නයනතාරා තමයි මම කැමතිම නිළිය.. - දෙවෙනි ඉනිමේ දනීෂ -Exclusive

ප්‍රභාත් චතුරංග කියනවාටද වැඩියෙන් කැමති නැත්නම් දනීෂ කියනවාටද?
මේ දවස්වලනම් හැමෝම කතා කරන්නේ දනීෂ කියලා. සමහරු දැනගෙනත් කතා කරන්නේ දනියා කියලා.

ඉතින් මොනාද ජීවිතේ අලුත් තොරතුරු?
දෙවෙනි ඉනිමේ වැඩ කටයුතුත් එක්කම නර්තනය පැත්තෙන් මගේම කියලා ආයතනයක් පටන් ගන්න
තමයි මං මේ දවස්වල සැලසුම් කරලා තියෙන්නේ.

කොච්චර කල්ද නර්තනය කරන්න පටන් අරගෙන?
මං පුංචි කාලේ ඉඳන්ම නර්තනයට ආසයි. පාසල් යන කාලෙත් නර්තනය කළා සහ හැදෑරුවා. ඊට පස්සේ වෙස් බැන්ඳා. ඩිප්ලෝමා එකක් කළා. නර්තනය පැත්තෙන් ගොඩක් ඉගෙන ගත්තා. ඒත් එක්කම තමයි රංගන පැත්තත් හදාරලා මේ ගමන ආවේ.

කොහොමද දෙවෙනි ඉනිමට අවස්ථාව හම්බුණේ දනීෂගේ චරිතය රඟපාන්න?‍
දෙවෙනි ඉනිම අධ්‍යක්ෂක සාරංග අයියාගේ 2013 තිබ්බ වැඩමුළුවකට ආවා. එයා ඒ කාලේ කරපු ටෙලි නාට්‍යවල බොහොම සුළු චරිත මට එයා රඟපාන්න දුන්නා. ඒ ඔස්සේ හිමීට ආපු ගමනක ප්‍රතිඵල තමයි මේ. ඊට පස්සේ දෙරණෙම විකාශය වෙච්ච ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යයේ මට චරිතයක් හම්බුණා. ඒ චරිතය මම ගොඩනගාගෙන ඉස්සරහට ආවා. නාට්‍යයේ අන්තිම වෙනකම් මම ඒ චරිතයට පණ දුන්නා. ඒ ඔස්සේ මගේ දක්ෂතාවය දැන හඳුනගෙන තමයි සාරංග මෙන්ඩිස් අයියා මට කතා කළේ. මේ ටෙලි නාට්‍යය පටන් ගන්න කළින් මට කිව්වා මම මෙහෙම ටෙලි නාට්‍යයක් පටන් ගන්නවා කියලා. ඊට පස්සේ දවසක කෝල් කරලාකිව්ව මචං පිටපතක් තියෙනවා උඹ ඇවිත් අරන් පලයන් කියලා.

පවුලේ විස්තර ගැන මතක් කළොත්?
මගේ පවුලේ ඉන්නේ මමයි, නංගියි, අයියායි, අම්මායි, තාත්තායි. මගේ අයියා කුලරුවන් ගමගේ. එයා දක්ෂ කැමරා අධ්‍යක්ෂකවරයෙක්.

මේ වෙද්දි පෙම්වතෙක්ද?
නෑ…. තවම නෑ

දෙවෙනි ඉනිම බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක්වෙන්න බලපාපු ප්‍රධාන කාරණාව මොකක් කියලාද ප්‍රභාත් හිතන්නේ?
ඒකට බලපාපු ප්‍රධාන කාරණාව මම හිතන්නේ ඒ කතාව හැමෝටම සමීපයි. දෙවෙනි ඉනිමේ චරිත ගත්තොත් ඒ චරිත සමාජයේ ජීවත්වන චරිත සහ ඒ සියලු සිද්ධීන් සමාජයේ සිදුවෙන සිද්ධීන් නිසා තමයි දෙවෙනි ඉනිම වඩාත් ජනප්‍රිය වුණේ. මොකද ඒ චරිත හැමකෙනෙක්ටම ලෙංගතුයි. උදාහරණයක් විදියට ආනන්දගේ චරිතය ගත්තොත් ඒ චරිතයට පෙම් බඳින පිරිස මං හිතන්නේ වයස් සීමාවකින් තොරයි. මොකද ධර්මප්‍රිය අයියාගේ රංගන දක්ෂතාවය සහ ඒ චරිතය විසින් උලුප්පන්නාවූ ලක්ෂණවලට මිනිස්සු ගොඩක් ආදරය කරනවා. ඒ වගේම දෙවෙනි ඉනිම මේ තරම් සාර්ථක වෙන්න ඒ පිටුපස ඉන්න හැමදෙනාගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා.

දෙවෙනි ඉනිමේ ඉදිරි කොටස්වලදී ඔබට පෙම්වතෙක්ගේ චරිතයක් රඟපාන්න සිදුවුණොත් කාවද පෙම්වතිය කරගන්න කැමති?
මම ටෙලි නාට්‍යය ඇතුලෙදි පෙම්වතිය විදියට මම වඩාත්ම පෞද්ගලිකව ප්‍රියකරන චරිතයක් තමයි නයනතාරා එහෙමත් නැත්නම් දෙව්මි. දෙව්මි කියන චරිතය මගේ චරිතයක් එක්ක ඉස්සරහට සම්බන්ධ කරලා ලිව්වොත් එයත් එක්ක ඉස්සරට රඟපාන්න ආසයි.

නයනතාරා, ශනුද්‍රි, ශලිනි යන චරිතවලින් ඔබ කැමතිම රංගන ශිල්පිණිය කවුද?
නයනතාරා තමයි මම කැමතිම නිළිය.

සැබෑ ජීවිතේ පෙම්වතිය විදියට රංගන ශිල්පිණියක් තෝරගන්නවානම් කාවද තෝරගන්නේ?
සැබෑ ජීවිතේ නම් රංගන ශිල්පිණියක් පෙම්වතිය විදියට තෝරගන්න දැනට කිසි අදහසක් නම් නෑ. එහෙම පෙම්වතියක් තෝරගන්න හිතුනොත් මේ නාට්‍යයේම කෙනෙක් තෝරගන්න ඉඩ තියෙනවා.