පාසල් සිසුවියකට ලේ වමනය යන්න විදුහල්පති ගිනිසීරියා පොල්ලකින් පහර දීලා

මහියංගන, දම්බරාව මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකට පසුගිය 22 දා විදුහල්පතිවරයා විසින් සිදු කරන ලද බව කියන පහර දීමක්‌ හේතුවෙන් ඇයගේ ඇස අසල තුවාල වී ප්‍රතිකාර සඳහා මහියංගන මූලික රෝහලට ඇතුළත් කළ බව ඇයගේ දෙමාපියෝ හා පාසල් සංවර්ධන කමිටු සාමාජිකයෝ පවසති. පහරදීම හේතුවෙන් ඇයට අවස්‌ථා කිහිපයකදී රෝහල තුළදී "ලේ
වමනය" ද ගිය බව දෙමාපියෝ පවසති.

 පසුගිය 20 දා පාසලේ බාහිර ක්‍රියාකාරකමක්‌ සඳහා සහභාගි නොවූ දරුවන් කැඳවා පසුගිය 22 දින උදැසන දම්බරාව මධ්‍ය මහා විද්‍යාලයීය විදුහල්පති ටී. බී. සමරකෝන් මහතා මෙලෙස ගිනිසීරියා පොල්ලකින් පහරදීම් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙලෙස පහර දීමෙන් ඇස අසල තුවාල ලබා ඇත්තේ එම විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.

 තුවාල ලැබූ දැරිය විද්‍යාලයේ ගුරුවරුන් කිහිපදෙනකු සහ ඇයගේ වැඩිමහල් සොහොයුරිය සමග නිවසට ඇරලවා ඇත.

 එහිදී සිදුවූ සිද්ධිය දෙමාපියන්ට පවසා ඇති අතර තුවාලවලට ප්‍රතිකාර ගැනීම සඳහා රුපියල් 5000 ක මුදලක්‌ ද ලබාදීමට උත්සාහ කර ඇත. එහිදී දැරියගේ පියා මුදල් ලබාගැනීම ප්‍රතික්‍ෂේප කර තිබේ. එසේම පැමිණි ගුරුවරයකු "දරුවාට පාසලෙන් වැරැද්දක්‌ වෙන්න පුළුවන් ඉදිරියේදී ඒ නිසා සිද්ධිය ගොඩින් බේරා ගන්න" ලෙසට තමාට පැවසුවේ යෑයි දරුවාගේ පියා වන කේ. බී. එම්. වීරවර්ණ මහතා කීවේය.

 ඉහත ප්‍රකාශය හේතුවෙන් දරුවාට විදුහල්පතිවරයාගෙන් හා ගුරුවරුන්ගෙන් නොසැලකිල්ලක්‌ ඇතිවේවි යන බියෙන් බොරුවක්‌ පවසා තුවාල ලැබූ දැරිය රෝහල වෙත ඇතුළත් කළ බව දෙමාපියෝ කියති. එහිදී දැරියගේ ඇස රතුවී ඇස අසල ඉදිමී ලේ වමනය යැම කිහිප වරක්‌ සිදුවීම හේතුවෙන් දරුවාට කුමක්‌ වූවේ ද යන්න වෛද්‍යවරුන් යළි යළි ප්‍රශ්න කර ඇත. එහිදී ද දෙමාපියන් සත්‍ය වසන්කර ඇත.

 සිද්ධිය ඇසින් දුටු පාසල් දරුවකු ඔහුගේ දෙමාපියන්ට සිද්ධිය සවිස්‌තරව පැවසීමත් සමග එම දෙමාපියන් පාසල් සංවර්ධන කමිටු සාමාජිකයන් දැනුවත් කර තිබේ. ඔවුන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව මහියංගන පොලිසිය දෙමාපියන්ගෙන් ප්‍රශ්න කිරීම හමුවේ සිද්ධියේ විස්‌තර හෙළි කරගෙන ඇත.

 25 දා දහවල් 12 වනතුරු ද තුවාල ලැබූ දියණිය මහියංගන මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියාය.

 දම්බරාව මධ්‍ය මහා විද්‍යාලයීය විදුහල්පති ටී. බී, සමරකෝන් මහතාගෙන් මෙම චෝදනා සම්බන්ධයෙන් දුරකථනයෙන් විමසීමට අවස්‌ථා කිහිපයකදීම උත්සාහ ගත්ත ද දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොලැබිණි.

 සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන් කටඋත්තර සටහන් කර ගනිමින් විමර්ශන කරන බව මහියංගන පොලිසිය කියයි.