තාත්තා අපිව කාමරේක දාලා දොර ලොක් කරා - ඊට පස්සේ තමා ගෙදර හිටපු යක්ෂයෝ ප්‍රේතයෝ ටික ගියේ

මගේ ජීවිතය හා සම්බන්ධ කවුරුත් නොදන්නා මේ රහස මම මුලින්ම කියන්නේ ඔබටයි. ඇත්තටම මේ කතාව ඇතුළේ බොහොම අපූරු මනෝ විද්‍යාත්මක සත්‍යයක් තිබෙනවා. ඒ හින්දම තමයි මම මේ කතාව හැමෝටම ආදර්ශයක් විදියට කියන්න හිතුවේ.

අපේ තාත්තා හමුදා නිලධාරියෙක්. ඒ හින්දම අක්කයි, මමයි, මල්ලියි, නංගියි හතරදෙනාම හැදුණේ නීති රීති රැසක්  මැදයි. ඒත් තාත්තා අපිට
හරිම ආදරෙයි. හැබැයි තරහ ගිය වෙලාවට ගොඩක් සැරයි. ඒ වෙලාවට අම්මටවත් බැහැ තාත්තගේ දැඩි තීරණ නවත්වන්න. වෙන ළමයි වගේ බොහොම සියුමැලි හුරතල් විදියට ‍නෙවෙයි අපි හැදී වැඩුණේ. මේ නිසා පුංචි කා‍ලේ ඉඳලම අපි හතරදෙනා තුළම එඩිතරකමක් තිබුණා. හැබැයි ඉතින් එකම එක දේකට නම් අපි හතරදෙනාගේම පුංචි බයක් තිබුණා. ඒ තමයි හොල්මන්, අවතාර, යක්ෂ, ප්‍රේතයන්ට තිබුණ බය.

ඒ දවස්වල අපි හිටියේ ඇන්ඩෙසන් ප්ලැට්වල. හවස් වරුවේ අඳුර වැටෙද්දී අපි හිටපු ගොඩනැගිල්ල කෙළවර පඩිපෙළ අද්දරට අඳුරු ගතියක් එනවා. ඒ වගේම පරවියන්ගේ හුම්...හුම්.. හඬත් හරිම ගුප්තයි. ඔය කා‍ලේ වෙද්දී ලංකාවට රූපවාහිනිය ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ දවස්වල ගුවන්විදුලි නාට්‍යය ගොඩක් ජනප්‍රියයි. මේ කා‍ලේ හොල්මන් නාට්‍යයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. මට මේ වෙලාවේ ඒ ගුවන්විදුලි නාට්‍යයේ නම මතක නැති වුණත් ඒ නාට්‍යය අපි හරිම ආසාවෙන්, බයෙන් අහපු නාට්‍යයක්.

“මම බොහොම බය වුණා

මගේ පණ එපා වුණා

රෑ දොළහට හොල්මනකට මාව අසුවුණා”

ඒ දවස්වල අතිශය ජනප්‍රිය ඒ ගීතය ඇහෙද්දී අපිට විවිධ රූප මැවී පෙනුණා. අපි හිටියේ නාරාහේන්පිට හින්දා බොරැල්ලට යන්න වෙන්නේ බොරැල්ල කනත්ත පහුකරලා. රෑ ‍නෙවෙයි දවල් කනත්ත ළඟින් ගියත් අපි ඒ පැත්ත බලන්නෙවත් නැතුව තමයි යන්නේ. අපේ මේ හොල්මන් භීතිකාව නැති කරන්න තාත්තා අපිට ගොඩක් අවවාද දුන්නා. ඒත් හරි ගියේ නැහැ.

ඔය දවස්වල අපේ ගෙදර ටිකක් අඳුරු කාමරයක් තිබුණා. ඒකට පරවියෝ එනවා. ලයිට් නිව්වම ඒ කාමරේ හරිම පාළුයි. ඒ නිසා අපි හතරදෙනාගෙන් කවුරුවත් ඒ කාමරේට යන්නේ නැහැ.

එක දවසක් රෑ තාත්තා අපි හතර දෙනාම අර කාමරේට දාලා ලයිට් ඕෆ් කරලා දොර වැහුවා. කළුවරේ අතරේ පරෙවියන්ගේ හුම්...හුම්... හඬ මැද්දේ අපි ගැහී ගැහී හිටියේ. ටිකක් වෙලා යද්දී තාත්තා කාමරේට ඇවිත් ලයිට් දැම්මා. ඊට පස්සේ කාමරේ හොඳට බලාගන්න කියලා ආයෙම ලයිට් ඕෆ් කළා. ආයෙමත් ලයිට් දැම්මා.

“එළියෙදි තියෙන දේවල්ම තමයි කළුවරේදිත් තියෙන්නේ. එළිය අඩු  වුණාම ඒ දේවල්වල සෙවණැලි පෙනෙනවා. ඒකයි බය හිතෙන්නේ. මොකක් හරි දෙයක් දැක්කම ඒකට බයවෙන්න එපා. ළඟට ගිහින් ඒ ගැන හොයලා බලන්න”

තාත්තා මහ ගොඩක් අවවාද එදා අපිට දුන්නා. ඒත් එක්කම අපේ හොල්මන් භීතිකාවත් නැතිවෙලා ගියා. අදත් මහ රෑ සොහොනක් මැදින් තනියම ගියත් මගේ හිත ගැස්සෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අඳුරු ඡායාවකට හිත ගැස්සුණත් මම බයවෙලා දුවලා යන්නේ නැහැ. මම කරන්නේ එතැනට ගිහින් ඒ මොකක්ද කියලා පරීක්ෂා කරලා හිතේ සැකය දුරුකර ගන්නා එකයි.

ආරියවංශ කුලතිලක