සෑම දුකක්ම සතුටක් කරගෙන කරත්තයෙන් ගමන් යන 81 හැවිරිදි අම්මා

බොහෝ දෙනකුට ඔවුන් භාවිත කරන වාහනය ප්‍රශ්නයකි.

ගමන් බිමන් යෑමේදී එම ගමනට සුදුසු හෝ ගැළපෙන අන්දමට වාහන සෙවීම තවත් සමහරුන්ගේ සිරිතය.
මඟුල් ගෙදර යන අය ඉතාම සුපිරි වාහන සොයමින් ළතැවෙති. තවත් සමහරු කුලියට හෝ වාහනයක් ගෙන ගමන් යන්නේ තමන්ගේ තත්ත්වයට
ගැළපෙන්නේ නැතැයි කියමිනි.

යාපනයේ කරෙයිනගර් වලන්තාලෙයි ගම්මානයේ ජීවත්වන අසූ එක් හැවිරිදි කන්දසාමි නාගපූසනී අම්මාට මේ කිසිම වාහනයක් පිළිබඳව ගැටලුවක් නොමැත.
ඇය භාවිත කරන වාහනය ඇගේ ස්ත්‍රී භාවයට නොගැළපීමත් වයස අවුරුදු 81ක් වූ ඇය මේ වාහනය ආම්බාන් කරන්නේ කෙසේදැයි යන්න කොයිකාටත් ප්‍රශ්නයක් වුවත් ඇයට නම් කිසිදු ප්‍රශ්නයක් නැත.

පළාතේ වැසියන් ඇයව අමතන්නේ "වණ්ඩි අම්මා" යනුවෙනි. වණ්ඩි යනු දෙමළ භාෂාවෙන් රථය යන අරුතයි. මාඩු වණ්ඩි යනු කරත්තයයි. පුහෙයි රථ වණ්ඩි යනු දුම්රියයි.

නාගපූසනී අම්මා නිතරම ගමන් බිමන් යන්නේ මේ වාහනයෙන් නිසා ඇයට වණ්ඩි අම්මා යනුවෙන් භාවිත කරනවා විය හැකිය.

යාපනයේ කරෙයිනගර් වලන්තාලෙයි හන්දියේ වැසියෝ මේ අම්මා ගැන කතා කරන්නේ දැඩි ගෞරවයෙනි. ඇයට විහිළුවක් තහළුවක් පවා නොකරන්නේ ඇය ගෞරවාන්විතව ගම්මානයේ ජීවත් වන නිසා බව ගම්වැසියෝ කියති.

"ඔය මනුස්සයා යකකුටවත් බය නෑ. රැයක් දවාලක් නෑ. යන්න හිතුණු වෙලාවේ යන්න ඕනේ වුණු ගමන් ඒ ගමන යනවා. මොන ගමන ගියත් යන්නේ ඔය කරත්තෙන් තමයි.

රෑ ගමනක් යනවා නම් කරත්තේ ලන්තෑරුමක් එල්ලා තියෙනවා. ලොකු පොල්ලක් ළඟ තියාගෙන තමයි රෑ දවල් දෙකේම කරත්තේ අරන් යන්නේ. ඇහුවම කියන්නේ බල්ලන්ට සර්පයන්ට ගහන්න ඕනේ වුණොත් කියලයි.

හැබැයි අපි මොනවා හරි කිව්වොත් අපිටත් ගහන සයිස් එකෙන් තමයිඑයා ඉන්නේ. මේ වෙනකල් නම් කාටවත් ගහලා නෑ. මොනවා කිව්වත් වැඩිය කතා කරන්නේ නෑ. හිනා වෙලා යනවා.

ඔය මනුස්සයා ඔහොම ඉන්න ඕනේ නෑ. මහ ගෙදරක තනියම ඉන්නේ. ළමයි 5ක්ද 6ක්ද කොහෙද ඉන්නවා. ඒ සේරටම හොඳ ගෙවල් තියෙනවා. පිටරටත් ගිහින් ඉන්නවා ළමයි. ඒත් ඒ කිසි ගෙදරක ඉන්නේ නෑ. මනුස්සයත් එක්ක ඔය ගෙදරමයි එදා ඉඳලා ජීවත් වුණේ.
අපි දන්න විදියට මනුස්සයා මැරිලා අවුරුදු ගාණක් වෙනවා. එදා ඉඳලා ඔය මනුස්සයා තනියම ඔය ගෙදර තමයි ඉන්නේ. ළමයි එනවා යනවා. ඒ අය ඔය මනුස්සයට හොඳට සලකනවා."

මිනිස්සුන්ගේ ජීවිත මහා පුදුමාකාරය. සමාජයේ එකම ප්‍රශ්නය ඔවුන්ට බලපාන්නේ විවිධාකාරයටය.

