'ඉලන්දාරි හැන්දෑව' ජීවිතයට අරුණෝදයක්

නිල්වලා විශ්වමාලි කියන්නේ වර්තමානය වෙන විට නර්තනයෙන් වගේම රංගනයෙන් පේ‍්‍රක්ෂක ආදරය දිනා ගත් රුවැත්තියක්. පසුගිය කාලයේ අපට බොහෝ විට ඇයව දකින්නට ලැබුණේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කලණි චරිතය හරහා. හිටි හැටියෙම දෙවැනි ඉනිමෙන් නිහඬ වුණු නිල්වලා මේ දින වල ජාතික රූපවාහිනියේ විකාශනය වන ”ඉලන්දාරි හැන්දෑව” සමග පේ‍්‍රක්ෂකයා අතරට එන්නේ
වෙනස්ම චරිත නිරූපණයකින්.


කොහොමද ”ඉලන්දාරි හැන්ඳෑවේ” ෂේනුට ලැබෙන ප‍්‍රතිචාර ?

ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඉලන්දාරි හැන්දෑව රූගත කළේ දෙවැනි ඉනිමටත් කලින්. ඒ වෙන කොට මම හිටියේ ඒ චරිතය තේරුම් ගන්න පුළුවන් මට්ටමක නෙමෙයි. රංගනය ගැන එතකොට මට ලොකු අද්දැකීමක් තිබුණෙත් නැහැ. හැබැයි අද මම ඒ චරිතය නිරූපණය කළා නම් ඊට වඩා ෂේනුගේ චරිතයට සාධාරණයක් කරන්න තිබුණා කියලා හිතනවා. රංගනය ගැන මුලින්ම ඉගෙන ගත්තේ ”ඉලන්දාරි හැන්ඳෑව” ටෙලි නාට්‍ය තුළින්. ඒක මගේ ජීවිතේ ලොකු පිම්මක් කියලා හිතනවා. ඉලන්දාරි හැන්ඳෑව ටෙලි නාට්‍යයෙන් ලබා ගත්ත පන්නරයෙන් තමයි දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේදී මට ලොකු ශක්තියක් වුණේ. ගොඩක් ප‍්‍රවීණ ශිල්පීන් තමයි මේ ඉලන්දාරී හැන්ඳෑව ටෙලි නාට්‍යයේ වැඩ කළේ. ඒ ශිල්පීන් අතර නවකයෙක් හිටියේ මම විතරයි. ඒ ලැබුණු අද්දැකීම මට ජීවිතයේ ලැබුණු ලොකු අවස්ථාවක්. එහි අධ්‍යක්ෂ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහත්මා ඇතුළු එහි සියලූම දෙනා ගෞරවයෙන් මතක් කරනවා.

කොහොම වුණත් නිල්වලාට පේ‍්‍රක්ෂක ආදරයත්, ජනප‍්‍රියත්වයත් ලැබුණේ දෙවැනි ඉනිම හරහා කියලා පිළිගන්නවාද?

ඔව්. මම ඒක පිළිගන්නවා. මම කවදාවත් මුල අමතක කරන ජාතියේ කෙනෙක් නෙමෙයි. දෙවැනි ඉනිම මගේ පළමු රංගනය නෙමෙයි. දෙවැනි ඉනිමට පෙර මම නිර්මාණ 8 10 අතර ප‍්‍රමාණයකට දායක වුණා. ඒත් මෙගා නාට්‍යයක වැඩ කරපු පළමු අවස්ථාව නිසා දෙවැනි ඉනිම හරහා පේ‍්‍රක්ෂකයෝ ගොඩක් මා අඳුර ගත්තා.

නිල්වලා ඇයි පහුගිය කාළේ නිහඬ වෙලා වගේ හිටියේ?

