රටපුරා ගැහැණු 40ක් අඹුකමට තියාගෙන, මිනි මරමින් රන් බඩු සහ මුදල් කොල්ල කන පෙදරේරුවා මාට්ටු.

තලාතුඔය පොලිස් වසමට අයත් මාරස්සන වලව්වේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවක වූ 62 හැවිරිදි සුධර්මා සෙනවිරත්න මෙනෙවිය කාමරයක නිදි ඇඳක් මත ඝාතනය කර තිබිය දී පොලිසිය සොයාගනු ලැබුවේ පසුගිය 03 වැනිදාය.

ආරක්ෂාවට මුරකාරයෙක් සිටියත් ඔහුගේ ද ඇස් පියා
ඝාතකයා වලව්ව තුළට ඇතුළු වී තිබුණේ වහලයට නැග සෙවිලි කර තිබූ උළු කැට කිහිපයක් ඉවත් කිරීමෙන් පසුවය. තලාතුඔය පොලිසියට අයත් මහනුවර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ පොලිස් කණ්ඩායමක් ද ඝාතකයා සොයා පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

මහනුවර මධ්‍යම වෙ‍ළෙඳ පොළ ආසන්නයේ දී සුධර්මා මෙනවියගේ ඝාතනයට සම්බන්ධ බවට සැලකෙන පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ මහනුවර නීතිය බලපැවැත්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.එස්.පී. කරුණාරත්න මහතා ප‍්‍රධාන පොලිසියේ කණ්ඩායමක් විසිනි. ඒ පසුගිය සෙනසුරාදාය.

නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත කරන ලද පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් ඝාතනය සිදුවී දින 18කට පමණ පසුව ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.

තිස්පස් හැවිරිදි වියේ පමණ පසුවන සැකකරු වෘත්තියෙන් පෙදරේරුවෙකි.

සැකකරු මාරස්සන ප‍්‍රදේශයේ පදිංචිව සිටින අනියම් බිරියගේ නිවසේ පදිංචිව සිටින අතරවාරයේ කාන්තාවගේ සහ ඇයගේ පියාගේ සහය ඇතුව වලව්වේ පදිංචිව සිටින සුධර්මා සෙනවිරත්න මෙනවිය ගැන තොරතුරු සොයාබලා වලව්වේ වහලයට ගොසින් උළුකැට ඉවත් කර නිවස තුළට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

සුධර්මා මෙනවිය කාමරයක ඇඳක් උඩ මුණින්අතට නිදාගෙන සිටියදී අලවංගුවකින් ගසා ඇය ඝාතනය කර වලව්වේ තිබූ රුපියල් 950ක පමණ මුදලක්ද රන් පෙන්ඩන්ට් 02ක්, රන් මාලයක් හා කරාබු ජෝඩුවක් සහ නවීන පන්නයේ ඇපල් වර්ගයේ දුරකතනයක්ද පැහැර ගෙන පළා ගොස් ඇත.

“හොඳ වෙලාවට ඒ වලව්වේ මුරකාරයා පේන්න හිටියේ නැහැ. මුරකාරයා හිටියා නම් මම ඌවත් මරනවා. අනියම් බිරිඳගේ ගෙදර තිබුණ අලවංගුව තමා මම සුධර්ම නෝනා මරන්න අරගෙන ආවේ.” යැයි සැකකරු පොලිසියට කළ පාපොච්චාරනයේ සඳහන් කර ඇති බව කියයි.

මෙම ඝාතනයෙන් පසු සැකකරු මහනුවරින් බැස රථයක නැඟ කොළඹට පලා ගොස් තිබූ අතර අනියම් බිරිඳ සහ ඇයගේ පියා ඔවුන්ට අයත් බැංකු ගිණුමක රුපියල් 40,000ක පමණ මුදලක් ද රැගෙන නුවරඑළිය ප‍්‍රදේශයට පලා ගොස් හෝටලයක කාමරයක් කුලියට ගෙන දෙදෙනා එහි නවාතැන් ගෙන සිට දින ගණනාවකට පසු යළි නිවසට පැමිණ තිබේ.

කාන්තා ඝාතනයට ආධාර අනුබල දුන් බව කියමින් එම 72 හැවිරිදි පියා සහ ඇයගේ දියණියද අත්අඩංගුවට ගනුලැබුහ.

මහනුවර සිට කොළඹට පලායෑමට මහනුවර කොළඹ වීදියේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසලකට පැහැරගත් ස්වර්ණාභරණවලින් කොටසක් උකස් කර ඉතිරි ඒවාද රැගෙන කොළඹ ගොස් එහිදී හමුවූ පුද්ගලයකුට ඉතිරි රන් භාණ්ඩ රුපියල් 35,000කට විකුණා ඇති බව සැකකරු පොලිසියට පවසා ඇත.