නිවෙසක් නොමැතිම කෙනා උත්සාහ කරන්නේ කොතැනක හෝ ඉටි රෙදිවලින් හෝ පැල්පතක් තනා ගැනීමටය. පැල්පතේ සිටින්නා ස්ථීර වහලයක් ඇති නිවෙසක් ගැන සිතයි. සියල්ල සම්පූර්ණ වූ නිවෙසක් ඇති පුද්ගලයා ඒ නිවෙසට ඇති තවත් බොහෝ අඩුපාඩු ගැන සිතමින් දුක් වෙයි.

මේ අනුව බලන විට කිසිම මිනිසකු හොඳින් සතුටෙන් හෝ සැපෙන් ජීවත් වූ දවසක් නොමැති තරම්ය. ඔවුන් සෑම දිනකම උත්සාහ කරන්නේ ජීවත් වීමටය.
එහෙත් යාපනයේ වණ්ඩි අම්මා පවසන්නේ ඇය ඉතාම සතුටින් ජීවත් වන බවය. ඇයට අවශ්‍ය සෑම දේම ඇය සතුව ඇති බව ඒ මව කියන්නීය. තමන්ට අවශ්‍ය අනුන්ට කරදරයක් නොවී ජීවත් වීමට බව කියන නාගපූසනී අම්මා ඇගේ ගෙවී ගිය ජීවිතය පිළිබඳවද දුක් නොවන්නීය.

"මගේ ගම තමයි මේක. මගේ මනුස්සයා වේලනෙයි කියන ගමේ. අපි දෙන්නා කසාද බැන්ද දා ඉඳලා මගේ ගමේ හිටියේ.

යුද්ධ කාලෙත් මේ අය ගියේ නෑ. අපි ඔක්කොම හිටියා. මනුස්සයට රස්සාවක් නෑ. රස්සාවක් කිව්වේ ආණ්ඩුවේ හරි කොහේ හරි ස්ථීර රස්සාවක් තිබුණේ නෑ.
එයා කළේ ගොවිතැන් කළ එකයි. එළවළු, මනියම් කිව්වම මේ පළාතේ නොදන්න කෙනෙක් නෑ.

රස්සාව එළවළු හිටවන එක වුණාට ඕනේ තරමට සල්ලි හොයන්න පුළුවන් වුණා. පුදුම ආදරයක් එයා මට තිබුණේ.

මම එළවළු කොටුවේ උදව්වට යනවා. ඒත් එයා කැමැති නෑ. ඒක කෙළින්ම කියන්නේ නෑ. මම මොනවා හරි කරන්න හදනකොටම කියන්නේ මට තේ එකක් බිව්වොත් හොඳයි කියලා. එහෙම නැත්නම් වෙන මොනවා හරි මට කියලා ගෙන්න ගන්නවා. එතකොට මට එළවළු කොටුවේ වැඩ කරන්න වෙන්නෙම නෑ.

අපිට ළමයි පස් දෙනෙක් ඉන්නවා. ලොකුම තුන් දෙනා ගෑනු ළමයි. අනිත් දෙන්නම පිරිමි අයයි. ඒ සේරමල්ලා බැඳලා. එයාලට ළමයි ඉන්නවා. රස්සා තියෙනවා. කිසිම කරදරයක් නෑ.

මගේ පුරුෂයා මැරුණේ දැනට අවරුදු 16කට කලිනුයි. එයා මැරුණේ පපුවේ අමාරුවක් හැදිලා. එයා ඉන්නකල් කිව්වේ මම මැරුණත් මගේ ගෑනිට ළමයෙක් ළඟටවත් යන්න ඉඩ තියන්නේ නෑ කියලයි. මට ඒක ඒ තරමට තේරුණේ නෑ.

එයා මැරුණම මට බැංකුවට එන්න කියලා ලියුමක් ආවා මාස තුනකට විතර පස්සේ. මම ගියා මට විශ්වාස කරන්න බැරි වුණා, ලක්ෂ ගාණක සල්ලියක් මගේ නමට එයා දාලා තිබුණා. බැංකුවේ මහත්තුරු කිව්වා මේවා අම්මාගේ ගිණුමට දාලා දෙන්නම් පරෙස්සමෙන් වියදම් කරන්න කියලා. ඒක එහෙම වුණා.

මම ළමයින්ට මේක කිව්වා. එක ළමයෙක්වත් මගෙන් සත පහක්වත් ඉල්ලලා කරදර කළේ නෑ. අදටත් එහෙමයි. මම ඒ ගෙවල්වලට යනකොට ළමයින්ට මොනවා හරි අරන් යනවා විතරයි.

