‘ගර්භාෂ’ නිසා සෑහෙන්න දුක්වින්දා

‘නිම්නයක හුදෙකලාව’ චිත‍්‍රපටයේ රංගනයෙන් පසුව සචිනි අයේන්ද්‍රා ආලින්දයට ආවේ බූඩිගෙ රූමස්සල ටෙලි නාට්‍යය සමගයි. ඒ හැර ඉදිරියේදී ඇය සංජය නිර්මාල්ගේ ‘ස්වර’, සේනක විජේසිංහගේ ‘මේඝ’, නලින් මාපිටිගමගේ ‘තානාපතිලාගේ ගෙදර’, නිශාන්ත ශාන්ත දේවගේ ‘ගර්භාෂ’ යන චිත‍්‍රපට සමග කරළියට ඒමට සූදානමින් සිටින්නීය.

සචිනි කොහොමද?

හොඳයි, චිත‍්‍රපටයක රූගත කිරීම්වලට දායක වෙලා
නුවර ගෙදර මේ දිනවල සිටින්නෙ. නුවර අම්මගෙ මහ ගෙදර. ෂූටිං තිබුණෙත් නුවර. ඉතින් මේ දින ටිකේ මෙහෙ හිටියොත් හොඳයි කියලා හිතුවා.

පසුගිය කාලයේදී චිත‍්‍රපට රංගනයට අමතරව ටෙලි නිර්මාණවලට දායක වුණේ නැද්ද?

පසුගිය වසර දෙක තුනටම කෙටි නාට්‍ය දෙක තුනකට විතරයි දායක වුණේ. වසර හතකට විතර පෙරදී විකාශය වූ ‘රන් සමනළයෝ’ ටෙලි නාට්‍යයෙන් පසුව දීර්ඝ ටෙලි මාලාවකට සම්බන්ධ වුණේ නැහැ.

අද ඔබ ගැන විශේෂයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ?

අන්තිමට රූගත කිරීම් කළ ‘ගර්භාෂ’ චිත‍්‍රපටයේ මම රඟපාන්නෙ ත‍්‍රස්තවාදී සංවිධානයක කාන්තා  සෙබළියක ලෙසයි. මේ නිසා බොහෝ පුහුණුවීම් කරන්න සිද්ධ වුණා. ඇත්තම කිව්වොත් ‘ගර්භාෂ’ නිසා සෑහෙන්න දුක්වින්දා. වැටිලා තුවාල පවා වුණා. මෙහි ප‍්‍රධාන චරිත රඟපාන්නෙ සෞම්‍ය සහ මම. දැන් මෙම චිත‍්‍රපටය තිරගත වෙනකල් ආසාවෙන් බලා සිටිනවා. එය ජාත්‍යන්තරව තිරගත වන චිත‍්‍රපටයක් ලෙස ළඟදීම තිරගත වීමට නියමිතයි.

ඒ හැර ‘නිම්නයක හුදෙකලාව’ නිසා සතුටින් ඉන්නේ ඇයි?

එහි රඟපෑම නිසා මෙවර හිරු සම්මාන උළෙලේ ජනප‍්‍රිය නිළිය සම්මානයට මාව නම් වී තිබෙනවා. ඉතින් ඒ ගැනත් සතුටින් සිටින්නේ.

පුද්ගලික ජීවිතේ විස්තර කිව්වොත්?

දැන් දුවලාම දෙන්නෙක්ගෙ මවක්. ලොකු දුවගෙ වයස අවුරුදු 7යි. පොඩි එක්නෙකාට 4යි. ඉතින් ඒ දෙන්නාගෙ වැඩයි සැමියාගෙ වැඩයි ඔක්කොම කරන අතරේ මගේ රංගන කටයුතුවලටත් දායක වෙනවා.

කොහොමද ගෙවී ගිය විවාහ ජීවිතේ?

දුක සැප ඒ සියල්ල අතරේ ගෙවී ගියා. ජීවිතය එහෙම තමයි. සියලූ පසුබෑම් වගේම නැගිටීම් අතරේ දරුවන්ගේ වැඩත් බලාගෙන සමගියෙන් සමාදානයෙන් ජීවිතය ගෙවනවා.

