කිසි කෙනෙකුට මාව අඬවන්න බැහැ - සංගීතා වීරරත්න

දුටුවන්ගේ නෙත් වශී කරවන ලස්සන සිනහව, සිනහා වෙන කොට වළ ගැහෙන කම්මුල් දෙක, අනෙකෙකුට නොදෙවෙනි රංගන දක්ෂතාවය, සුරූපී ඇය වටා එක පෙළ ගැසී ඇත්තේ ආත්මීය වාසනාවක් දෝතින් ගත්තා සේය.

සිංහල සිනමාවේ අමතක නොවන රංගන කාර්යයකට දායක වූ ඇය සංගීතා වීරරත්න නම් වන්නීය.

රූප රාජිනියන් හිස කිරුළු පළඳන්නට සංවිධාන
ශක්තියෙන් දායක වෙමින් රංගනයට අමතරව සමාජය වෙනුවෙන් කාර්යයන් බොහෝමයක් ඉටුකරන ඇය ‘‘හැමදාමත් ලස්සනට ඉන්න මොනවද කරන්නේ’’  මම රහසේ ඇසුවෙමි.

වයසට යන එක නතර කරලාද? ඔබ තාමත් තරුණයි. මොකක්ද රහස
අධ්‍යාත්මිකව මම හැමදාමත් සතුටින් ඉන්න කෙනෙක්. සතුටින් සිටීම තමයි මගේ ලස්සන වීමේ රහස.

කෙනෙකුට හිතෙන්න පුළුවන් සතුට කියන්නෙ සල්ලි කියලා. නමුත් සල්ලි තිබුණට කෙනෙකුට සතුටින් ඉන්න බැහැ. මුදල් නැති කෙනෙකුට වුණත් අධ්‍යාත්මයෙන් සතුටින් සැනසීමෙන් ඉන්න පුළුවන්නම්, මනුස්සකමට ගරු කරන්න පුළුවන්නම් එයයි පුද්ගලයෙකු ලෙසට වයසට නොයා සිටිය හැකි සරළම ක‍්‍රමය.

පෙර සේම ශරීරයේ හැඩය පවත්වා ගන්න, සම ලස්සනට තියාගන්න මොනවාද ඔබ කරන්නේ?

නිරෝගී සිරුරක් තියාගන්න මම දෛනිකව ව්‍යායම් වල නිරත වෙනවා. ලස්සන ශරීරයක් කියන්නේ කෙට්ටු ඇඟකට නෙමෙයි.

පැහැපත්, ශක්තිමත්, නිරෝගී සිරුරක් තමයි ලස්සන. එහෙම නැතුව කෙට්ටු වුණාම ලස්සනයි කියලා හිතන එක මුලාවක්. සම ලස්සනට තියා ගන්න මම කරන ප‍්‍රධාන දේ තමයි වැඩිපුර වතුර බොන එක. ඊට අමතරව අව්වට යනකොට හිරු ආරක්ෂක ආලේපනයක් භාවිතා කරන අතර හිරු එළියෙන් ආරක්ෂා වීමට කුඩයක් පාවිච්චි කරනවා.

දවසේ වැඩි කාලයක් වායු සමනය කළ කාමරයක සිටිනවා නම් සමේ තෙතමනය රැුක ගැනීමට උපකාරි වෙන ආලේපනයක් භාවිතා කරනවා.

වයස අවුරුදු 28 30 වගේ කාලේ ඉඳලා අපි අපේ හම ගැන සැළකිලිමත් වෙනවානම් වයසට ගියත් තරුණකම රැුක ගන්න එක අභියෝගයක් වන්නේ නැහැ.

ඔබ රූප රාජිනියන් තේරීමේ කාර්යයන් සංවිධානය කරනවා. ඇත්තටම රූප රාජිනියන් ලෙස හිස කිරුළු පළදින්නේ ලස්සන කාන්තාවන්ද?

රූප ස්වභාවය එක් අංගයක් පමණයි. කතා කරන ඇස් පැහැපත් සම පැහැදිලිව ලස්සනට කතා කිරීම ඇවිදින විලාශය, පිරිසිදුකම අඳින පළඳින විදිහ උගත්කම කන බොන විලාශය පිරිසිදුකම ආදී සියලූ කරුණු රූප රාජිනියන් තේරීමේ දී අවධානය යොමු කරනවා.

මීට වසර කිහිපයකට පෙර කොච්චර ලස්සන වුණත් කාන්තාවන් සමාජය ඉදිරියේ පෙනී සිටින්න බිය වුණා. නමුත් අද ඒ තත්ත්වය තරමක් දුරට වෙනස් වෙලා නේද?

ඔව්. ඉස්සර ලස්සන ගැහැණු ළමයි ගෙවල් අස්සට කරන් ඉන්නවා. පිරිමි අයගෙන් කරදරයක් වෙයි කියලා. ඒත් වර්තමානය වන විට උගත්කම, දැනුම, තමා සතු දක්ෂතාවයන් හඳුනාගෙන මනා පෞර්ෂත්වයකින් ලෝකය ජය ගන්න රූමත් කාන්තාවන්ට හැකි වී තිබෙනවා. රූපයේ ලස්සනින් කාන්තාවකට උරුම වටිනාකම් සියල්ල නැතිකර ගන්නවාද? ජීවිතයේ ජයග‍්‍රහණ මාවත සොයා යනවාද කියන එක ඇය තීරණය කළ යුත්තක්.

ඔබ පෙරදී සඳහන් කළා ජීවිතේ හැම වෙලාවකම සතුටින් ඉන්න උත්සහා කරනවා කියා. ඇයි ප‍්‍රශ්න නැද්ද?

ම්....... ප‍්‍රශ්න හැමෝටම තියෙනවා. ප‍්‍රශ්නයක් එන හැම වෙලාවේම මම හිතන්නේ ඒකට විසඳුමක් කොහේ හරි ඇති කියලා. සමහර දේවල් විසඳන්න කාලයට භාර දෙනවා. සමහර දේවල් වලට සැළසුම් සකස් කර ගන්නවා. මගේ අඩුපාඩුවක් නම් එය නිවැරදි විය යුතු තැන් හිතනවා. ඒ සියල්ල සොයන ගමන් මම මගේ අධ්‍යාත්මයෙන් සතුටින් තියන්න කළ හැකි දේවලූත් කරනවා. කෙනෙකුට මාව ඕන තරම් හිනස්සන්න පුළුවන්. නමුත් මාව අඬවන්න බැහැ.

ආදරණීය ස්වාමියා ඔබට ආදරය කළේ ඔබේ ලස්සන නිසාද?

නැහැ. කොහෙත්ම නැහැ. ඔබ මාගේ ලස්සන කියා දකින්නේ බාහිරෙන් මාව පේන විදිහ. අඳින පළඳින විදිහ හෝ රංගනයේදී මා පණ පොවන චරිතයේ රංගන කුසලතාවය අනුව.

මේ එකකවත් මම නැහැ. මාව හඳුනාගෙන මාව ආශ‍්‍රය කරලා ඇත්තටම සංගීතා වීරරත්න කියන්නේ කවුද කියලා හඳුනාගෙනයි රෝෂාන්ත මට ආදරය කළේ. රඟපාන සංගීතාට නොවේ.

මවක්, බිරිඳක් ලෙසට ඔබ නිරතුරුව ලස්සනට ඉන්න ඕන කියා විශ්වාස කරනවාද?

මව බිරිඳ පමණක් නොවේ ගෙදර හැමෝම ලස්සනට පිරිසුදුව පිළිවෙලට ඉන්න එක හරිම වැදගත්.

පැහැපත් ලස්සන සමක් කාන්තාවකට ආභරණයක් නේද?

කෙනෙකුගේ ලස්සන තීරණය වන්නේ ඒ කෙනා දෙස බලන විදිහ අනුව.

මට ලස්සනට පෙනෙන කෙනෙක් ලස්සන නොවිය හැකියි. ඒ වගේම ලස්සන කියන්නේ සුදු වීමක් නොවේ. කළු හම හිමි සුරූපිනියන් ලෝකයේ බොහෝ රටවල වගේම අපේ රටෙත් ඉන්නවා. ලස්සන හමක් කියන්නේ සුදු හමටත් නොවේ. ලස්සන ඇඟක් කියන්නේ කෙට්ටු වීමටත් නොවේ.

ලස්සන රැකගැනීමෙදී ආහාරපාන කෙරෙහි ඔබ සැළකිලිමත්ද?

නැහැ. කෑම බීම වලින්නම් පරිස්සමක් නැහැ. ව්‍යායාම කිරීම වතුර බීම වගේම සතුටින් ඉඳීමයි රූපය රැුකගන්න සරලවම කරන්නේ.

අසුන්තා එදිරිසූරිය.