gossip lanka

දැරියකට අතවර කළ 69 අනංගයා කාන්තාවන් දෙදෙනකුගේ කර මතින් උසාවියට ගොඩවෙයි

1999 වසරේදී වයස අවු.6 ක දැරියක අපහරණය කර ඇයට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුකළ පුද්ගලයකු බරපතළ ලෙස අංශභාග රෝගයෙන් පෙළෙමින් සිටියදී කාන්තාවන් දෙදෙනකු විසින් එම පුද්ගලයා රත්නපුර මහාධිකරණය හමුවට ඔසවාගෙන පැමිණෙන අයුරු ඉකුත්දා දැකගත හැකිවිය.

 අධිචෝදනා ලැබ සිටි එම විත්තිකරු වූයේ සිරිපාගම
රත්නපුර පදිංචි රතු නැකතිගේ සුවනේරිස්‌ නමැත්තෙකි. 1999-08-03 වැනි දින සිරිපාගම ඇඳිරිකැලේදී වයස අවුරුදු 6 ක දැරියක්‌ අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයකට භාජනය කළේ යෑයි රත්නපුර මහාධිකරණය හමුවේ විත්තිකරු අධිචෝදනා ලැබ සිටියේය.

 ඉකුත් 23 දා විත්තිකරුගේ නම අධිකරණය හමුවේ අඬගසන ලද අවස්‌ථාවේ බංකුවක වැතිරී සිටි ඔහු කාන්තාවන් දෙදෙනකු විසින් ඔසවාගෙන විත්තිකූඩුවට රැගෙන ඒමට උත්සාහ කළද සියල්ල දෙස විමසුම් ඇසින් බලා සිටි රත්නපුර අංක 1 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරු බංකුව මතම වාඩිකරවන ලෙසට දන්වන ලදී.

 ඒවන විට සිද්ධිය වී වසර 19 ක්‌ ගතවී තිබූ අතර විත්තිකරු 69 වියේ සිටි අතර එදා 6 හැවිරිදිව සිටි දැරිය මෙදින අධිකරණය හමුවට පැමිණ සිටියේ 26 හැවිරිදි විවාහක එක්‌දරු මවක ලෙසිනි. නඩු විභාගය ආරම්භයේදී සඳහනක්‌ කළ පැමිණිල්ලේ රජයේ අධිනීතිඥ දිනිතිද සිල්වා මහත්මිය විත්ති පැමිණිලි දෙපැත්තෙන්ම නඩුව සමථවීමේ එකඟතාවයක්‌ ඇති බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය පතන අතර විත්තිකරු මේවන විට වයස්‌ගත පුද්ගලයකු බවද පැවැසුවාය.

 එයට පිළිතුරු දුන් විනිසුරුවරයා පැවසුවේ විත්තිකරු වයසට ගියද නීතිය වයසට නොයන බවය. පැමිණිලිකාරියගෙන් කරුණු විමසූ විනිසුරුවරයා ඇය සමථයකට එකඟවන බවද පැහැදිලි කර ගත්තේය.

 ඒ අනුව සඳහනක්‌ කළ විනිසුරුවරයා නඩුව සමථ වූවද වරදේ බරපතළ බව සලකා විත්තිකරු පැමිණිලිකාරියට ප්‍රමාණවත් වන්දි මුදලක්‌ ගෙවිය යුතු බවද එම වන්දි මුදල් විත්තිකරුගේ බිරිඳ සහ දියණියන් මගින් ගෙවිය යුතු බවද පැවැසුවේය. ඊට අමතරව සිද්ධියේදී අතවරයට භාජනය වූ කාන්තාව සහ ඇය සමඟ පැමිණ සිටි ඇගේ මව දෙස විමසුම් ඇස යොමුකළ විනිසුරුවරයා ඔවුන් දෙදෙනාගේ දරිද්‍රතාවය සැලකිල්ලට ගෙන ඔවුන්ට ගමන් වියදම් සපයන ලෙසට අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයාට නියෝග කළේය. නඩුව සමථ කිරීම නොවැම්බර් 13 වැනි දිනට කල් තැබිණි. නීතිඥ එස්‌. පී. සේනාරත්න මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.


gossip lanka