සෞදියේදී නිරූපණ ක්ෂේත්‍රයට යොමුවන ඇය, පේශලා විජේසුන්දරය

නිරූපණ ක්ෂේත්‍රයට දක්වන්නා වූ ආශක්ත බව නිසාම සෞදි අරාබියේදීම නිරූපණ ක්ෂේත්‍රයට යොමුවන ඇය, පේශලා විජේසුන්දරය. මේ කතාබහ ඇය සමගිනි.

පේශලා නිරූපණ ක්ෂේත්‍රයට යොමු වූ ආකාරය ගැන මුලින්ම කතා කළොත්?

මම ගම්පහ ප්‍රදේශයේ තමයි ඉන්නේ. ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ එක ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් ඉන්න කාලෙදි තමයි සෞදි
ආරාබියට පැමිණෙන්නේ. ඉන් පසු මගේ ඉගෙනීමේ කටයුතු සිදු වුණේ සෞදි ආරාබියේ. ඒ ඉගෙනීම් කටයුතු අවසන් වෙලා ගිණුම්කරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ රැකියාව කරන අතරතුර තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙන්නේ. මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රය තුළ වසර හයක පමණ කාලයක සිට මම කටයුතු කරනවා.

ඔබ කුඩා කල සිටම නිරූපණ ක්ෂේත්‍රයට කැමැත්තක් දැක්වූ කෙනෙක්ද?

ඇත්තම කිව්වොත් මං කැමරාවට කුඩා කල සිටම බයයි. තේරෙන කාලය වනවිට මම රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යයවල චරිත ගැන බලා මම ඒවා රඟදක්වන්න යොමු වුණා. පස්සේ විනෝදංශයක් ලෙස නිරූපණ කටයුතු සිදුකිරීමට යොමු වුණා.

සෞදි ආරාබිය වැනි රටක නිරූපණ ක්ෂේත්‍රයට තිබෙන ඉඩ කෙබඳුද?

සෞදි ආරාබියේ පවතින නීතිරීතිවල හැටියට ෆැෂන් කරන්න බැහැ කියලා තමයි ගොඩක් අය හිතන්නේ. නමුත් මම නිරූපණ ක්ෂේත්‍රයට යොමුවී කටයුතු කරද්දි වැටහුණ දේ තමයි එයට මේ රට තුළත් ලොකු අවස්ථාවක් තියෙනවා කියන එක. ‘ආරාබි ෆැෂන් වීක්’ වැනි දේවල් පැවැත්වෙනවා. මේ රටේ විවිධ ඉවෙන්ට් සංවිධානය වෙනවා. ලොකු වෙනසක් දැනෙනවා. ලංකාව නියෝජනය කරමින් ඒවාට ඉදිරිපත් වීමට ලැබීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා.

නිරූපණය පිළිබඳ ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණද?

මෙරට තුළ ඒ ගැන ඉගෙන ගන්න විවිධ වැඩමුලු තිබෙනවා. මම ඒ වැඩමුලු කිහිපයකටම දායක වුණා. මෙවර මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තුළිනුත් බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුණා.

ආරාබිය තුළ වෘත්තිමය වශයෙන් නිරූපණ ශිල්පය කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවද?

ඔව්, නිරූපණය මේ රටේ වෘත්තියක් ලෙස කරන්න හැකියාව තිබෙනවා. මම හිතන්නේ ලංකාව තුළත් මෙය සිදුකළ හැකියි. මෙය මගේ විනෝදාංශය බවට පත්වෙලා තියෙන්නේ.

නිරූපණ ක්ෂේත්‍රයට යොමුවීම තුළින් ඇගයුම් ලබන්න අවස්ථාවක් ලැබුණද?

මට මේ රටේ ප්‍රසිද්ධ ෆැෂන් ෂෝවලට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ වසරේ දී ‘Sacia’ මිස් ලංකා තරගයට ඉදිරිපත් වුණා. එහි 1st runers up බවට පත්වුණා. එය තමයි විශේෂිතම දේ.

වෘත්තීය කටයුතුත් එක්ක ඔබේ නිරූපණ වැඩකටයුතුවලට කාලවේලාව වෙන් කරගන්නේ කොහොමද?

ඒ දේ කරන්න එක තමයි හරිම අපහසු. උදෑසනම රැකියාවට යනවා, සවස 5.00ට තමයි නැවත ගෙදර එන්නේ. ඉන් අනතුරුව පැයක් පමණ විවේකයෙන් ඉඳලා නැවත නිරූපණ කටයුතුවලට යනවා. පාන්දර 3,4 වන තුරු ෆොටෝ ෂූට් පැවැත් වෙනවා. පසුදා උදෑසන නැවත රැකියාවට යනවා. මට නිරූපණ ක්ෂේත්‍රයට තිබෙන ආසාව, කැපවීම එක්ක ඒ වෙහෙස දැනෙන්නේ නැහැ.

ලංකාවේ නිරූපණ කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවද?

බොහෝ අය ආරාධනා කරනවා. එයටත් ඉදිරියේ දී දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. මම ලංකාවේ කෙනෙක්. ලංකාවට දෙයක් කරන්න ඕන කියලා හිතනවා. ලංකාවට පැමිණි පසු නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන්න කැමැත්තක් දක්වන, උනන්දුවක් තිබෙන අය වෙනුවෙන් නිරූපණ පාසලක් ඇති කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න කැමැත්තක් තිබුණත්, එයට ආර්ථික ශක්තියක් නැති අය ගොඩක් ඉන්නවා. ඔවුන්ට අවස්ථාවක් ලබාදෙන්න මම උත්සහ කරනවා.

මතක් කළ යුතු පිරිසක් ඇති?

මට උදව් කළ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. මම මේ රට තුළ සිටිමින් සමාජ සේවා ව්‍යාපෘතියක් ආරම්භ කළා. එයට මට සහයෝගය ලබාදෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA marine environmental protection). එහි සභාපති ප්‍රදීප් කුමාරව මතක් කළ යුතුයි. මේ තුළින් ප්ලාස්ටික් භාවිත කරන එක අඩුකරන වැඩපිළිවෙළක් සිදු වෙන්නේ (Marine pollution and plastic pollution ) ඒ ගැන දැනුවත් කිරීම් සිද්ද වෙනවා. මේ කටයුතු තවත් විධිමත්ව සිදුකරන්න ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා.

රංගන මදුසංඛ / ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක

gossip lanka