සීයලා සිව් දෙනෙක් කාලයක් තිස්සේ වයස 11 දැරියකට සිදු කල අහස පොළොව නුහුලන අපරාධය

කුරුවිට, පොහොරබාවේ පදිංචි ඒ ආසන්නයේ පාසලක 5 වැනි ශේ‍ර්ණියේ ඉගෙන ගන්නා වයස අවුරුදු 11ක දැරියක් සීයලා හතරදෙනකු විසින් කාලයක් තිස්සේ අපයෝජනයට ලක් කර ඇති අතර මේ වන විට එයට සම්බන්ධ දෙදෙනකු කුරුවිට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ තොරතුරු හෙළි වී ඇත්තේ එම දැරිය පාසලේදී අසනීප තත්ත්වයට පත්වුණු අවස්ථාවකදී පන්ති භාර
ගුරුවරිය විසින් එම දැරියගෙන් තොරතුරු විමසමින් සිටින අතරයි.

ඇය එහිදී සියලු විස්තර පැවැසීමෙන් අනාවරණය වී ඇත්තේ කාලයක් තිස්සේ මෙම දැරියට ටොෆි, චොකලට්, කෑම වර්ග ලබාදී මෙම අතවර කර ඇති බවයි.

එම ප්‍රදේශයේ පදිංචි අයකු පවසා සිටියේ අපයෝජනයට පත් මෙම දැරියගේ මවුපියන් කුලී වැඩ කරමින් ජීවත් වන අය බවත් දෙදෙනාම මේ දැරියට කිසිම ආරක්ෂාවක් ලබාදී නැත. සමහර දිනවලට මේ දැරිය පාසල් ගොස් නිවෙසට එන විට සවස 5, 6 වන බවත් ඒ ගැනවත් මවුපියන් සොයා බලා නැති අතර මෙම දැරියගේ පියාද නිතර නිතර සුරා පානය කරන මත් ලෝලියෙක් බව වාර්තා වේ.

කුරුවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතාගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ මෙම සිද්ධියට අදාළ වයස අවුරුදු 60-70 වයසේ පසුවන වයසක පුද්ගලයන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අතවරයට පත් එම දැරිය මේ වන විට පරිවාස භාරයට පත් කර ඇති අර කුරුවිට පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.