අද බහුතරයක් නළු නිළියන් අපි වගේ කැපවෙන බවක් පෙනෙන්නේ නැහැ

සිංහල සිනමාවේ ‘ආදරණිය දුෂ්ටයා’ ලෙස කවුරුත් හඳුන්වන, ප්‍රේක්ෂකයාගේ නොමද ආදර ගෞරවයට පාත්‍ර වූ ඔහු අද අසූ වියැතිය. එහෙත් ඔහුගේ පෙනුම, පෞරුෂය අනුව එතරම් වයසක් ඔහුට ගත වී ඇතැයි කිසිවෙකුට හෝ සිතිය නොහැකිය. රෙක්ස් කොඩිප්පිලි නම් වූ මේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියාගේ සිනමා දිවියට මේ වන විට වසර පනහක් සම්පූර්ණ වී ඇත. ඔහුගේ උපන් දිනය ද පසුගිය 6 වැනිදා කලා ලෝකයේ කවුරුත් එක්ව සැමරුවේ රෙක්ස්ට උපහාර ද එක් කරමිනි. රෙක්ස් තම අඩ සියවසක සිනමා දිවිය
පිළිබඳ  කතාබහ කළ අයුරුයිි මේ.

මුලින්ම ඔබේ මවුපියන් ගැනත් ඔබේ ගම් පළාතෙන්ම අපේ කතාබහ අරඹමු?

මගේ සම්පූර්ණ නම රෙක්ස් ජෝසප් කොඩිප්පිලි. මගේ ගම බදුල්ල. 1938 දී තමයි උපන්නේ. මම බදුල්ලේ ශාන්ත බීඩ්ස් විද්‍යාලයට ගියේ. අම්මා එතන් කොඩිප්පිලි. තාත්තා දොන් හෙන්රි කොඩිප්පිලි. ඔහු මිනින්දෝරුවෙක්. තාත්තා ගැන කතා කළොත් මම මගේ තාත්තාව හැබැහින් දැකලා නැහැ. තාත්තා මට අවුරුදු එක හමාර දෙක ලබද්දී මිය ගිහිල්ලා. ඉතින් අපි හැදුණේ වැඩුණේ අම්මා ළඟ. අම්මා තමයි හුඟක්ම ජීවිතේට සමීප වුණේ. අපේ පවුලෙම පිරිමි තුන් දෙනයි. අපි තුන් දෙනාම එකම පාසලට එකට තමයි ගියේ.

ඔබේ කුඩා කාලයේ දක්ෂතා මොන වගේද?

කුඩා කාලෙදි මම හුඟක්ම දක්ෂ ගීත ගායනයට. මම දිගටම පාසලේදී සංගීත කටයුතු සඳහා දායක වුණා. පසු කාලෙක මගේ අයියලා දෙදෙනා පාසල් ගමන නිම කළා. මාව අම්මා ඒ පාසලේම බෝඩිං කෙරුවා. ඒ විදිහට අවුරුදු තුනක් පමණ නේවාසිකාගාර ගත වෙලා ඉගෙනුම ලැබුවා. ඉන්පසු සාමාන්‍ය පෙළ විභාගය ලිවීමෙන් පසුව සිද්ධාර්ථ විදුහලට ඇතුළත් වුණා.

පියා නැති වුණාට පසුව ඔබේ අධ්‍යාපන කටයුතු?

මට ඉගෙන ගන්න මගේ අයියල දෙන්න අත්වැලක් වුණා. මට මතකයි මගේ ලොකු අයියා මට වඩා හුඟක් වැඩිමල්. මම පාසල් යන කොටත් අයියා වැඩට යනවා. තාත්තා නැති අඩුව ඔවුන් නිසා මඟ හැරී ගියා. තාත්තා සේවය කරමින් ඉඳලා තිබෙන්නේ ත්‍රිකුණාමලයේ. එහිදී ගංවතුරක් ගලලා කොහොම හරි තාත්තා එයට අහු වෙලා තිබෙනවා. එනිසා තාත්තාගේ මිනියවත් අපිට හම්බ වුණේ නැහැ. මට ඒ ගැන විශාල මතකයක් නැහැ

කුඩා කල ඔබ දක්ෂ ගායනයට නේද?.

කලාවට එකතු වුණා කියන්නේ එය ඉතාම අහම්බයකින් වුණ දෙයක්. අපි කොහොමත් කතෝලික භක්තිකයන් නිසා නිතර පල්ලියේ ගීතිකා ගයනවා. ඒ නිසා ඕනෑම ගීතයක් ගායනා කිරීමේ හැකියාව මට තිබුණා. මට මතකයි මම අවුරුදු 7 දී ‘පරම පූජනීය වූ මහත්මා ගාන්ධි’ ගීතය ගායනා කරලා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා (එවකට පළාත් පාලන ඇමැති ඔහුයි) අතින් ඌවේ හොඳම ගායකයාට හිමි සම්මානය ලැබුණා. අවුරුදු 7 ක් කියන්නේ ඉතාම කුඩා වයස. ඒ කාලේ හිටන්ම මට හොඳට ගීත ගයන්න පුළුවන්. ඉන් පස්සේ මම දිගටම පාසලේදී ගායනය වෙනුවෙන් නිතර ඉදිරිපත් වෙන ළමයෙක් වුණා. සිද්ධාර්ථ විද්‍යාලයේදී මම සම්බන්ධ වෙනවා නාට්‍ය සංගමයකට.

ඒ ගැන කතා කළොත්?

ඒ තමයි ‘රෝහණ ඩ්‍රැමටික් සොසයිටි’ නාට්‍ය සංගමය. එය නිර්මාණය කළේ මමත් මගේ මිතුරන් කීප දෙනෙකුත් එකතුවයි. එය මඟින් අපි නාට්‍ය නිර්මාණය කරන්න පටන් ගත්තා. වේදිකා නාට්‍ය පහක් විතර කළා. බදුල්ලේ, පස්සර, බණ්ඩාරවෙල, වැලිමඩ ප්‍රදේශවල ඒ නාට්‍ය පෙන්නුවා. ඌව පළාතේ තමයි පෙන්නුවේ. ඉන් පසුව මම 1957 දී යුද්ධ හමුදා පොලීසියට බැඳුණා.

ඒ ජීවිතේ ඔබට දැනුණේ කොහොමද?

හරිම සුන්දර කාලයක්. එහි මම පිහිනුම් නායකයා. බොක්සිං, රෙස්ලිං, ෆුට්බෝල් ගැහුවා, හොකී ගැහුවා. මේ වගේ හැම ක්‍රීඩාවකම නිරත වුණා. මගේ නායකත්වය යටතේ එදා හමුදාවේ පිහිනුම් කණ්ඩායම පළවෙනි තැනට ආවා. ආමි කමාන්ඩර් ඇවිත් මේජර් මුතුකුමාරණ. එදා මේජර්ලා හොයන්න බැහැ. ඒත් අද මේජර්ලා ඉන්නවා ඕනෑ තරම්. ඊට පස්සේ හොඳම කඩවසම් පොලිස් නිලධාරියා ලෙසට යුද හමුදා පොලීසියේදී මාව තේරුණා. මේ විදිහට විවිධ ලෙස යුද්ධ හමුදා සේවයේදී මට පදක්කම් හිමි වුණා. මම යුද්ධ හමුදා පොලීසියෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ 1961 දී.

ඔබ ඒ කාලයේදී කලාවෙන් දුරස් වුණාද?

