කොළඹට මිනිස්සු ගේන්න බෑ කිවුවාට කිහිලිකරුවක් කැඩෙනකන් ගහලා - හිටපු රාජ්‍ය ඇමතිගේ නිවසේ ගුටි බැට හුවමාරුවක්..!

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ වෙන්නප්පුවේ පිහිටි නිවසේ ඇති වූ බහින්බස්‌වීමක් දුරදිගයාම නිසා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයෙකු එම පක්ෂයම නියෝජනය කරන තවත් මහජන නියෝජිතයෙකුට සිදුකළ පහරදීමෙන් බරපතළ

තුවාල ලබා මාරවිල රජයේ රෝහලට ඇතුළත් කර
තිබෙනවා.

මෙම පහරදීමට ලක්‌ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන  අරුණ ශාන්ති විඡේතුංග වන අතර පහරදීම සිදුකර ඇත්තේ එම පක්ෂයේම මහජන නියෝජිතයෙකු වන පියල් ප්‍රියන්ත පෙරේරා නැමැත්තා බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්‌වූ අරුණශාන්ති විඡේතුංග මහතා තමන් මුහුණ දුන් සිදුවීම මාධ්‍ය වෙත මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

මෙම සිද්ධිය මම තරයේ හෙළා දකිනවා. පක්‌ෂය වෙනුවෙන් දරදිය ඇද්ද පක්‌ෂ නායකත්වයට හිසනැමූ මට අප පක්‌ෂයේ පුත්තලම් දිස්‌ත්‍රික්‌ක කාර්යාලයේදීම නිරපරාදේ පහරකෑමට සිදුවුනා.ඒ අය කළේ තිරිසන් ක්‍රියාවක්‌. ඒ වගේම පක්‌ෂයටම කළ නින්දාවක්‌.

රටේ පවතින දේශපාලන අර්බුදයේදී පක්‌ෂය වෙනුවෙන් මට කළ හැකි දෙයක්‌ කිරීමට ඇද්දැයි දැනගන්නට මම පෙරවරු 08.45 ට පමණ වෙන්නප්පුවේ රාජ්‍ය ඇමැති කාර්යාලයට ගියා. එහි යනවිට ඇමැතිතුමාගෙ පෞද්ගලික ලේකම් ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා සිටියා. ඔහු මට කීවා අඟහරුවාදා කොළඹ යැමට 20 ක්‌ පමණ සෙනගක්‌ කැටුව ආයුතු බව. මගේ ශල්‍යකර්මය අතළඟ නිසා මම කීවා මට මේ මොහොතේ නම් එක අමාරු වැඩක්‌ කියා.

පසුව එම ස්‌ථානයේ සිටි පියල් ප්‍රියන්ත යන මහජන නියෝජිතයින්ද අපේ කතාවට සම්බන්ධ වී නිරපරාදේ මට දොස්‌ කීවා. ඔහු නිරපරාදේ රෝගී මට බැණවදින නිසා මම කීවා මෙතන රියදුරෙක්‌ව සිටින ඔයා එහෙම දොස්‌ කියන්න එපා මින් ඉදිරියට මම නිලධාරීන් හමුවන්න මෙම කාර්යාලයට නොඑන බවද කීවා. එසේ පවසනවාත් සමගම පියල් ප්‍රියන්ත යන අය අසල තිබූ කිහිලිකරුවකින් එය කැඩෙනතෙක්‌ මට බිම වැටෙනතෙක්‌ හොඳ හැටි පහර දුන්නා.

අන්ත අසරණ වූ මම ගිලන් රථයක්‌ ගෙන්වාගෙන මාරවිල රෝහලට ඇතුළත්ව 03 වන වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියා. රෝහල් පොලිසිය මගෙන් කට උත්තරයක්‌ පවා ගත්තා. කෙසේ වෙතත් රටේ අස්‌ථාවර තත්ත්වය හා පක්‌ෂය වෙනුවෙන් සිතා රෝහලෙන් ටිකට්‌ කපා පිටතට එන්නැයි පක්‌ෂ බලධාරීන් දිගින් දිගටම කළ ඉල්ලීමට කන්දෙමින් මම මගේම කැමැත්තෙන් රෝහලෙන් ටිකට්‌ කපාගෙන නිවසට ආවා. මම රෝහලෙන් ආවත් මට සිදුවුණ දේ දැන් සිදුවී අවසානයි.

පක්‌ෂයට ගරු කිරීමක්‌ ලෙසින් මම රෝහලෙන් පිටව ආවත් ඉදිරියේදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා මට නිරපරාදේ දොස්‌ කීම ගැනත් කිහිලිකරුවක්‌ කැඩෙනතෙක්‌ නිරපරාදේ පහරදුන් අය සම්බන්ධවත් වහාම විධිමත් පරීක්‌ෂණයෙන් පවත්වා වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස මම එක්‌සත් ජාතික පක්‌ෂයෙන් හා පක්‌ෂ නායකත්වයෙන් ඉල්ලන සිටිනවා.