වලව්වේ තිබියදී පැහැරගත් ජංගම දුරකතනය බස් රථයේ දී නැතිව තිබූ අතර එම ජංගම දුරකතනය අහුලාගෙන පරිහරණය කළ සැකකරු ගමන් කළ බස් රථයේ කොන්දොස්තරවරයා තලාතුඔය පොලිසිය මගින් එම දුරකතනය ද සමඟ මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

දැඩි ලෙස කාන්තා ඇසුරට ලොල් බව කියන මෙම සැකකාර පුද්ගලයා මහනුවරින් කොළඹට පලායාමට කලින් මහනුවර නගරයේ ගණිකා වෘත්තියේ නිරතව සිටින බව කියන කාන්තාවක් ලැගුම්හලකට රැගෙන ගොස් ඇයත් සමඟ ගතකර තිබෙන බවද තොරතුරු පොලිසිය අනාවරණය කර ගෙන ඇති බව පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ දොම්පේ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර එම ප‍්‍රදේශයේ පදිංචි නීත්‍යානුකූල බිරිඳට අමතරව දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකම අනියම් බිරියන් 40 දෙනෙකු පමණ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව කියයි.

නිත්‍යනුකූල බිරිඳට දරු දෙදෙනෙකු සිටින අතර අනියම් බිරියන් 40දෙනා අතරින් බිරියන් හතර දෙනෙකුට දරුවන් සිව්දෙනෙක් සිටිති.

අනියම් බිරියන් හය දෙනෙකු ගැබ්ගෙන ඇති බවද සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇත.

අත්අඩංගුවට ගෙන සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු මේ තොරතුරු හෙළිකර ඇත.

මේ වනවිට 37 හැවිරිදි වියේ පමණ පසුවන සැකකරු 16 හැවිරිදි වියේ පමණ පසුවන කාලයේ ගම්පහ දොම්පේ ප‍්‍රදේශයේදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් ඇයට ලිංගික අතවර කර ඇත.

අධිකරණය මගින් මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් පවත්වා වසර 05ක සිරදඬුවමක් සැකකරුට ලබාදී එම සිරදඬුවම වසර 10කට අත්හිටුවා ඇති බවද පොලිසිය පවසයි.

මීට අමතරව මහනුවර බලගොල්ලේ පදිංචි කාන්තාවක් අනියම් බිරිය වශයෙන් තබාගෙන සිටියදී එම කාන්තාව සමඟ හවුල් වී ඇයගේ අනියම් බිරියගේම මව ඝාතනය කර රුපියල් 50,000ක පමණ මුදලක් පැහර ගැනීමටද ගම්පහ දොම්පේ පොලිස් වසමේ සිදු වූ දේපොල සොරා ගැනීමේ සිද්ධීන් 03කට ද සහ 1996 වසරේ පැවති මහ මැතිවරණයේ දී පූගොඩ ප‍්‍රදේශයේ දී දේශපාලන මත බේදයක් මත පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමකට ද සම්බන්ධ අයෙකි.
දේශපාලන ප‍්‍රශ්නයක් මුල්කර ගනිමින් සිදු වූ බව කියන මෙම වෙඩි තැබීම සිදු කිරීමට දොම්පේ පොලිසිය මගින් මොහු සැකපිට අත්අඩංගුවට ගන්නා විට අවුරුදු 14ක පමණ වයසේ පසුවන බාලවයස්කාර ළමයෙකි.

ගම්පහ දොම්පේ පොලිස් වසමට අයත් ගහලමුල්ල ප‍්‍රදේශයේ පදිංචි සැකකරැ 10 වැනි ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙනුම ලබා ගංජා පානය කිරීමට හා කාන්තාවන් ඇසුරු කිරීමට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අයෙක් බවට ද පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.

පෙදරේරු වෘත්තියේ නිරත වීමට දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට ගොස් සිටිය දී සැමියා මිය ගොස් හෝ අතහැර ගිය කාන්තාවක් සමඟ මිත‍්‍ර වී එම කාන්තාවත් අනියම් බිරියක් වශයෙන් තබාගෙන සිට ඇති බව සැකකරු පොලිසියට කියා ඇත.
නිත්‍යනුකූල බිරිඳ සැකකරුව හඳුනාගෙන ඇත්තේ ඇයගේ ජංගම දුරකථනයට ලැබුණු මිස් කෝල් එකකට කතා කිරීමට යාමෙන් බව ඇය පොලිස් නිලධාරීන් සමඟ පවසා තිබිණි.

විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලක්‍ෂමන් සෙනවිරත්න සහ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී සෙනවිරත්න මහත්වරුන් සුධර්මා මෙනවියගේ සහෝදරයන් වන අතර විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ඇයගේ ඥාති සහෝදරයකි.

සැකකාර පුද්ලගයා නීත්‍යානුකූල බිරිඳට හා දරු දෙදෙනාට නොසලකා හැර තිබූ අතර ඇය එක් දරුවෙක් සසුන්ගත කර ඇත.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මහනුවර සහ මාතලේ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල් රණවීර සහ මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත මහනුවර සහකාර පොලිස් අධිකාරිවරුන් වන එස්.බී. දියකෙලිනාවල සහ කීර්ති රණවීර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මහනුවර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.එච්.එස්.පී කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් සැරයන්වරුන් වන සමරසිංහ (33837), ජයලත් (46909), පොලිස් කොස්තාපල්වරුන් වන නිශාන්ත (52090), චාලක (15052) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් ලුද්මිලා (5227) මහත්මිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යති.

- ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය