යානය නතර කළාට පස්සේ අපි ගිහින් එය නැරඹුවා. ඒ ගොසිප් වබේ අඩවියක පළ වුණේ ගුවන් යානය ගමන් ගන්නා අතර අපි දෙන්නා පාලක මැදිරියට ගිහින් බොහොම හිතුවක්කාර විදියට හැසිරුනා කියලයි. ඒත් ඒ ගුවන් යානයේ ගමන් ගත් මගීන්ම අපි ගැන ඇත්ත සඳහන් කරලා comment දාලා තිබුණා. ඒ සිද්ධියෙන් මගේ හිත ගොඩාක් රිදුනා. මොකද කලා ක්‍ෂේත්‍රයට ආවට පස්සේ මට හැදුණු එකම කට කතාව තමයි ඒක.

ආරියවංශ කුලතිලක

ඡායා:- ඉන්දික මල්ලවාරච්චි