මම හැමදාම කැමැතියි අභියෝග භාරගන්න - නදීෂා හෙන්ඩර්සන්

පාසල් ක්‍රීඩිකාවක ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් දිනාගත් නදීෂා හෙන්ඩර්සන් මේ වන විට සිනමා රංගනයටද එක්ව සිටින්නීය. ඒ පෙරේදා (25දා) සිට දිවයින පුරා ප්‍රදර්ශනය වන චමන්ත්රාජ්ගේ ‘උදුම්බරා’ චිත්‍රපටය තුළිනි. එහි ‘උදුම්බරා’ ලෙස රංගනයේ යෙදෙන ඇය සිය පළමු රංගන අත්දැකීම පිළිබඳ කතාබහ කිරීමට
මෙලෙස  සම්බන්ධ වූවාය.




‘උදුම්බරා’ චිත්‍රපටයට ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

සුසන්ති ජයසිංහ මිස් නිසා. ඇය මට දවසක් කතා කරලා ඇහුවා ඉන්දීය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් සිංහල චිත්‍රපටයක් කරනවා සම්බන්ධ වෙන්න කැමතිද කියලා. ඇත්තටම සුසන්තිකා මිස් එහෙම කිව්වාම මම පුදුම වුණා. මොකද, මම ජීවිතේටවත් රඟපාලා නැති නිසා. හැබැයි සුසන්තිකා මිස්ට කැමැත්ත දුන්නා. මොකද, මම හැමදාම කැමැතියි අභියෝග භාරගන්න. මේකත් මම අභියෝගයක් විදිහට භාර ගත්තා. ඊට පස්සේ මම ‘උදුම්බරා’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ චමන්ත්රාජ් සර්ව මුණ ගැහුණා. ඔය විදිහට තමයි මම ‘උදුම්බරා’ වුණේ.

ක්‍රීඩාව හා රංගනය කියන්නෙ දෙකක්?

ඇත්තටම ක්‍රීඩාවටම යොමු වෙලා හිටිය මම එකපාරටම කැමරාවක් ඉදිරියට ගිහින් කරන්නේ මොකක්ද කියන ගැටලුවේ මම හිටියා. නමුත්, චමන්ත්රාජ් සර් මාව හොඳට මෙහෙයවුවා. ඔහු මාව අවශ්‍ය විදිහට හදා ගත්තා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ජැක්සන් ඇන්තනි සර්ව. ජයනි අක්කා, සරත් අයියා ඇතුළු චිත්‍රපට කණ්ඩායමේ හැම කෙනෙකුම මට ලොකු සහායක් දුන්නා. ජැක්සන් සර් නිතරම වගේ මගේ ඉරියව්, අංග චලනය හැම දෙයක්ම කියලා දුන්නා. ජයනි අක්කා තමයි මගේ අම්මා විදිහට රඟපෑවේ. ඇය තමයි මාත් එක්ක ගොඩක්ම හිතවත් වුණේ.

රඟපාන එක ආවට, ගියාට බැහැ. හැදෑරීමක් අත්‍යවශ්‍යයි?

ඔව්, ‘උදුම්බරා’ චිත්‍රපටයට තෝරා ගත්තට පස්සේ මාව අනෝජා වීරසිංහ මිස්ගේ ‘අභින’ වැඩමුළුවට සම්බන්ධ කළා. ඇයගෙන් රංගනය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. මගේ පිටපත පවා බලලා ඇය මගේ චරිතයට ගැළපෙන දේවල් කියලා දුන්නා. මම කැමැතියි තවදුරටත් රංගනය කියන දේ හදාරන්න.

‘උදුම්බරා’ කියන්නේ මොන වගේ චරිතයක්ද?