නැහැ. මම සංගීතයෙන් ගායනයෙන් ඉදිරියට ගියා. ආධුනික පැයට ගීත ගැයුවා මතකයි. නන්දා මාලිනී පළමු තැනට ආවා. මම දෙවැනි තැනට ආවා. ඉන් පසුව හෝටල් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න හිතුණා. මම ටයිම්ස් එකේ කැන්ටිම කළා. ඒ විදිහට ගෑස් පහ මරීනා කැෆේ හෝටලයත් කරන්න ගත්තා. ඒ හෝටලේ තිබුණේ මාළු කඩේ ළඟයි. මට චණ්ඩි එහෙම හරියට එහෙදි හම්බ වෙනවා. මේ ඔක්කොම අතර මාත් ගායකයකු ලෙස ජනප්‍රිය වුණා. මෙතනදී මට හමුවෙනවා ‘සලාකා’ හි අධිපතිතුමා. එතුමා මට කතා කරනවා සලාකා හෝටලය බාරගෙන වැඩ කරන්න කියලා. එතැන ඒක කරගෙන යන කොට මට එතැනදි කලාවේ විවිධ ඉසව් නියෝජනය කරන පුද්ගලයින් මුණ ගැහෙන්නට පටන් ගන්නවා. මෙතැනින් තමයි මගේ කලා දිවියේ ඇරැඹූමට පාර තැනෙන්නේ. මම ගායනයෙන් ජනප්‍රිය වුණත් පාන්දර පහේ පටන් ගත්තම රාත්‍රී එකොළහ පමණ වන තෙක්ම මේ හෝටලේ වැඩ කරනවා. එතකොට මේ කාලෙදි රේඩියෝ සිලෝන් එකේ ලොකු ස්ට්‍රයික් ඒකක් ආවා. ඉතින් රේඩියෝ සිලෝන් එකේ අය මගෙත් එක්ක හුඟක් එකතුයි. මම සිංදු කියන්න යන නිසා. ඒ අය ඔක්කොම වගේ මගේ හෝටලයට ඇවිත් තමයි කෑම කෑවේ. අතේ මුදල් නැහැ. මුවන් පැලැස්ස නාට්‍යයේ කට්ටිය ඔක්කොම එනවා. ඔස්වල්ඩ් ජයසිංහ දවසක් දොළහට එකට විතර ආවා මගේ හෝටලයට. එයාගේ කාර් එක කැඩිලා මට කිව්වා ෂූටින් තියෙන තැනට ගිහින් බස්සවන්න කියලා. නීලා ලියනගෙදර, සේනාධීර රූපසිංහ නළු නිළියෝ මේකප් දාගෙන ඔස්වල්ඩ් එනතුරු මඟ බලා ඉන්නවා. මම ඉතින් ඔහුත් අරගෙන ගියා ෂූටින් තිබුණු තැනට. මම ඔහුව බස්සවා එන්න හදන කොට එහි අධ්‍යක්ෂවරයා ඇවිත් රඟපාන්න එන්න කියලා මට ආරාධනා කරනවා. මම එය ප්‍රතික්ෂේප කරලා නැවත හෝටලයට ආවා. ඒත් මේ අයගේ පෙරැත්තය නැවතුණේ නැහැ. දවසක් හෝටලයට ඇවිත්ම මට එන්නට කිව්වා. කොහොම හරි සලාකා අයිති නෙත්තිකුමාර මහත්තයට මේක ඇහිලා ඔහු මට කියනවා ඔයා යන්න ගිිහින් රඟපාන්න කියලා. ඉතින් ඔන්න මම කැමැති වෙලා රඟපාන්න ගියා.

ඔබේ පළමු රඟපෑම ගැන කතා කරමු?

මගේ මුල්ම චිත්‍රපට දර්ශනය රූගත කළේ කොළඹ සෙලින්කෝ එක ළඟයි. ගෙදරට හොරෙන් තමයි රඟපාන්න ගියේ. මුල්ම චිත්‍රපට දර්ශනය වුනේ නීලාගේ පොකට් එකට විදලා පැන යන තරුණයකුගේ දර්ශනයක්. එය රූගත කළා. එය තවමත් අද වගේ මතකයි. අධ්‍යක්ෂවරයා හුඟක් හොඳට සතුටු වුණා. මිනිත්තු දහයෙන් ලස්සනට කළා කියලා පැසසුවා. ඉන් පසු ඒ චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ භූමිකාව මට රඟපාන්නට සිදු වුණා. ‘කතුරු මුවත්’ චිත්‍රපටයේ තමයි ඒ විදිහට මම රඟපෑවේ.

රංගනයෙන් ලැබුණු ආදායම ප්‍රමාණවත්ද?

රඟපාලා සෑහෙන ගණනක් ඒ කාලේ අපි හම්බ කළා. රුපියල් දෙදහසක් පමණ එක චරිතයකින් අපිට ලැබුණා. කතුරුමුවත් රඟපාන කොට තවත් චිත්‍රපට හතරක්ම මට රඟපාන්න ලැබුණා. ලොකුම හිනාව, අපරාධය හා දඬුවම වගේ චිත්‍රපටවල ප්‍රධාන දුෂ්ටයාට රඟපෑවේ මමයි. මෙහෙම වෙද්දී හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ නළුවාගේ ත්‍රාසජනක බයිසිකල් දර්ශන සියල්ලටම පෙනී සිටින්නට සිදු වුණේ මටයි. එය මගේ ජීවිතයේ අදටත් අමතක නොවන අත්දැකීමක් වුණා. මම තමයි පළමු වතාවට මෝටර් සයිකල් ස්ටන්ට් (කරණම්) සිනමාවට එක් කළේ.

ඒ කාලේ කවදාවත් එක් නළුවෙක් වෙනුවෙන් තවත් නළුවෙක් ත්‍රාසජනක රූගත කිරීම්වලට යන්නේ නැහැ. නමුත් මම වෙනත් නළුවන් වෙනුවෙන් එවැනි ජවනිකා රඟපෑවා.

මතකද ඔබ රඟපෑ ත්‍රාසජනක දර්ශන?