එයා ඉන්න කාලෙත් අපි ගොඩක් ගමන් බිමන් ගියේ මේ කරත්තෙන්ම තමයි. ඒ කරත්තෙට ඕනේ කරන සතා හදා ගන්නෙත් අපේම පට්ටියෙන්. අදටත් මට හරක් ඉන්නවා. ඒ පට්ටියේ කිරි ගන්නේ, සතුන්ට තණකොළ කපන්නේ, කවන්නේ වතුර දෙන්නේ මමම තමයි.

දෙවියනේ කියලා මට අවුරුදු අසූ එකක් වුණාට කිසිම අසනීපයක් නෑ. ගෙදර වැඩ, වත්තේ වැඩ පට්ටියේ වැඩ සේරම කර ගන්නේ මමම තමයි.

ඒ කාලේ වගේම මමත් ඔක්කොම ගමන් යන්නේ මේ කරත්තෙන්ම තමයි. නැඟිට ගන්න බැරිම අසනීපයක් හැදුණම තමයි ආටෝ එකකින් ඉස්පිරිතාලෙට යන්නේ. නැත්නම් මේ කරත්තෙන්ම තමයි බෙහෙත් ගන්න යන්නේ.

ළමයි බලන්න යනවා. මඟුලට මළ ගෙදරට ඕනේම ගමනක් යන්නේ මම මේකෙම තමයි. කරත්තෙත් මට හුරුයි. සතාටත් මාව හුරුයි.

කොහෙ හරි කරත්තේ නවත්තලා "වාංගු මම එනකල් හිටපන්" කිව්වම සතා ඉන්නවා. ඒකාගේ නම තමයි වාංගු.

ඉතින් ඔය පොලිසියේ මහත්තුරු එහෙම මම කරත්තේ අරන් යනකොට පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. ඒ අය මගේ පුතාලා වගේ. සමහරු විස්තර අහනවා. මම කියලා එනවා.

මේක මට දැන් අමුතු දෙයක් නෙවෙයි. හිතුණු වෙලාවට යන්න පුළුවන්. ඕනේම තැනක යන්න පුළුවන්. කිසිම වියදමක් නැහැ. වාංගුට කන්න තණකොළ ටිකක් බොන්න වතුර ටිකක් දෙන එක විතරයි.

අනික තමයි මේ ගමේ ඉඳලා කාරෙයිනගර් ටවුමට යන්න හැතැප්ම තුනකට වඩා තියෙනවා. බස් එක එන්නේ දවසට හතර සැරයයි.

දවසට දෙසැරයක් යනකොට ඒකේ ඉස්කෝලේ ළමයි. හිටගෙන මට යන්න බෑ. ඒත් මේකේ එහෙම නෑනේ. හොඳට පහසුවට ඉඳගෙන එන්න පුළුවන්. අතරමඟදී ගමට එන කෙනෙක් හම්බ වුණාම එයාවත් දාගෙන කතා කර කර එනවා. එතකොට පාළුත් නෑ. මහන්සියකුත් නෑ.

ළමයි මට බනිනවා, කිව්වාම අපි එනවානේ. ඇයි ඕකේම යන්නේ කියලා. මම එයාලට මොනවත් කියන්නේ නෑ. මම මගේ ගමන් බිමන් සේරම මේකෙන්ම යනවා. දැන් ඒ නිසා එයාලා මොනවත් කියන්නේ නෑ."

නාගපූසනී අම්මා මේ සියල්ල කියන්නේ ඉතාම සැහැල්ලුවෙනි. ජීවිතයේ හැම දුකක්ම සතුටක් බවට පත් කරගෙන ඇති ඇය ඇත්ත වශයෙන්ම වාසනාවන්තය. අවුරුදු අසූ එකක් වුවත් ඇය කාටවත්ම අත නොපා ජීවත් වෙයි. ඒ අන්දමින් ජීවත් වන්නේද මහත් අභිමානයකින් හා ගෞරවයකින් යුතුවය.

පසුගිය දිනවල රටේ ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවල ඔච්චමට මෙන් අපේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට පවා ගියේ ගොන් කරත්තයෙනි.

ඒ ගමන ගියේ අනුන්ට රිදවීමටය. නමුත් යාපනයේ නාගපූසනී අම්මාගේ කරත්ත ගමන සිදුවන්නේ සැබැවින්ම ඇගේ අවශ්‍යතා මුල් කරගනිමිනි. ගමන් දෙකම ගියේ කරත්තයෙන් වුවත් ගමනේ අරමුණු වෙනස්ය. ඒ අතින් බලන විට යාපනේ වණ්ඩි අම්මා ශේ්‍රෂ්ඨ මාතාවකි.

වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

gossip lanka