"ඔහු නික්ම ගියේ නෑ. අප අතරම තවමත් හුස්ම ගන්නවා කියලයි මට නම් හැඟෙන්නේ..." - හෙළයේ මහා ගාන්ධර්වයාණන්ගේ පුතණුවන් කියයි

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ දැයෙන් නික්ම ගොස් දෙවසරක් පූර්ණ වීමට නියමිතයි. අදක ඊයෙක මෙන් දුටු ඒ නපුරු හීනයට එතරම්ම කාලයක් ගතවීදැයි සිතීම පවා අපහසුය. ඒ මියුරු අමරසර කිසිම දිනයක මියැදෙන්නේ නම් නැත. ඒ තරමටම ඒ හඬ ජීවමානය. ‘අමරසර විනිස’ නමින් අමරදේව නම් සංගීතවේදියා පෙර අපර දෙදිග සංගීතවේදීන්ගේ ඇසින් දෙවර්ෂ පූර්ණ සිහි කිරීමට පාත්‍ර වීමට නියමිත එහෙයිනි. මේ, ඒ කටයුත්ත පිළිබඳව ඔහු පුත් රංජන
අමරදේවයන් සමග කෙරුණු පිළිසඳරකි.

ඔහු දැයෙන් නික්ම ගොස් දෙවසරක් පූර්ණ වෙනවා නේද?
ඔව්. ආදරණීය පියාණන් හෙළයේ මහා ගාන්ධර්වයාණන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් අප අතරින් සමුගෙන දෙවසරක් පූර්ණ වෙනවා.

අපට නම් ඒ කාලය අද ඊයේ වගේ?
රටකට එහෙම දැනෙනවා කියන්නේ අපට ඔහුව දැනෙන විදිය ගැන අමුතුවෙන් කිව යුතු නෑ මම හිතන්නේ. ඔහු නික්ම ගියේ නෑ. මේ අප අතරම තවමත් හුස්ම ගන්නවා කියලයි මට නම් හැඟෙන්නේ.

දෙවර්ෂ පූර්ණ සංවත්සරය සලකුණු කිරීමට සුවිශේෂී කටයුත්තක් සූදානම් වෙනවා නේද?
ඔව්. ඒ තමයි ‘අමරසර විනිස.’ ජාතියේ මහා ගාන්ධර්ව කීර්තිශේෂභාවෝපගත ආචාර්ය පණ්ඩිත් අමරදේව දෙවර්ෂ පූර්ණ සංවත්සරය සලකුණු කරමිනුයි මේ සුවිශේෂ කටයුත්ත සංවිධානය වෙන්නේ. නෙැවැම්බර් මස 2 දා සිකුරාදා පස්වරු 3.30ට කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී තමයි මෙය පැවැත්වීමට කටයුතු සියල්ල සූදානම් වෙලා තියෙන්නේ.

මොන වගේ අත්දැකීමක්ද මෙතුළින් කලාකාමී හදවත්වලට සමීප කරගන්න හැකි වෙන්නේ?
මෙහිදී සිද්ධ වෙන්නේ අමරදේවයන්ගේ සංගීත කලා චර්යාව පෙර අපර දෙදිග සංගීතවේදීන්ගේ ඇසින් විමර්ශනය කිරීමක්. ඉතින් එතුමන්ගේ හඬට විතරක් ‍නෙවෙයි, රුවට පවා ආදරය කරන, ගෞරව කරන කලාකාමී සියල්ලන්ටම ‘අමරසර විනිස’ සන්ධ්‍යාව විවෘතයි.

අපි කියමු එදින මෙහෙයවීම් සිද්ධ වෙන්නේ කොහොමද කියලා?
මහාචාර්ය අජිත් අබේසේකර, මහාචාර්ය කෝලිත භානු දිසානායක, සංගීතවේදී හර්ෂ මාකලන්ද, සංගීතවේදී නදීක ගුරුගේ කියන පිරිසගෙන් මේ සන්ධ්‍යාව ප්‍රභාවත් වීමට නියමිතයි.

මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීමට කල්පනා කළේ ඇයි?
අමරදේව පදනමෙනුයි, මෙහි සංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ. තරුණ සංගීත ශිල්පීන්, කලාකරුවන් වෙනුවෙන් මෙය ආශිර්වාදයක් වෙයි කියන බලා‍පොරොත්තුව අපට තියෙනවා. ඉතින් ඒ බලා‍පොරොත්තුව මුල් කරගෙනයි මෙහි සංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ.

මේ කටයුත්ත දිගටම මේ විදිහට සිද්ධ වෙනවාද?
අමරදේවයාණන්ගේ නිර්මාණ පිළිබඳව නූතන තරුණ පිරිස් අතර කතිකාවක් ගොඩනැගීමයි මේ සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ. ඉතින් මෙය නැවතුමක් නොවන ඇරඹුමක් විදිහට ඉදිරියට අරන් යන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වයත් ලැබෙයි කියන බලා‍පොරොත්තුව තියෙනවා.

එහෙනම් මෙය පුළුල් දැක්මකින් යුතුව සංවිධානය වන්නක්?
ඇත්තටම ඔව්. මොකද හුදු ගුණකථනයකට එහා ගිය වටිනාකමක් එකතු කිරීමයි මෙහි මූලික පරමාර්ථය. එතුමන්ගේ ගීත, නිර්මාණ පිළිබඳව නව දැක්මක්, අලුත් කෝණයක් මෙම කතිකාවත හරහ ගොඩනැගේවි කියන බලා‍පොරොත්තුව අප සතුයි.

අමරදේවයන්ගේ ගීත අද වෙනකොට බොහෝ පිරිස් ගායනා කරනවා. ඒ අවසර සහිතවද?
බොහෝ විට එම ගායනයන් සිද්ධ වෙන්නේ අවසරයකින් තොරව. ඒ පිළිබඳව අප දැනුවත් කිරීම් නිරන්තරව කරනවා. ඒ අවසරය නම් අනිවාර්යයයි. පූර්ව අවසරයකින් යුතුව කෙරෙන ගායනයන්ට අපි අවස්ථාව සලසලා දෙනවා. මොකද මේ වටිනා නිර්මාණ ඉදිරි පරම්පරාවට යා යුතුයි. ඒ මත සිට නීතිගරුක පුද්ගලයකු ලෙස අවසර ඇතුව කෙරෙන ගායනයන්ට අපි ඉඩ දෙන්න සූදානම්.

කොහොමද ඒ අවසරය ලබාගත හැක්කේ?
ලිඛිතව අමරදේව පදනම වෙත කෙරෙන ඉල්ලීමක් මගින් ඒ පූර්ව අවසරය ලබාගත හැකියි. එහෙම අයෙක් අවසර ඉල්ලුවොත් ගත යුතු අදාළ පියවරයන් පිළිබඳව අපට ඔවුන්ව දැනුවත් කළ හැකියි.

එතුමන්ගේ නිර්මාණ සංරක්ෂණය කිරීම සඳහා මොන වගේ වැඩපිළිවෙළක්ද සිදු කරලා තියෙන්නේ?
රජය මගින් අමරදේව අසපුව නිර්මාණය වෙන්නේ ඒ නිර්මාණ සංරක්ෂණමය කාර්යය මූලික කොටගෙන. එය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ සිද්ධ වෙන්නක්. අපේ ගම පරිශ්‍රයේ තමයි මෙය ඉදිවෙන්නේ. පියාණන්ගේ සියලුම නිර්මාණ ‍ලේඛනාගාරයක් විදිහට එහි සුරක්ෂිත වීමට නියමිතයි. ජනතාව උදෙසා එතුමන්ගේ නිර්මාණ එකතුවක් ‍පොදු ජාතික වස්තුවක් බවට එහි පත්වේවි. ‍ලේඛනාගාරයක්, පුස්තකාලයක්, කෞතුකාගාරයක් ආදී ලෙසයි මෙම අසපුව නිර්මාණය වෙන්නේ.

නඳුනි ආරියවංශ

gossip lanka