පසුගිය දවස් වල මගේ නර්ථන කණ්ඩායම එක්ක විදෙස් සංචාර කිහිපයකට සහභාගී වුණා. ඒ වගේම විශ්ව විද්‍යාලයේ මගේ අධ්‍යාපන කටයුතු එක්කත් ටිකක් කාර්ය බහුල වුණා. ඒවත් එක්ක සමහර නිර්මාණ කටයුතු මගෙන් මඟ ඇරුණා. මගේ ජීවිතේ වර්තමානයෙන් ඉදිරියටත් මුල් තැන දෙන්නේ අධ්‍යාපන කටයුතු වලට. නර්තනය පැත්තෙන් ආචාර්යවරියක් වෙන එක තමයි මගේ එකම අරමුණ.

ඇයි නිල්වලා හිටි හැටියෙම දෙවැනි ඉනිම අතෑරලා ගියේ?

ඇත්තටම මම ඒ දේවල් මාධ්‍යට කතා කරන්න කැමැති නැහැ. රංගන ශිල්පිණියක් විදියට මම ස්වාධීනයි. මම කැමති නිර්මාණයකට රැුඳී ඉඳීමටත්, ඉන් ඉවත් වීමටත් මට අයිතිය තියෙනවා. ඒක ඉතින් පේ‍්‍රක්ෂකයෝ අර්ථකතනය කරන ආකාරය විවිධ වෙන්න පුළුවන්. එයාලගේ ගිවිසුම් වලට මට යටත් වෙන්න හැකියාවක් තිබුණෙත් නැහැ.

ඒ කියන්නේ ඔබ නිදහස් රංගන ශිල්පිනියක්?

ඇත්තටම මම කාටවත් යටත් වෙලා වැඩ කරන්නේ නැහැ. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ වැඩ කරන අතරතුර ප‍්‍රශ්න කිහිපයකට මට මුහුණ දෙන්න වුණා. ගොඩක් අය කිව්වා මාව අයින් කරලා කියලා. කාගෙවත් මතයක් වෙනස් කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. මොකද මම සමාජයට ඕන විදියට ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. සමහර විට මම ඇත්ත කිව්වත් ඒක සමාජය පිළිගන්න ලෑස්ති නැති වෙන්නත් පුළුවන්.

ඇත්තටම මම දෙවැනි ඉනිම පමණක් නෙවෙයි මම ඒ නිර්මාණය ඇතුලේ වැඩ කරගෙන යන්න බැහැ කියලා හිතුණොත් මම අයින් වෙනවා. දෙවැනි ඉනිම ඇතුළේ ගැටලූ රාශියක් තිබුණා. ඒ ගැටලූත් එක්ක මට එතන තව දුරටත් ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම පිටපතෙත් මගේ චරිත සම්බන්ධයෙන් විවිධ ප‍්‍රශ්න ඇති වුණා. අන්තිමට ඔවුන්ට මාව සහ මගේ චරිතය අයින් කරන්න වුවමනාවක් තිබුණා. හේතුවක් නැතුව ඒ චරිත ඔවුන් අයින් කළා. අවසාන කාලයේ මාත් ඔවුන් සමග වැඩ කළේ ඇත්තමට සතුටකින් නෙමෙයි. මාව අයින් කළා කියලා මම ඔවුන්ට චෝදනා කරන්නේ නැහැ. කිසිම අගයක් නැතුව දිගින් දිගටම එතැන වැඩ කිරීම මට එපා වුණා. මම කාටවත් ඇඟිල්ල දිග් කරන්නෙවත් පෞද්ගලික තරහක් වත් මට නැහැ. මම කොහොමද එතන වැඩ කළේ, කොහොමද කැප වුණේ කියන එක ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා.

ඒත් ඇත්තම කතාව අදටත් ඔබව පේ‍්‍රක්ෂකයා හඳුනන්නේ දෙවැනි ඉනිමේ කලණි විදියට නේද?

