දරුවන්ගෙන් මවු සෙනෙහස උදුරාගනිමින් කරගහවැව ගම්මානයේ මවකට වැදුණු වැහි නැති හෙණය

කරගහවැව ගම්මානය ඉකුත් සිකුරාදා සවස් යාමය වන තෙක්ම නිහඬව, සන්සුන්ව තිබිණි. මහ කන්නයෙහි ඇද වැටෙන මහ වැස්සද සවස හතර පමණ වන විට තුරල්ව තිබිණි. මන්දාරම පැවතියද පරිසරය සෞම්‍ය බවක් ඉසිලීය. හිරු සැඟව තිබිණි.

සුරේෂා කුමාරි සිය සැමියා සහ දරු පැටව් තිදෙනාද
සමග වැසි පහව යන තුරු නිවසේ උණුසුමට මැදිව සිටියාය. මහ කන්නයේ වගා කටයුතු ගැන, දරුවන්ගේ අධ්‍යපනය ගැන ඇය සැමියා සමග කතා කළාය. තවත් හෝරාවක් දෙකක් ගත වූ තැන්හි සිදුවීමට යන ඛේදවාචකය ගැන ඔවුන් කිසිවෙක් දැන සිටියේ නැත. වැස්ස තුරල්ව තිබුණද අකුණු හඬ විටින් විට ඇසිණ. විදුලි එළි ළඟ ළඟම පෙනිණි. එහෙත් වැඩ කල් දමන්නට සුරේෂාට හිතක් නැත. දොළොස් වියැති වැඩිමහල් පුත්‍රයා උපකාරක පංතියකට පිටත් කර හැරිය ඇය සැමියා සහ දියණියන් දෙදෙනා සමග කුඹුරට පිටත්ව ගියේ බලාපොරොත්තු සහගත දෑසිනි.

සැමියා තණකොළ කපන යන්ත්‍රය කරේ රුවාගෙන පාපැදියේ නැගී වෙලට පිටත්ව ගියේය. ඉන් විනාඩි කිහිපයක් පමාවී තවානෙන් ගලවාගත් තක්කාලි පැළ ටිකක් ද මල්ලකට දමාගත් සුරේෂා දියණියන් දෙදෙනාද යතුරු පැදියේ නංවාගෙන වෙලට පිටත්ව ගියාය. සංසුන්ව සිද්ධි එකින් එක පෙළගැසෙමින් තිබිණි.

අලු පැහැයට හැරී තිබු සැඳෑ අහසේ තැන තැන විදුලි එළි මතුවී නොපෙනී යන්නේ අසුරු සැනින්ය. ඉඳහිට ගොරවන හඬද ඇසේ. එහෙත් වැස්සක් නැත. දියණියන් දෙදෙනා කට ළඟටම දිය පිරී තිබූ වගා ළිඳ අසල පැලෙහි රැඳෙව්වාය. එයද බැලු බැල්මට අවදානම් සහිත තැනකි. එහි වහලේ තහඩු හෙවිල්ලා වටේට තහඩු කිහිපයක් එල්ලා ඇත.

දියපිරුණු වගා ළිඳද ඔන්න මෙන්නය. එහෙත් කරන්නට දෙයක් නැත. අවුරුදු අටක් සහ හතරක් වයසැති දියණියන් දෙදෙනා පැලෙහි තනිකළ සුරේෂා සැමියා සිටින ඉසව්වට පිටත්ව ගියාය. වෙල් මායිමේ වෙල් පහු වතුර ගලායන කුණු ඇළ අසල ඇති ගොඩැල්ලක ඔහු කැළය කපා පාදමින් සිටියේය. සැමියා පාදන බිම ඇය උදලු ගාන්නට විය. තරමක් උසැති හුදකලා පොල් ගසක්ද ගොඩැල්ලේ විය.

ගොඩැල්ල උදලු ගාමින් පැමිණි සුරේෂා පොල් ගස අසලට ළංවෙත්ම එක්වරම සිදුවුයේ අහස පොළොව නුහුලන අපරාධයකි. අහස දෙබෑ කරමින් මහ හඬක් නගමින් පාත් වූ අකුණක් ඇයගේ ප්‍රාණය නිරුද්ධ කොට නික්ම ගොස් තිබුණි. කිසිවෙකුට කිසිවක් සිතා ගන්නට ඉඩක් තිබුණේ නැත. සුරේෂා කුමාරිගේ සැමියා හතළිස් වියැති පී. බී. ජයරත්න සිදුවූ අභාග්‍යය ගැන පැවසුයේ මෙවැන්නකි. දරු තිදෙනා සමග හිටිහැටියේ හුදකලා වු ඔහුගේ දෙනෙත බොඳවී ඇත.

“එකපාරටම කන් පුපුරන්න වගේ සද්දයක් ඇහුණා. ගිණි එළියක් වගේ දැක්කා. මට එකපාරටම මතක් වුණේ ළමයි දෙන්නා බය වෙලා ඇති කියලා. පස්සේ මෙයාගෙන් සද්දයක් නැති නිසා බලද්දි, පොල් ගහ යට බිම වැටිලා ඉන්නවා මං දැක්කා. මං හයියෙන් කෑගැහුවා. මොනදේ දුන්නත් මං කොහොමද දරුවන්ට අම්මෙක් දෙන්නේ.”

සිදුවීමෙන් අනතුරුව තලාව ප්‍රාදේශීය රෝහලට සුරේෂා රැගෙන ගොස් ඇතත්, ඒ වන විටත් ඇය සියල්ල අතහැර ගොස් සිට ඇත. සුරේෂා සහ ජයරත්න දරුවන්ගේ හෙට දවස උදෙසා වසර ගණනාවක සිට යළ, මහ දෙකන්නයේ මහවැලි වතුරින් වගාවන්හි නියැලී ඇත. මේ කුඹුරු බිම ඔවුනට නුහුරු නොවූයේ එහෙයිනි. රැයක්, දවාලක් ඔවුනට තිබුණේ නැත. සෑම බ්‍රහස්පතින්දා දිනකම තලාව පොළට වෙළෙඳාමේ යෑමද ඔවුන් දෙදෙනා පුරුද්දක් කොටගෙන සිට ඇත. විවිධ අසීරුතා මධ්‍යයේ ජීවිතය අරඹා ඇති ඔවුහු ක්‍රමයෙන් යමක් හරි හම්බ කරගන්නට වූහ. එහෙත් සියල්ල වෙනස් වන්නට ගතවූයේ නිමේෂයකි. බොහෝ දේ සියසින් දැක ඇති කරගහවැව ගම්වාසී ඩී. හේමසිංහ මහතා පැවසුයේ මෙබන්දකි.

gossip lanka