කොළඹ මුඩුක්කු ගෙදරක පදිංචි වෙලා ඉන්න ක්‍රීඩාවට දක්‍ෂ ගැහැනු ළමයෙක් නොයෙකුත් අඩුපාඩුකම් මැද ජාත්‍යන්තරය ජයගන්න ආකාරයක් තමයි ‘උදුම්බරා’ තුළින් පෙන්වන්නේ. මමත් ක්‍රීඩා කරලා තිබුණු නිසා මේ චරිතය කරන්න ලොකු පහසුවක් වුණා. ගොඩක් වෙලාවට රූපගත කිරීම් තිබුණේ මම ක්‍රීඩා කරන, එහෙමත් නැත්නම් පුහුණු වෙන ඒවා. සාමාන්‍ය විදිහට මම ඒවා නිරූපණය කළා.

චිත්‍රපටය රූපගත කරනකොට සිදුවන අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?

කිහිපයක්ම තිබුණා. මම ක්‍රීඩා කරනකොට ගොඩක් වෙලාවට පුහුණුවීම් කළේ ග්‍රවුන්ඩ් එකේ. නමුත්, චිත්‍රපටයේ මම පුහුණුවීම් කළේ පාරේ. මිනිස්සු නිතරම රූපගත කිරීම් බලන්න එනවා. ඒ වගේම පාරේ යන හැම කෙනෙක්ම මේක බලනවා. ඉතින් අමුතු අත්දැකීමක් වුණා මේක මට. චිත්‍රපටයේ එක්තරා දර්ශනයක් තිබුණා ජයනි අක්කා මගේ කම්මුලට ගහනවා. සද්දේත් එක පාර පටිගත වෙන්න ඕන නිසා ජයනි අක්කා ටිකක් හයියෙන් මගේ කම්මුලට ගැහුවා. ඒක නම් ටිකක් රිදුණා. මොනවා කරන්නද කියලා හිත හදාගත්තා. ඒකත් ඉතින් මට අමතක නොවන සිදුවීමක්.

පසුගිය කාලයේ නදීෂාව අපි ක්‍රීඩා තරගවල වැඩිපුර දැක්කේ නැහැ?

ඔව්, ඒකට හේතුව තමයි මගේ ඉගෙනීම් කටයුතු. මානව සම්පත් කළමනාකරණ උපාධියක් හදෑරුවා. ඔක්තෝබර් 30 වැනිදා එහි උපාධි ප්‍රදානය සිදු කෙරෙනවා. දැනට මම ශ්‍රී ජයර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩිදුර උසස් අධ්‍යාපනය හදරමින් සිටිනවා. අධ්‍යාපන කටයුතු නිසා ක්‍රීඩා කටයුතු තරමක් දුරට පසුගිය කාලයේ අඩාළ වුණා. පසුගියදා නිමාව දුටු ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මම බස්නාහිර පළාත් කණ්ඩායම නියෝජනය කරමින් මීටර් 100 කාන්තා සහාය දිවීමේ තරගයට සහභාගි වෙලා දෙවැනි ස්ථානය දිනා ගත්තා. ඉදිරියට ආපසු ක්‍රීඩාවට යොමු වෙන්න සූදානමකුත් තියෙනවා.

‘උදුම්බරා’ චිත්‍රපටයෙන් පස්සේ?

රංගනයට ආරාධනාවක් ලැබුණේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ආයෙත් රංගනය පැත්තට යොමු වෙනවා. ‘උදුම්බරා’ චිත්‍රපටයේ රඟපෑවට පස්සේ රඟපාන්නත් දැන් ආසාවක් තියෙනවා මගේ.

නදීෂාගේ පවුලේ හැමෝම ක්‍රීඩා කරපු අය නේද?

ඔව්. අම්මා, තාත්තා ක්‍රීඩා කළ නිසා තමයි මමත් ක්‍රීඩා කරන්න ආස වුණේ. කොහොමත් මගේ අම්මා, තාත්තාගේ අභාසය මටත්, මගේ නංගිටත් පිහිටලා තියෙනවා. නංගීත් දැන් ක්‍රීඩා තරගවලින් ගොඩක් ජයග්‍රහණ හිමිකර ගෙන තියෙනවා. අපේ පවුලෙන් රංගනය පැත්තට යොමු වූ එකම කෙනා මම. ගෙදර අයගේ ලොකු කැමැත්තක් තියෙනවා මම රංගනය පැත්තට යොමු වුණාට.

බුද්ධික සේනාධීර