‘‘පසිඳු අතපය කපාගෙන ඒ ෆොටෝ එවනවා" - ෆේස් බුක් එකෙන් හමු වී ඉක්මන් විවාහයක් සෙවූ පෙම්වතා සඳිනිගේ ජීවිතය බිලිගත් හැටි හෙළිවෙයි

පිළියන්දල මඩපාත පදිංචි ජයසේකර මහත්මිය හදිසියේම පොලීසියට ආවේ ඇගේ දියණියට වෙච්ච දේ කියන්නයි. ඈ කියන හැටියට ඇගේ දියණිය වන සඳිනි පෙම්වතාගේ නිවසේ සිටින අතුරතුර ගින්නකට හසු වී පිළිස්සි රෝහල්ගත කර තිබෙනවා.

සඳිනිට මේ පෙම්වතාව මුණ ගැහෙන්නෙ සමාජ මාධ්‍ය ජාලයකින්. ඒ වෙනකොටත් ඇය මහරගම විද්‍යාකර විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් ඉඳලා තියෙන්නෙ. සඳිනිගේ අරමුණ වුණේ උත්සහයෙන් ඉගෙන ගෙන උසස් පෙළින් සමත් වීම. මේ සම්බන්ධය දැන අඳුන ගත්තු දෙමව්පියන්ගේ
ආශිර්වාදයත් දෙන්නටම ලැබුණා. සඳිනි පවුලේ බඩපිස්සිය වගේ එකම ගැහැණු දරුවා. ඇයට හිටියේ වැඩිමහල් සොහොයුරෙක් විතරයි.

පුද්ගලික ආයතනයක රැකියාවක් කළ ඇගේ පියා දැන් එයින් විශ්‍රාම ගෙන සිටින නිසාම ඇගේ මවත්, සහෝදරයාත් ඇගේ හෙට දවස වෙනුවෙන් රැකයාවල නිතර වෙමින් ආර්ථිකය ගොඩ නඟන්නට වෙහෙසුණා.

 පිළියන්දලම පදිංචිව හිටපු පසිඳු මධුශංඛ විසි හැවිරිදි තරුණයෙක්. වැඩිදුර අධ්‍යාපනය නොලද ඔහු වෘත්තිය විදිහට කළේ වඩු කාර්මික වැඩ. පසිඳු නිතරම සඳිනිට ‘ඉක්මනට විවාහ වෙමු අපි‘ කියා කීවත් සඳනිට ඕනි වුණේ හොඳින් ඉගෙන ගන්නයි.

‘මට නම් අවුරුදු 23 වෙනකන්වත් බඳින්න බෑ...‘ ඇය පසිඳුට එහෙම කිව්වා.

 කෙසේ හෝ වැඩිදුර අධ්‍යාපනය ගැන හීන මවමින් හිටපු සඳිනි, උසස් පෙළ විභාගයට ලියන අන්තිම දවස වුණේ අගෝස්තු 31 වැනිදා. විභාගයෙන් පස්සේ සතියක් පමණ විවේකීව ගත කළ ඇය තොරතුරු තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වුණේ පසුගිය 7 වැනිදා. ඒ ඇයට ඉහළටම ඉගෙන ගන්න තිබුණ දැඩි ආසාව යටපත් කරගන්න බැරිම වුණ නිසා. ඒත් ඒ දෙයින් වුණේ පසිඳු තවත් කෝපයට පත් වීමයි. ඇය තමන්ට ඇහුම්කන් නොදෙන එක ගැන ඔහු හිටියේ තරහකින්.

‘8 වෙනිදා දුව යාලුවෙකුට මැසේජ් එකක් දාලා තියනවා, පසිඳු මට හරියට වද දෙනවා, මේ සම්බන්ධේ නවත්තන්නෙ කොහොමද කියලා‘ අහලා.

‘මේ දෙන්නා අඳුනගෙන තියෙන්නෙ ෆේස් බුක් එකෙන්. ගෙවල් දෙකේම කැමැත්ත තිබුණා. ෆේස් බුක් එකෙන් දැක්ක රූපේ නෙවෙයිලු මුණ ගැහුණු කෙනාගේ රූපේ. දුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එයා උසස් පෙළ ප්‍රථිපල බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් පසිඳු වඩු වැඩ කරන කෙනෙක්. ‘ඔයා කැම්පස් ගියොත් ඉගෙන ගන්න. මම ඔයාට උදව් කරන්නම්‘ කියලා මුලදි ඒ ළමයා දුවට කියලත් තියනවා. ඒත් පහුවෙනකොට දුව ඉගෙන ගන්නවට එයා විරුද්ධ වුණා.‘

‘වෙනත් කෝස් එකක් කරනවටත් එයා තදින්ම විරුද්ධ වුණා. එයා නිතරම කිව්වේ ඉක්මනට බඳිමු කියලයි. ඒත් දුව ඒකට කොහෙත්ම කැමති වුණේ නැහැ. අවුරුදු 23 වෙනකන් බඳින්න බැහැ කියලයි දුව නිතරම කිව්වේ. දුවට ඕනි වුණේ එයාව මඟ අරින්න. එහෙම කරන හැම වෙලාවකම පසිඳු අතපය කපාගෙන ඒ ෆොටෝ එවනවා ළමයට. ඒ විදිහට දුවව බයකරගෙන තමයි හිටියේ....‘

‘එදා දවල් එකොළහ හමාරට විතර පසිඳු බයිසිකලෙන් අපේ ගෙදර ආවා. පැයක් දෙකක් ඉඳලා පන්සල් යමු කියලා දුවට කිව්වා. මාත් එන්නම් හවස, අපි තුන්දෙනාම යමු කියලා මම කිව්වා. මට බඩගිනියි මාළු බැදලා බත් කන්න ඕනි කියලා දුවත් එක්කගෙන එයා ගියා. පැයක් දෙකක් ගිහින් අපි දුවට කතා කළා. අම්මේ මම තව ටිකකින් එනවා කියලා දුව කිව්වා. ඊට පස්සේ පුතාට කෝල් ගත්තා. රිංග්ස් ගියා. ආන්සර් කළේ නැහැ. ඒ නිසා මම පුතාගේ අම්මට අරන් පුතා කෝ කියා ඇහුවා. එයා කිව්වා කඩේට ගියා කියලා. ආයි දුවගේ ෆෝන් එකට ගත්තා. ආන්සර් කළේ නැහැ. ඊටපස්සේ පැයකින් විතර අම්මා කතා කරලා කිව්වා ළමයි දෙන්නා ගිනි තියාගෙන කියලා...‘

‘අම්මයි තාත්තයි එකොළහ වසරෙ මල්ලි කෙනෙකුයි පෙර පාසල් යන මල්ලි කෙනෙකුයි ඒ ගෙදර ඉන්නවා. අහළ පහළ කෙනෙක්වත් ගෙදර කවුරුවත් මොකද වුණේ කියලා දන්නෙ නැහැ. අපේ දුව ගිනි තියාගත්තනම් එයා මොකටද පැනලා ගියේ. හරි නම් එයාම උස්සගෙන ඉස්පිරිතාලේ ගෙනියන්න ඕනි. මට නම් මුළු පවුල ගැනම සැකයි මේකට....‘
මිය ගිය තරුණියගේ මව පොලීසියට පවසා ඇත්තෙ එවැන්නක්.

කාමරයේ ඇඳ මත ඇවිලෙමින් සිටි සඳිනිව පසිඳුගේ පියා විසින් පිළියන්දල රෝහලට ඇතුළත් කර ඇති නමුත් පසුගිය 19 වැනිදා ඇය සඳහටම දෙනෙත් පියාගත්තේ නොගැළපීම් මැද ගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රථිපලයක් නිසයි. ඇගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදි ඇයට කතා කළ නොහැකි වු තැන පොලීසිය ‘පසිඳු ගිනි තැබුවාද‘යි ඇසු විට ඇය හිස වනා ‘ඔව්‘ කියා පිළිතුරු දී තිබෙනවා. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පසිඳු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර තිබෙනවා