මට ලොකුම හිනාව කරද්දී උණ බම්බු දාලා ඒ උඩ ලොකු මෝටර් බයිසිකලයක් උඩට පැදගෙන යන්න තිබුණා. ඒ ත්‍රාසජනක දර්ශනය රූගත කරද්දී උණබම්බු වැටෙන් බයිසිකලය පැනලා සියල්ලත් එක්කම මාව ඇදගෙන වැටුණා. උඩ ඉඳලා වැටුණු මාගේ ඇඟ උඩ මොටෝ සයිකල් එක දෙවනුව වැටුණා. ඒ පාර කකුල දෙකට කැඩිලා. මට සිහියත් තිබුණේ නැහැ. රෝහලේදී මට සිහිය එන විට මට දැනගන්නට ලැබුණා කකුල ඔපරේෂන් කරනවා කියලා. මම කිව්වේ එපා කියලයි. ඒත් කකුලට වුණු ඩැමේජ් එකත් එක්ක කකුල ඔපරේෂන් කරන්න වුණා. එයින් පසුව මම මාස නවයක් පමණ ප්‍රතිකාර ගත්තා කකුලට. මේ අතර තව අපූරු සිදුවීමක් වුණා.

ඒ කුමක්ද?

දැන් චිත්‍රපටයේ වැඩ ඉවරයි. මාව ඕනෑ තව මෝටර් සයිකල් ස්ටන්ට් එකක් කරන්න. ලෙනින් ඇවිත් මට කිව්වා මේ දර්ශනය කොහොම හරි කරලා දෙන්න කියලා. මගේ කකුලට ප්ලාස්ටර් එකක් දාලා. ඒක මගේ හමුදාවේ මිතුරකු ලවා කපාගෙන එක දවසින් ඒ දර්ශනය රූගත කළා. ලීවලින් හදපු ගේට්ටුවක් කඩාගෙක ගිහින් තමයි දර්ශනය නිම කළේ.

ඔබ නළුවෙක් වුණේ නැතිනම් කවුරුන් වෙයිද?

නැහැ, මම නළුවෙක් වෙනවාමයි. මොකද මා සතුව භාෂා තුනම භාවිතයට හැකියාව තිබුණා. දෙමළ, ඉංග්‍රීසි, සිංහල. එනිසා මට සිනමාවේ ගමන පහසු වුණා.

ඒ කාලේ ඔබ රඟපැවේ ජීවිතය පරදුවට තියලයි?

ඔව්. තාමත් එහෙමයි. මේ ළඟදිත් මට බූට්ස් දාලා ගහකට නගින්න තිබුණා. මගේ කොන්දත් අමාරුයි. ඒත් මම බූට්ස් දාලා ගහට නැග්ගා.

අද සිනමාව ගැන මොකද හිතෙන්නේ?

අද සිනමාව එදා වගේ මම දකින්නේ නැහැ. අද සිනමාවට එකතු වෙන අය එදා අපි වගේ සිනමාව වෙනුවෙන් කැප වෙලා තිබෙන බවක් මට පෙනෙන්නේ නැහැ. ඒ වගේම ඒ අයගේ ටැලන්ට් එක අඩුයි. කාටවත් උදව් කරන්නෙත් නැහැ. නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ට උදව් කරන්නේ නැහැ. වෙලාවට වැඩ කරන්නේ නැහැ.

ඔබේ අද දිවිය ගෙවෙන හැටි?

සුපුරුදු ලෙසම මම මගේ දෛනික කටයුතුවල නිරත වෙනවා. පාන්දර හතර වෙනකොටම මම අවදි වෙනවා. ඉස්සෙල්ලාම කරන්නේ මගේ බිරිය වෙනුවෙන් යාඥා කරන එකයි. අදටත් ඇගේ ඒ වියෝව මට දරා ගන්න අමාරුයි. ඇය ගැන දැන් වුණත් මතක් කරන විට මට දැඩි වේදනාවක් දැනෙනවා. ඒ මතකය මට ලොකු වේදනාවක්.

ඔබ මේ වන විට චිත්‍රපට කොපමණ ගණනක රඟපා තිබෙනවාද?

චිත්‍රපට දෙසිය විසිපහක පමණ රඟපා තිබෙනවා. ඒ හැම චරිතයකටම මම එක වගේ කැමැතියි. එක වගේ ආදරෙයි.

ඔබේ උපන් දිනය වෙනුවෙන් උපහාරයක් පැවැත් වුණා?

මගේ සහෝදර ශිල්පීන් පසුගියදා මගේ උපන් දිනය වෙනුවෙන් උපහාර උලෙළක් පැවැත්තුවා. එය මට සතුටක්. මම ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා.