‘‘මම හරි ආසාවෙන් හිටියා අපි විවාහ වෙන දවස මතක හිටින දවසක් වෙනවට‘‘

රිද්මාගේ උපන්දිනයට රොෂාන් සප්‍රයිස් පාටි එකක් දුන්නා කියලා ආරංචියි? 

ඔව්. මීට මාස දෙකකට කලින් ඉඳන් රොෂාන් අයියා කිය කිය හිටියා, මගේ උපන්දිනය ළඟයි කියලා. මම ඒක ඉතින් ඒ තරම් ගණන් ගත්තේ නෑ. උපන්දිනයට කලින් දවසේ ඩිනර් එකකට යන්න ලස්සන ඇඳුමක්
ලෑස්ති කරගන්න කියලා. ඩිනර් එකට යද්දි හුරුපුරුදු මූණු ටිකක් එතන තියනවා දැක්කා. රොෂාන් ගොඩක් අයට එන්න කියලා මං වෙනුවෙන් සප්‍රයිස් පාටි එකක් සුදානම් කරලා. මම ඇත්තටම පුදුම වුණා. හරිම සතුටක් මට දැණුනේ.

රොෂාන් රිද්මාට හොරෙන් මේ තරම් දෙයක් කරනකල් යන්තම්වත් දැණුනේ නැද්ද? 

නෑනේ. එයා හැමදේම මට හොරෙන් තමයි සුදානම් කරලා තියෙන්නේ. මම එයා කරන හැමදේම දන්නවා. හැබැයි මට මේ දේ දැණුනේ නෑ. එයා ෂූටින් යන එන වෙලාවට තමයි මේ හැමදේම සුදානම් කරලා තියෙන්නේ. එයා පුදුම විදිහට පසුගිය ටිකේ කාර්යබහුල වුණා. බලනකොට මේ වැඩේට තමයි එයා මහන්සි වෙලා තියෙන්නේ.

රිද්මායි රොෂානුයි පෙම්වතුන් විදිහට හිටපු කාලේවත් මේ වගේ පුදුම කිරීමක් තිබ්බේ නැද්ද? 

නැහැ. අපි යාලුවෙලා හිටපු කාලේ එයා අපේ ගෙර යනවා එනවා හරිම අඩුයි. ඒ කාලේ මම එළියට ගියත් කවුරුහරි ගෙදර කෙනෙක් මාත් එක්ක එනවා. අපි දෙන්නා ෆෝන් එකෙන් තමයි ගොඩක් ආදරේ කළේ. දැන් විවාහ වෙලා අවුරුද්දකුත් වෙනවා නේද? අපි විවාහ වුණේ ගිය අවුරුද්දේ ඔක්තොම්බර් 19 වැනිදා. ඒ මගේ උපන්දිනය දවසෙමයි. මම හරි ආසාවෙන් හිටියා අපි විවාහ වෙන දවස මතක හිටින දවසක් වෙනවට. ඉතින් මගේ උපන්දිනය දවසේ විවාහය සිද්ධ කරන්න රොෂාන් අයියත් කැමති වුණා. දැන් අපේ විවාහ ජිවිතයට අවුරුද්දයි.

රිද්මාට රොෂාන්ගෙන් ලැබුණු ආදරය දැන් අඩු වෙලාද වැඩි වෙලාද? 

රොෂාන් අයියා හරියට පොඩි ළමයෙක් වගේ. එයා එළියට ගියාම අනිත් අය එක්ක වැඩිපුර කතා කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ගෙදරදි එයා තමයි වැඩිපුර කතා කරන්නේ. මම කරන්නේ එයා කියන ඒවා අහගෙන ඉන්න එක. රොෂාන් අයියා ආගමට හරි ලැදියි. ෂූටින් යන්න කලින් බුදු පහන පත්තු කරලා භාවනා කරනවා. හරිම ආදරණීය චරිතයක් එයා.

කාර්යබහුලකම නිසා රොෂාන්, පවුලේ වැඩකටයුතු වගකීම් පැහැර හරින්නේ නැද්ද? 

නැහැ. එයා එයාගෙන් වෙන්න ඕන යුතුකම් හැම එකක්ම ඉෂ්ඨ කරනවා. උයන පිහන වැඩකටයුතුවලදි වුණත් එයාගෙන් ලොකු උදව්වක් ලැබෙනවා. මම අසනීප වුණොත් එහෙම එකම ඩොක්ටර් කෙනෙක් ගාවට කිහිප සැරයක්ම එක්කන් යනවා. එයා මට පුදුම ආරක්ෂාවක් දෙන්නේ. එයා සියයට කෝටියක් හොඳ සැමියෙක්.

ඒ කියන්නේ රොෂාන් රිද්මා වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරලා? 

ඔව් අපි විවාහ වුණාට පස්සේ එයා වැඩ කරන එකත් අඩු කරලා. එයා මගෙන් ඇහුවා වැඩවලින් ඈත්වෙලා මටම කාලය දීලා ඉන්න කියලත්. එත් මම කිව්වා දිගටම වැඩ කරන්න කියලා එයා කොච්චර කාර්යබහුල වුණත් මං ගැන හොයනවා.

රොෂාන් වෙනත් ශිල්පිනියන් එක්ක රඟපානකොට රිද්මාට ඉරිසියාවක් හිතිලා නැද්ද? 

නැහැ. මොකද මම මේ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම අඳුරනවා. රොෂාන් අයියටත් හැමෝම ආදරෙයි. ගොඩක් අය අපට හොඳින් ඉන්න කියලා ආශිර්වාද කරනවා. එයාලගෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා දන්නවා. අපි ආදර්ශමත් විදිහට ඉන්නවා කියලා රංගන ශිල්පිනියන් ගොඩක් අපිට ආශිර්වාද කරනවා. ඒ නිසා මට බයක්වත් ඉරිසියාවක්වත් නෑ.

බොහෝ දෙනා ඔයාලට ආශිර්වාද කළාට විවාහ වෙද්දි ඔය දෙන්නට සමහරුන්ගෙන් විවේචන එල්ල වුණා නේද? 

රොෂාන් අයියා ප්‍රසිද්ධ කෙනෙක්නේ. එයා වටා ඉස්සර හිටපු සමහර පුද්ගලයෝ එයාලට ආපු සමාජ ප්‍රශ්නත් එක්ක අපිට මඩ ගහන්න ගත්තා. අපි විවාහ වෙලා හොඳින් ඉන්නකොට ඒ ජිවිත නොලැබුණු අයට ඉරිසියාවත් ඇති වෙනවනේ. එහෙම ඉරිසියාවක් ආවේ නැත්තම් පුදුමයි. මම කසාඳ බැඳපු කෙනෙක් කිව්වා, ළමයින්ව දාලා ආපු කෙනෙක් කිව්වා, ඒත් මම විවාහ වෙද්දි මට අවුරුදු විසි තුනයි. ඒ වයසෙදි මට ඒ තරම් දේවල් කරන්න පුළුවන්ද? පල ඇති රුකටනේ ගල් ගහන්නේ. අපි ඒ අයට බනින්න ගියේ නෑ. කර්මය කැරකිලා එනවනේ. ගොඩක් අය පස්සේ ඇත්ත තේරුම් ගත්තා.

රංගනයේදි වුණත් රිද්මාට තෝරා ගැනීම් තියනවද? 

ඔව්. මම චරිත තෝරලා බේරලා කරන්නේ. මම විවාහ වුණ කෙනෙක් කියන දේ ඔලුවේ තියාගෙන වැඩ කරන්නේ. ප්‍රසිද්ධියවත් සල්ලිවත් මට අවශ්‍ය නැහැ. වෙනස් හොඳ දෙයක් කරන්න මට ඕනි. මගේ ජිවිතේ අංක එක පවුල. ඒ ගැන හිතලා තමයි නිර්මාණ භාරගන්නේ.

රිද්මාත් රොෂාන් වගේ රංගනයට කාර්යබහුල වෙයිද? 

මම ගොඩක් ආස ගෙදර ඉන්න. මට බයයි මගේ ජිවිතේ කොතනක හරි මට මඟ ඇරෙයි කියලා. රොෂාන් අයියා ගෙදර ඉද්දි මට එයාව දාලා ෂූටින් යන්න අමාරුයි. මගේ පපුව පිච්චෙනවා වගේ. ඒ නිසා එන වැඩ හිතලා බලලා තමයි භාර ගන්නේ.

රිද්මාගෙයි රොෂාන්ගෙයි පුංචි කැදැල්ලට දැන්ම පුංචි අමුත්තෙක් ගේන්න අදහසක් නැද්ද? 

මගේ මමිත් දැන් මට කියනවා බබෙක් බලන්න ආසයි කියලා. රොෂාන් අයියගේ පවුලේ අයත් අහනවා ඒ ගැන. ඒත් තාම ඒකට මගේ වයස අඩුද කියලත් හිතෙනවා. ලබන අවුරුද්ද වගේ වෙද්දි බබෙක් හදන්න හිතනවා. රොෂාන් අයියයි මමයි බබාලට ගොඩක් කැමතියි. එයා හැමතිස්සෙම කියන්නේ එයාට මං වගේ දුවෙක් ඕනි කියලයි. මට ඕන එයා වගේ පුතෙක්. කොහොම වුණත් අපි බබාලා තුන් හතර දෙනෙක්ම හදයි.

තිලිණි කෞෂල්‍ය විජේසිංහ

gossip lanka