"සමහර වෙලාවට මම හිත හදාගන්නෙ අම්මා නුවර ගෙදර ඉන්නවා කියලයි. ඒත් නුවර ගෙදර ගියාම අම්මා නැහැ..." - සුරාජ් මාපා

සුපුරුදු විදියට ජීවිතය ගෙවී යනවා. පසුගිය දිනවල වෙච්ච දේවල් ගැන මෙනෙහි කරමින් ඉදිරියට කළ යුතු දේ ගැන සිතමින් ජීවිතය ගෙවනවා. තාත්තා අහිමි වුණේ මීට වසර දෙකකට පෙරදීයි. ඉතින් ඒ සන්තාපය වියැකෙන්නටත් පෙර අම්මත් අප හැර ගියා. අම්මා, තාත්තා මට ගොඩාක් ආදරය කළා. මාත් ඒ දෙන්නට ගොඩාක්ම ආදරෙයි. ඉතින් දන්පින් කරගෙන මම ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙන ජීවිතයට මුහුණ දෙනවා.

අම්මා හිටිහැටියෙම නේද විපතට පත් වුණේ?

ඇත්තටම අම්මට අසනීපයක් තිබුණෙ නැහැ. කොලෙස්ට්‍රෝල් තිබිලා තියෙනවා. එච්චරයි. අම්මා සතුටින් හිටියෙ. අන්තිමට අම්මා නැති වෙන්න පෙර මා එක්ක කොළඹ ආවා. ඒ ආවාම මම ෂැංග්‍රිලා හෝටලය බලන්නත් එක්කගෙන ගියා. ඒ විදියට ඇවිත් සතුටින් හිටපු අම්මා කොළඹ ඉන්න එච්චර ආසා නැහැ. නුවර ගෙදර ඉන්න තමයි ආසා. නැත්නම් අක්කලා දෙන්නා බලන්න විදෙස්ගත වෙනවා. එදා නුවර ගිය අම්මා එයාගෙ හිස රිදෙනවා කියලා මට කෝල් කළා. නුවර අපේ ගෙදර අවට අයියා කෙනෙකුට මම කිව්වා බලන්න කියලා. අපේ නැන්දා කෙනෙකුත් ඇවිත් හිටියා. එයාලා අම්මාව නුවර රෝහලට ඇතුළත් කරලා තිබුණේ. අම්මට සිහිය නැතුව ගිහින්. දින 3ක් දැඩිසත්කාර ඒකකයේ හිටියෙ. මහනුවර රෝහලේ වෛද්‍ය සිරිවර්ධන මහතා ඇතුළු සියලූම වෛද්‍යවරු හෙද,හෙදියන් සෑහෙන්න උදව් කළා. මගේ යාළුවෝ රට පුරා සිද්ධස්ථානවලට ගිහින් බෝධි පූජා පවා පැවැත්වූවා. අපි කළ හැකි සෑම දෙයක්ම කළත් අම්මා අපිව දාලා යන්නම යන්න ගියා. දැන් අපට ඉතිරිවෙලා තියෙන්නේ ජීවිතයේ යථාවබෝධය හඳුනාගෙන එයාලා වෙනුවෙන් දන්පින් කරමින් ජීවත්වීමයි.

අම්මා ජීවතුන් අතර සිටියදී අන්තිමට ඔබට කී දේවල් මොනවද?
විශේෂයෙන්ම මගේ විවාහය ගැන හිතුවා. හැබැයි අරයා මෙයා බඳින්න කියලා මට කවදාවත් බල කළේ නැහැ. අපේ අක්කලා දෙන්නා එයාලා දන්න අය වෙතින් යෝජනා ගෙනාවත් අම්මා මට කවදාවත් බල කළේ නැහැ.

දැන් සුරාජ් ජීවිතයෙ තනිය දරා ගන්නේ කොහොමද?
ඇත්තටම අමාරුයි තමයි. ඒත් යථාර්ථයට මුහුණ දෙන්නම වෙනවා. සමහර වෙලාවට මම හිත හදාගන්නෙ අම්මා නුවර ගෙදර ඉන්නවා කියලයි. ඒත් නුවර ගෙදර ගියාම අම්මා නැහැ. එතකොට මන් හිත හදාගන්නෙ එයා අක්කලා දෙන්නා රට ඉන්න නිසා එහේ ගිහින් කියලයි. ඒක සැබෑව නොවුවත් විටෙක මා එහෙම ගත කරන්නත් හදනවා. නමුත් ජීවිතයේ සැබෑව තේරුම්ගත යුතුමයි. මෙතෙක් කොළඹ මා ජීවත් වුණේ තනිකඩවයි. ඒ ගෙවපු විදියට ජීවිතයට මුහුණ දෙනවා.

අක්කලා කියන්නෙ නැද්ද මල්ලිට දැන්වත් විවාහ වෙන්න කියලා?
නිතරම වගේ ඒ ගැන නම් කියනවා තමයි.

සුරාජ්ට හිතෙන්නෙ නැද්ද දැන් ඊට කාලය ඇවිත් නේද කියලා?
ඔව්, ඒත් යෝජනා නම් බොහෝමයි. හිතනවා බලනවා සොයනවා ජීවිතයෙ හැටි එහෙමනෙ. හොඳ කෙනෙක් විවාහ කර ගන්න වෙනවා. සමහර විට ඒක අද හෙට වෙන්නත් පුළුවනි. නැත්නම් තව අවුරුද්දක් දෙකක් යන්නත් පුළුවනි.

‘විවාහය’ කියන දේ ගැන ඔබ දකින්නෙ මොන විදියටද?
ඒක ආත්මීය බැඳීමක්. කතාවක් තියෙනවනෙ ගිය ආත්මෙ කෙනා තමයි මේ ආත්මෙදි හමුවන්නෙත් කියලා. ඉතින් වෙලාවට එයා ලැබේවි. ඒත් ‘විවාහය’ කියන දේ මුල්කරගෙන මගෙ ජීවිතය නැවතිලා නැහැ. කරන සහ කළ යුතු වැඩ ටික කරගෙන ජීවිතයට මුහුණ දෙනවා.

විවාහයේදී ඇයගෙන් ඔබ බලාපොරොත්තු වන්නෙ?
මූලිකවම නිදහස සහ ආදරයයි. විශේෂයෙන්ම ‘ආදරය’ තමයි ප්‍රධාන වෙන්නෙ. ඒ ආදරය එක්ක ‘සතුට’ තිබුණාම ඇති.

පසුගිය කාලයේ ආදරයෙන් බැඳී විවාහ වෙලා, ඉක්මණට විවාහ දෙදරා ගිය තරු ගැන නිතර අහන්න ලැබුණා. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද?
විවාහය කියන්නෙ එකට ජීවත්වනවාද? තනියම ජීවත්වනවාද? කියන දේට වඩා, දෙදෙනාට දෙදෙනා දැනෙන්නට ඕනෑ. ඒ හැඟීම අවශ්‍යයි. ඉන්න බැරිම නම් වෙන්වීම හැර වෙන විකල්ප නැහැ. ඒත් සැබෑ ආදරය කළ දෙදෙනෙක් නම්, ගහ මරා ගෙන රන්ඩු කරගෙන හරි එකට ජීවත්වෙනවා. මම උපරිම උත්සාහ කරන්නේ ඩිවෝස් නොවන විවාහයක් කරගන්නයි. සමාජයට බයට විවාහ වියයුතු නැහැ. ආදරය සහ විවාහය කියනදේ විඳින්න නම් හරි කෙනෙක් ඕනෑමයි. ඇත්තටම මගේ සමහර යාළුවන්ගේ හිතවතුන්ගේ විවාහ ජීවිතය දැකලා තියෙනවා ඒවා හරිම සුන්දරයි. සල්ලි නැතත් මාර සතුටින් විවාහ ජීවිතය ගතකරන චරිත මම දැකලා තියෙනවා. ඒක තමයි වෙන්න ඕනෑ.

අද අක්කලා දෙන්නා මල්ලිට මොනවගේ උපදෙස්ද දෙන්නෙ?
මාව සතුටින් තියන්න, ඒ වගේම තනි නැහැ කියලා පෙන්වන්න එයාලා නිතර කතා කරමින්, දුක සැප විමසමින් මාව සනසවන්න උපරිම උත්සාහ ගන්නවා. ඒත් මේ යථාර්තයට මා මුහුණ දිය යුතුමයි. මේ තාක් කොළඹ මම තනියම ජීවත් වුණේ. දුක සැප බාධක කම්කටොළු දරාගෙන ගමනක් ආවා. දරාගන්න බැරි දේවල්වලට මුහුණ දෙමින් ඒ සියල්ල දරාගෙන හිත ශක්තිමත් කර ගත්තා. මේ නිසා ජීවිතයේ බොහෝ දේට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න මට පුළුවන් වුණා. වෙලාවකට තනිකඩ ජීවිතයත් හරිම සුන්දරයි.

සඳුන් ගමගේ