ඔව්. මම නැහැ කියන්නේ නැහැ. ඒත් මම දන්නේ නැහැ මට මේ ක්ෂේත‍්‍රය තුළ කොච්චර කාලයක් ඉන්න පුළුවන් වේවිද. පේ‍්‍රක්ෂකයෝ මාව කොච්චර කාලයක් පිළිගනීවිද කියන එක. මිනිස්සු ආදරේ කරන්නේ අපට නෙවෙයි. අපි කරන චරිතයට. කළනිගේ චරිතය වෙනුවෙන් මම ගත්ත උත්සාහයට ලැබිය යුතු ඉහළම ප‍්‍රතිචාර ලැබුණා. ඒ ටෙලි නාට්‍යය තුළ සමහර චරිත තියෙනවා අදටත් කොච්චර ගොඩ නගන්න හැදුවත් ගොඩ නගන්න බැරි චරිත. බලෙන් චරිත පේ‍්‍රක්ෂකයාට දෙන්න හැදුවට. පේ‍්‍රක්ෂකයෝ භාර ගන්නේ නැහැ.

දෙවැනි ඉනිමේ අපි වැඩ කළේ අපේ දෙයක් විදියට. ගොඩක් ඒ වෙනුවෙන් කැප කළා. දෙවැනි ඉනිම නිසා ගොඩක් අධ්‍යක්ෂවරු මාත් එක්ක තරහ වුණා. දැන් මට මඟ අරුණු ඒ දේවල් වලට ඉඩ කඩ හදා ගන්න ඕන. මට කියන්න තියෙන්නේ ඔබ කළණි කියන චරිතයට ගොඩක් ආදරය කළා. මගේ අතින් පේ‍්‍රක්ෂක ඔබේ රසවින්දනයට යම් අසාධාරණයක් වුණා නම් සමාව ඉල්ලනවා.

රංගන ජීවිතයේ නිහඬ වුණේ කලකිරීමක් එක්කද?

මට කිසිම කලකිරීමක් නැහැ. කලාව පැත්තෙන් මම යා යුතු සමහර අරමුණු වලට අද වෙන කොට මම ඇවිත් හමාරයි. මගේ පවුලේ කවුරුත් කලාරුවෙක් නැහැ. මගේ පවුලේ හැමෝම නීතියට සම්බන්ධ අය. මමත් නීතිය හදාරන්න යොමු වුණු කෙනෙක්. ඒත් ටික දුරක් යද්දී මම දැන ගත්තා නීතිය කියන්නේ මට ගැළපෙන දෙයක් නෙමෙයි කියලා. මගේ කලා හැකියාවට තැනක් දෙන්න මට ලොකු සටනක් දෙන්න වුණා. කලාවට එනවට කැමති වුණේ මගේ අම්මා විතරයි. තාත්තා මම කලාවට එනවට පොඞ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් අද මම ඉන්න තැන දැකලා වැඩිපුරම සතුටු වෙන්නේ මගේ තාත්තා.

කලාවට පය තිබ්බේ මම තනියම. මේ මගේ අයියාගේ දුව, නංගිගේ දුව කියලා කවුරුත් මට කතා කරලා ඥාතිකම් වලට චරිත දීලා නැහැ. තිර පරීක්ෂණයට මුහුණ දීලා අවශ්‍යතා සම්පූර්ණ කරලා තමයි මට ලැබුණු හැම චරිතයක්ම ලැබුණේ. ඒ නිසා මම කිසිම දේකට බයත් නැහැ, ණයත් නැහැ. මට මහා ලොකු වැඩ ගොඩක් කරලා නැහැ. කරපු පුංචි ප‍්‍රමාණයට මට ලැබෙන පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ආදරය හොඳටම ඇති. අනිත් එක මට මැරෙන තුරාවට රඟපානව කියන බලාපොරොත්තුවකුත් නැහැ.

ඒ කියන්නේ නිල්වලා ටෙලි නාට්‍ය වලින් ඉදිරියේදී ඈත් වේවිද?

අර්ථවත් වැඩක් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා හැබැයි මෙගා ටෙලි නාට්‍යය වලට නම් මම නැවත දායක වෙන්නේ නැහැ.

කොහොමද නිල්වලාගේ නර්ථන කටයුතු?

නර්තන කණ්ඩායමත් එක්ක සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරගෙන යනවා. ආර්ථික පැත්තෙන් මාව ශක්තිමත් කරන්නේ මගේ නර්ථන කණ්ඩායම. දැනට මම ඉන්දියානු කථක් නර්තනය හදාරානවා.



නදීශා අතුකෝරළ.