සමහර අය විවාහයෙන් පසුව රඟපෑම සම්පූර්ණයෙන්ම අත්හැරලා දානවා. ඒත් සචිනි එහෙම කළේ නැත්තේ?

සමහර අය කලාව ගැන දන්නෙ නැතුව මේක මහ නරක දෙයක්, මේක කරන්න හොඳ නැහැ කියලා තමයි හිතන්නෙ. හැබැයි අපි නීතිඥවරියක්, වෛද්‍යවරියක් උදාහරණයකට ගනිමු. ඒ වගේ අය විවාහයෙන් පසුව රස්සා කළාට ප‍්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ මතයක් සමාජයේ තියෙනවා. ඒ පුහු මත ඔළුවලින් අයින් වෙනවා නම් හොඳයි. රංගනය කියන්නෙ සමාජයේ හැමෝම පිනවන වෘත්තියක්. එය උරුම කලාවටම විතරයි. රංගන ශිල්පිනියක් විවාහයෙන් පසුව ළමයින්ගේ වැඩ සහ සැමියාගෙ වැඩ කටයුතු පාඩු නොකර තමන් සතුටු වන අංශයේ නියැලීම හොඳ දෙයක්. තමන් සතුටින් නම් ගෙදර පරිසරයත් සතුටින්. අන්න ඒක තමයි වැදගත්. ඒ හැර අපි රඟපාන දේට  වටිනාකමකුත් ලැබෙනවා නම් ඇයි අපි මොකටද එයින් ඈත්වෙලා ඉන්නෙ. කලාකාරියකගෙන් විතරයි සමාජය ඒ ප‍්‍රශ්න අහන්නෙ.

ගර්භාෂ වෙනුවෙන් වැටෙන්න, තැලෙන්න පහරකෑම්වලට ලක්වෙන්න සිදු වුණේ මොන වගේ අවස්ථාවලදීද?

ඒක ඇත්තටම සාමාන්‍ය චිත‍්‍රපටයක් වගේ නෙවෙයි. ක‍්‍රියාදාම තිබුණෙ උස්තැන්වලින්  පනින්න. දුෂ්කර තැන්වලින් යන්න, ගුටිකන්න. මේවාට සැබෑවටම වගේ මුහුණ දෙන්න සිදුවුණා. මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන්ම වගේ කළේ බෝගම්බර සිරගෙදර පරිශ‍්‍රයේදීයි. මට දමිළ චරිතයක් රඟපාන්න තිබුණු නිසා දමිළ භාෂාවත් ඉගෙන ගන්න සිද්ධ වුණා. මෙහි මගේ චරිතයේ නම ‘මනිමේකලා’

දැන් එතකොට සචිනිට දෙමළත් පුළුවන්?

දැන් ටිකක් විතර පුළුවනි.

සචිනිට දැන් පෙම්වතියගේ චරිතය ලැබෙන්නෙ නැද්ද?

ලැබෙනව. මේ චිත‍්‍රපට පහේම වගේ පෙම්වතිය ඉන්නවා. අපි මොන වයසේ සිටියත් ආදරය කරන චරිත තියෙනවා. ඉතින් සාම්ප‍්‍රදායික පෙම්වතිය නොවුවත් ආදරය කොතැනක හරි තියෙනවා.

සචිනිට මේ ගමන යන්න පවුලෙන් ලැබෙන සහයෝගය එහෙම කොහොමද?

හොඳ සහයෝගයක් ලැබෙනවා. සැමියා, අම්මා ඔක්කෝමලා උදව් කරනවා.

දූලා දෙන්නා කලාවට  ලැදිද?

එයාලා සිංදු කියන්න නටන්න කැමතියි. ලොකු දුව ඉංග‍්‍රීසි වේදිකා නාට්‍යයකත් රඟපෑවා. හැබැයි ඉතින් දැන්ම කියන්න බැහැ.

දූලා දෙන්නගෙ නම් කිව්වොත්?

ලොකු දුව අලිෂ්කා, පොඩි දුව ඉෂාර්‍යා



සටහන / ඡායාරූප - සඳුන් ගමගේ