"අතට අහුවෙච්ච ගොදුර අතහරින ජාතියේ කොල්ලො නෙවෙයි අපි.." - කොරියානු සුරූපීණියක් දුෂණය කර මරා දැමු ලාංකිකයන් සියල්ල වැමෑරු හැටි

දකුණු කොරියාවට සීත සෘතුව කලින් උදාවෙමින් තිබුණේය. දැඩි සීතලට මුහුණ දීමට පරිසරය පවා හැඩගැසෙමින් තිබිණි. ගස්වැල්වල කොළ හැලී ගොසින් තිබුණේය. එළඹෙන ශීත සෘතුවට මුහුණ දීමට කොරියානු ජනතාව ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ.

ඒ 1998 වර්ෂයේ ඔක්තෝබරයේ එක්තරා දිනයකි. දකුණු කොරියාවේ තේගු නගරයේ ජනශූන්‍ය මාර්ගයක් ඔස්සේ කොරියානු තරුණියක පාපැදියක්
පැදගෙන යමින් සිටියාය. ඇය නමින් ජියෝන් හයිපන් ය.

 ජියෝන් සිය පෙම්වතා වන ජුන් ද පාපැදියේ නංවාගෙන යමින් සිටියේ ඔහු නිවසට ඇරලවීමටය. හොඳ හැටි සෝජු පානයෙන් (කොරියාවේ මත්පැන් වර්ගයකි) ජුන් මත්ව සිටියේය. දහඅට හැවිරිදි වියේ පසු වූ ජියෝන් සැබැවින්ම සුරූපිනියකි. වරක් දුටු අයකුට දෙතුන්වරක් හැරී බැලීමට තරම් සිත් දෙන තරමේ රූප සම්පත්තියක් ඇය සතු විය.

 ජියෝන් තේගු නගරයේ විශ්වවිද්‍යාලයක පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවකි. ජියෝන්ගේ පෙම්වතා වන ජූන් අධ්‍යාපනය ලැබුවේ ද මේ විශ්වවිද්‍යාලයේ මය.
විශ්වවිද්‍යාලයේ වසර අවසන් සාදය පැවැත්වුණේ 1998 වර්ෂයේ ඔක්තෝබරයේ එක්තරා දිනකය. ජියෝන් සහ ජුන් සාදය නිම වී නිවෙස් බලා යමින් සිටියේ මධ්‍යම රාත්‍රියේය.

‘‘මම ඔයාට කී සැරයක් කිව්වද බොන්න බැරි දේවල් ඔහොම බොන්න එපා කියලා. කෝ ඔයා කියන දෙයක් ඇහුවයැ. ඔයාට බොන්න බැරිබව දැන දැන යාළුවෝ ටිකත් ඔයාට හොඳටම පෙව්වා.’’

පාපැදියේ නංවාගෙන යන තම පෙම්වතාට ජියෝන් බැණ වැදුණේ ඔහුට තිබූ ආදරය ලෙන්ගතුකම නිසා ය.

ජියෝන්ගේ ඇනුම් බැනුම් සියල්ල විඳ දරාගෙන ජුන් පාපැදියේ ගියේ පොඩි එකකු ලෙසය. ඇඟ කිළිපොලා යන තරමේ සීතලෙන් වෙව්ලමින් සිටි ජුන් සුරූපී ජියෝන් වෙත තව තවත් තුරුළු වෙමින් උණුසුම සෙව්වේය.

 පසුදා තේගු නගරයට හිරු උදා වුණේ තරමක් ප්‍රමාද විය. එදින තේගු නගරය බෙහෙවින් කලබලකාරී වී තිබුණේය.

‘‘ගෑනු ළමයෙක් හයිවේ එකේ ගිය ට්‍රක් එකක හැප්පිලා මැරිලා.. එයාගේ බොඩි එකත් හොඳටම ඩැමේජ්...’’

තේගු නගරයේ ජනතාව අතර මේ පුවත ප්‍රචාරය වන්නට එතරම් කාලයක් ගත වුණේ නැත. අධිවේගී මාර්ගයේ කොනක සුරූපී ජියොන්ගේ සුන්බුන් වූ සිරුර වැටී තිබුණේය. ජියෝන්ගේ පියා ඇයට දැක්වූයේ අසීමිත ආදරයකි. තම අහිංසක දියණියගේ මරණය දරාගත නොහැකිව ඔහු හඬා වැලපුණේ කුඩා දරුවකු ලෙසය.

ජියෝන්ගේ නිවුන් සොහොයුරිය මෙන්ම ඇගේ වැඩිමහල් සොහොයුරා මව ඇතුළු පවුලේ සාමාජිකයන් පොඩි පට්ටම් වී ගිය සිරුර බදාගෙන හඬා වැළපුනහ.

‘‘මගේ කෙල්ල ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න විදිහක් නැහැ. මගේ කෙල්ලව කවුරුහරි මරලා දාලා’’

ජියෝන්ගේ පියා තේගු නගරයේ පොලිස් නිලධාරීන් හමුවේ දැඩිව කියා සිටියේ තම දියණිියගේ මරණය මිනීමැරුමක් බවයි.

 ‘‘මේ ළමයා හයිවේ එකේ ගිය ට්‍රක් එකක හැප්පිලා මැරිලා තියෙන්නේ. ඒක අපට පැහැදිලියි. ට්‍රක් එකේ ඩ‍්‍රයිවරුත් අපි ඇරස්ට් කළා. ඔයා මෙතන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා...’’

තේගු පොලිසියේ නිලධාරීන් ජියෝන්ගේ පියාට තර්ජනය කළහ. එහෙත් ඒ තර්ජන ගර්ජනවලින් ඔහුගේ හඬ යටපත් කරන්නට ඉඩ ලැබුණේ නැත. අවසානයේ තේගු පොලිසිය ජියොන්ගේ මරණය පිළිබඳ විමර්ශනයක් කිරීම ආරම්භ කළේය.

මියගිය ජියෝන්ගේ සිරුරේ පහළ කොටසේ ඇඳුම් කිසිවක් තිබුණේ නැත. අනතුරට ලක්වූයේ නම් ඇගේ ඇඳුම් සිරුරේ තිබිය යුතුය. එසේ නම් ඇය අඩ නිරුවත් වුණේ කෙසේද යන ගැටලූව පොලිසියට මතු වී තිබිණි.

‘‘මගේ දුව එදා යුනිවර්සිටි එකේ පාටියට ගියේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඞ් එක්ක. එදා ? ගෙදර එන්න ඇවිත් තියෙන්නෙත් ඒ දෙන්නා එකට. මේ මරණයට මට එයාගේ බෝයි ෆ්‍රෙන්ඞ් ජූන්ව සැකයි.‘‘

ජියෝන්ගේ පියා පොලිසිය හමුවේ කියා සිටියේය. විමර්ශන කටයුතු වෙනත් මඟකට යොමු වන්නට පටන් ගත්තේ එතැන් සිටය. පොලිසිය ජූන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ කිසියම් හෝඩුවාවක් දැන ගැනීමේ අරමුණ ඇතිවය.

 ‘‘එදා ? අපි දෙන්නා බයික් එකේ ආව බව ඇත්ත. ජියෝන් මාව ගේ ළඟින් බස්සලා ගියා. මම එදා හොඳටම බීලා හිටියේ. එතනින් එහාට වුණේ මොකක්ද කියලා මම දන්නේ නැහැ.’’ ජූන් තම පෙම්වතියගේ මරණය පිළිබඳ කිසිවක් නොදන්නා බව පුන පුනා කියන්නට වුණේය. එහෙත් ඒ වනවිට සැකයේ හස්තය යොමු වී තිබුණේ ජූන් වෙතය. ජියෝන් අධ්‍යාපනය ලබමින් සිටි විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන් ද මේ විමර්ශනයට සහාය වීමට එක්ව සිටියහ. තම මිතුරියට සැබැවින්ම සිදු වුයේ කුමක්ද යන්න ඔවුනට ද සොයා ගැනීමට අවශ්‍ය විය. සාදය නිමවී ජියෝන් සහ ජූන් නිවසට ගිය මාර්ගය ඔස්සේ ගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කිසියම් සාක්‍ෂියක් සොයන්නට වූහ. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණේය.

ජූන් ඇඳ සිටි කලිසම සහ යට ඇඳුම අධිවේගී මාර්ගය අසල කැලෑ රොදක වැටී තිබියදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සොයා ගත්හ.

තේගු පොලිසිය ජියොන්ගේ ඇඳුම් පරීක්‍ෂා කළහ. ඇගේ යට ඇඳුමේ තිබී ශුක්‍රාණු පැල්ලම් කිහිපයක් සොයා ගැනීමත් සමඟ විමර්ශන අලූත් මඟකට යොමු වුණේය.

ජියෝන්ගේ මරණය හදිසි අනතුරක් නිසා සිදුවූවක් බව කියමින් ඇඟ බේරා ගැනීමට උත්සාහ කළ තේගු පොලිසිය අවසානයේ අලූත් මාර්ගයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළහ.

‘‘එදා ? ජූන් මේ කෙල්ලව විනාශ කරන්න ඇති. කෙල්ලව දූෂණය කරලා ඒකිව මරලා දාලා’’

දින ගණනාවක් තිස්සේ සිතේ සිර කරගෙන සිටි සියල්ල ජියෝන් ගේ පියා එළියට දැම්මේය. ජූන් පොලිස් භාරයට ගත්තේය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරිනි. එහෙත් ජූන් දැඩිව කියා සිටියේ තමන් නිර්දෝෂී බවය.

අවසානයේ ජූන්ගේ ශුක්‍රාණු ඞී. එන්. ඒ. පරීක්‍ෂාවකට ලක් කෙරිණිි. තේගු නගරයම විශ්වාස කළේ ජියෝන් දූෂණය කර මරා දැමුවේ ජූන් කියාය. පුදුමයකි. ජූන්ගේ ශුක්‍රාණු සාම්පලය ජියෝන්ගේ යට ඇඳුමේ තිබී සොයාගත් ශුක්‍රාණු සාම්පලයට ගැලපුණේ නැත.

ජියෝන් දූෂණය කර ඝාතනය කළ බවට එල්ල වී තිබූ සියලූ චෝදනාවලින් ජූන් නිදහස් වුණේය. ඒ වන විට තේගු පොලිසිය දැඩි ලෙස අසරණ වී සිටියහ. ඔවුන් සිතා සිටියේ ජූන්ගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු සියල්ල විසඳී යනු ඇතැයි කියාය.

ජියෝන්ගේ යට ඇඳුමේ තිබී සොයාගත් ශුක්‍රාණු සාම්පලය කාගේ දැයි කියා සොයා ගැනීමට තේගු පොලිසිය දැඩි උත්සාහයක් ගත්තද එය සාර්ථක වුණේ නැත. සැකකටයුතු පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කළ ද මේ මරණය පිළිබඳව හෝ සැකකරුවන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් හමුනොවීය.

කාලය කෙමින් ගෙවී ගියේය. ජියෝන්ගේ මරණය පිළිබඳ සෙවීමේ විමර්ශන කටයුතු ද කාලයේ වැලි තලාවෙන් වැළලී යමින් තිබුණේය. ජියෝන්ගේ යට ඇඳුමෙන් සොයා ගත් ශුක්‍රාණු සාම්පලය හඳුනා නොගත් අපරාධකාරයන්ගේ දත්ත ගබඩාවේ තැන්පත් කෙරෙන්නේ ඇගේ මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු හමස් පෙට්ටියට යවමින් ය.

ජියෝන්ගේ මරණය පිළිබඳ මතකය සැමගේ සිත් වලින් වියැකී ගිය ද ඇගේ පියා ඒ අමිහිරි මතකය අමතක කර තිබුණේ නැත.

තම දියණියට සාධාරණයක් ලබා ගැනීමට ගත් උත්සාහය ඔහු අතහැර තිබුණේ ද නැත. ජියෝන්ගේ නිවුන් සොහොයුරිය ඇය හා සමානම රූප සම්පත්තියක් ඇති තරුණියක වූවාය. ඇය දකින දකින වාරයක් පාසා ජියෝන්ගේ පියා මැරි මැරී ඉපදුණේය. එළවළු තොග පිටින් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය ජියෝන්ගේ පියා තේගු නගරයේ සෑහෙන පොහොසතෙකි.

2011 වර්ෂයේ මුල් කාර්තුවේ එක්තරා දිනයක තේගු පොලිසිය මගින් අපරාධකාරයකු අත්අඩංගුවට ගත්තේය. ඔහු ශ්‍රී ලාංකිකයෙකි. නමින් ක්‍රිස්ටෝපර් ය. ක්‍රිස්ටෝපර්ට එරෙහිව එල්ල වී තිබුණේ බරපතළ චෝදනාවකි. බාල වයස්කාර දැරියක ලිංගික අපයෝජනයක් සඳහා රැගෙන යෑමට උත්සාහ කළ බවට මොහුට එරෙහිව තේගු පොලිසිය චෝදනා ගොනු කර තිබුණේය.

ක්‍රිස්ටෝපර් නමැති කාමාතුරයාට එරෙහිව තේගු අධිකරණය මගින් නඩු විභාගයක් ආරම්භ කෙරිණි. වසර දෙකක් තිස්සේ එක දිගට විභාග වූ නඩුවේ තීන්දුව ලබා දෙන්නේ 2013 වර්ෂයේ දීය.

ක්‍රිස්ටෝපර්ට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් ඔහු වැරදිකරුවකු කළ තේගු අධිකරණය වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

ක්‍රිස්ටෝපර් බන්ධනාගාරය වෙත රැගෙන යෑමට පෙර ඔහුගේ රුධිර සාම්පලයක් පරීක්‍ෂා කෙරිණි. ඒ රුධිර සාම්පලය හඳුනා නොගත් අපරාධකාරයන්ගේ ඞී. එන්. ඒ. දත්ත ගබඩාව වෙත යැවීමට තේගු පොලිසිය කටයුතු කළහ.

 තේගු පොලිසිය අන්ද මන්ද වන්නේ ක්‍රිස්ටෝපර්ගේ රුධිර සාම්පලය සම්බන්ධයෙන් වූ ඞී. එන්. ඒ. වාර්තාව ලැබීමෙන් පසුවය. 1998 වර්ෂයේ දී දූෂණය කර මරා දැමූ ජියෝන්ගේ යට ඇඳුමේ තිබී සොයාගත් ශුක්‍රාණු සාම්පලය ක්‍රිස්ටෝපර්ගේ රුධිර සාම්පලයට ගැලපී තිබුණේ ය.

ජියෝන් මරණයට පත් වී වසර 13 කට පසු ඒ අපරාධය කළ පාපතරයා හඳුනාගන්නට ලැබෙන්නේ අහම්බෙයකිනි.

වළදමා තිබූ ජියෝන්ගේ මරණයේ විමර්ශන කටයුතු තේගු පොලිසිය නැවත ගොඩ ගත්තේය. ජියෝන්ගේ මතකය නැවත තේගු නගරය පුරා රැව් දෙන්නට පටන් ගත්තේය. ‘‘මගේ අහිංසක කෙල්ලට කරපු අපරාධයට මේ තිරිසනාට දඬුවම් දෙන්න ඕනෙ. ඒ අහිංසක කෙල්ලට කරන්න පුළුවන් එකම සාධාරණය ඒක විතරයි.’’

ජියෝන්ගේ පියා තේගු පොලිසිය හමුවේ දැඩි බලපෑමක් කරන්නට පටන් ගත්තේය.

ක්‍රිස්ටෝපර් නමැති කාමාතුරයාට එරෙහිව නැවත විමර්ශනයක් ආරම්භ කිරීමට තේගු පොලිසිය කටයුතු කරන්නේ ඉන් පසුවය. ක්‍රිස්ටෝපර්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් තේගු පොලිසිය ඔහුට එරෙහිව අධිකරණයේ තවත් නඩුවක් ගොනු කළහ.

නඩු විභාගය ආරම්භ කෙරිණි. කොරියානු නීතිය අනුව ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් පුද්ගලයකු වරදකරුවකු කළ හැක්කේ වසර දහයක් ඇතුළතය. ඒ වන විට ජියෝන් දූෂණය කර මරා දමා වසර 13 ක් ගත වී තිබුණේය.

කොරියාවේ නීති පොත්වල තිබූ වාසිය ක්‍රිස්ටෝපර් නමැති කාමාතුරයාට ලැබී තිබුණේය. ක්‍රිස්ටෝපර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මේ නීතිය ඔස්සේ තර්ක කරමින් නඩු විභාගය පුස්සක් බවට පත් කළේය. මේ සිදුවීම ජියෝන්ගේ පියා දැඩි ලෙස කම්පනය කරවීමට සමත් විය. මොන තරම් බාධක කම්කටොළු ආවද තම දියණියට සාධාරණයක් ලබා ගැනීම සඳහා ගෙන යන සටන ඔහු අත හැරියේ නැත.

ජියෝන්ගේ පියා තේගු පොලිසියේ ප්‍රධානීන් හමුවී තමන්ට සිදු වී ඇති අසාධාරණය කීවේය. රජයේ නිලධාරීන් අමාත්‍යවරුන් හමු වී තම දියණියට සාධාරණයක් කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ජියොන්ගේ මරණය සම්බන්ධයෙන් වූ ගැටලූව කොරියාවේ ම ප්‍රශ්නයක් බවට පත් කරවීමට පියාට හැකි වුණේය. ජියෝන්ගේ මරණය මිනීමැරුමක් විදිහට විමර්ශනයක් කරලා, අලූත් කේස් එකක් ෆයිල් කරන්න. ඒ වගේම එයා දූෂණය කරලා ළඟ තිබුණු දේපළ කොල්ලකෑම චෝදනාවත් මේ අපරාධකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්.

තේගු පොලිසියේ උසස් නිලධාරීන්ගෙන් විමර්ශන කණ්ඩායම්වලට උපදෙස් ලැබිණි. ඒ අනුව ජියෝන් ඝාතනය කළ බවට චෝදනා කරමින් පොලිසිය ක්‍රිස්ටෝපර් නමැති කාමාතුරයාට එරෙහිව තවත් නඩුවක් ගොනු කළේය.

ඒ නඩුව ද තේගු අධිකරණය විභාග කළේය. එහෙත් ජියෝන් ඝාතනය කළ බවට ප්‍රමාණවත් සාක්‍ෂියක් සොයා ගැනීමට නොහැකි වීම නිසා ඒ නඩුව ද ඉවත දැමීමට තේගු අධිකරණය පියවර ගත්තේය.

ජියෝන් දූෂණය කිරීමෙන් පසු ඇය සතු වටිනා දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් වූ චෝදනාවට පමණක් ක්‍රිස්ටෝපර්ට සුළු දඬුවමක් පැනවීමට අධිකරණය කටයුතු කර තිබුණේය.

කොරියානු අධිකරණයේ නියෝගවලට පිටින් යෑමට නොහැකි නිසා ජියෝන් ගේ අපරාධකරුට දඬුවම් ලබා දීමට විකල්ප මාර්ග ඇද්දැයි තේගු පොලිසිය හොයන්නට පටන් ගත්තේය.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වසර 20 ක් ඇතුළත අපරාධකරුවකුට දඬුවම් ලබා දීමට හැකි බව කොරියාවේ තේගු නගරයේ පොලිසිය සොයා ගත්තේය.

ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් අධිකරණ අමාත්‍යාංශයෙන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව ලිඛිත ඉල්ලීමක් කළහ. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය හරහා දිගින් දිගටම මේ පිළිබඳව ඉල්ලීම් කළ ද ඊට යහපත් ප්‍රතිචාර ලැබී තිබුණේ නැත. ඒ මන්ද යත් වෙනත් රටක සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් මෙරට අධිකරණයේ නීති රීති සකස් වී නොතිබීමය.

ජියෝන්ට සාධාරණයක් ඉටුකර දීමේ සටන පිටුපස ඉන්ද්‍රඛීලයක් සේ සිටියේ ඇගේ පියා ය. ඔහු දිගින් දිගටම කොරියානු රජයේ මෙන්ම පොලිසියේ නිලධාරීන්ට බලපෑම් කරමින් තම දියණිියට සාධාරණයක් ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටියේය. අවසානයේ කොරියානු රජයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට එන්නේ ජියෝන්ගේ අපරාධකාරයන්ට එරෙහිව මෙරට නීතිය ඔස්සේ දඬුවම් කිරීමට කිසියම් ඉඩ ප්‍රස්ථාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

මේ නියෝජිත කණ්ඩායම කොරියාවේ අධිකරණ ඇමැති පොලිස් ප්‍රධානීන් එරට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වූහ. මොවුන් පැමිණෙන්නේ ඉකුත් 2017 වර්ෂයේදී ය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය හරහා අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගිය කොරියානු නියෝජිතයන් ජියෝන්ගේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අපරාධකරුවන්ට දඬුවම් දීමට මාර්ගයක් පාදා දෙන ලෙස ඉල්ලා සිටියහ.

මෙම නියෝජිත පිරිස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ජාත්‍යන්තර පොලිස් කටයුතු භාර පොලිස් අධිකාරි රංජිත් වෙදිසිංහ මහත්වරුන් ද මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කළහ.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට අවසරයක් ලැබුණොත් අපි ලෑස්තියි මේ ගැන විමර්ශනයක් කරන්න. ඒ නිසා අපට නීතිපතිවරයාගෙන් අවසර අරගෙන දෙන්න.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා කොරියානු නියෝජිතයන් දැනුවත් කළේ විමර්ශනයක් සඳහා පවතින ගැටලූ සහගත තැන් පෙන්වා දෙමින් ය.

කොරියාව ශ්‍රී ලංකාව එක්ක දීර්ඝ කාලයක ඉඳලා දැඩි මිත්‍ර සම්බන්ධතා පවත්වන රටක්. කොරියානු තානාපති කාර්යාලයත් කොයිකා ආයතනයත් හරහා අපි ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර කර තිබෙනවා. ඉදිරියේදීත් ඒ ආධාර ඒ විදිහටම ලැබෙනවා.

අනික මේ රටේ තරුණයෝ ලක්‍ෂ ගණනක් කොරියාවේ රැකියාවන් කරනවා. ඒ කටයුත්ත අපි ඉදිරියටත් කරනවා. මේ වගේ අපරාධ නිසා අපි අතර තියන මිත්‍රත්වය පලූදු වෙන්න දෙන්න බැහැ. ඒ නිසා මේ විමර්ශනයට අපට උදව් කරන්න මේ සිද්ධිය කොරියාවේම ප්‍රසිද්ධ වෙච්ච සිද්ධියක් වෙලා තියෙන්නේ.’’

මෙම විමර්ශනයේ ඇති වැදගත්කම කොරියානු බලධාරින් පැහැදිලි කර දුන්හ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කොරියානු නියෝජිතයන් මේ පිළිබඳව මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා කළහ. අවසානයේ ජියෝන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දීමට රජයේ නීතිපතිවරයා ඉදිරිපත් වුණේය. ජියෝන් දූෂණය කිරීම ඇය සතු දේපළ කොල්ලකෑම, ඇය මරණයට පත් කිරීම යන චෝ්දනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

මෙම විමර්ශනය ඉතිහාස ගත වූ එකක් විය. විදේශ රටක සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමක් මීට පෙර සිදුව තිබුණේ නැත.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොරියාවේ තේගු නගරයට යන්නට සූදානම් වූහ. විමර්ශනය සඳහා අවශ්‍ය කරන සියලූම වියදම් කොරියානු රජය විසින් දැරීමට ඉදිරිපත් වුණේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පොලිස් අධිකාරි රංජිත් වෙදිසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් මීට මාස කීපයකට උඩදී කොරියාවේ තේගු නගරය වෙත ගියහ.

ජියෝන් ඝාතනයේ විමර්ශන කටයුතු නැවතත් මුල සිටම ආරම්භ කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය. වැළලී ගිය අපරාධ ගොඩගැනීමට උපන් හපන්කම් ඇති නිලධාරීන් අප සතුව සිටින බව දැකීමෙන් තේගු නගරයේ පොලිසිය පවා විමතියට පත්වූහ.

ජියෝන් ඝාතනයේ විමර්ශන කටයුතු ඉතාම ක්‍රමවත්ව ආරම්භ කෙරිණි. මෙම සිද්ධියට අදාළ සියලූම පාර්ශ්වවලින් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කෙරිණි. ජියෝන්ගේ සොහොයුරාගෙන්, පෙම්වතාගෙන්, විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

එපමණක් නොව ජියෝන්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ තේගු පොලිසියේ නිලධාරීන්ගෙන් ද සී.අයි.ඞී ය ප්‍රශ්න කළේය. ඔවුන්ගෙන් ද ප්‍රකාශ ලබාගත්තේය. ජියෝන්ට සිදු වූ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කිරීම පහසු කටයුත්තක් නොවීය. අපරාධය සිදු වී ඒ වන විට විසි වසරක් ගත වී තිබුණේය.

ජියෝන් දූෂණයට ලක් වූ ස්ථානය ඇය ටිපර් රථයේ ගැටී මියගොස් සිටි අධිවේගී මාර්ගය පරීක්‍ෂා කිරීමට ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පොලිස් අධිකාරි රංජිත් වෙදිසිංහ මහත්වරුන් කටයුතු කළහ.

සති දෙකක් ගත වන්නට පෙර ජියෝන් ඝාතනයේ සියලූ තොරතුරු අනාවරණය කර ගන්නට සී. අයි.ඞී. යේ නිලධාරීන් සමත් වූහ. ජියෝන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ක්‍රිස්ටෝපර් ඒ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද සී. අයි. ඩි. ය සොයා ගත්තේය. මේ අපරාධය සඳහා ක්‍රිස්ටෝපර් සමග තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද එක්ව සිටි බව අනාවරණය කර ගන්නට රවී සෙනෙවිරත්න රංජිත් වෙදිසිංහ ඇතුළු රහස් පොලිසියේ නිලධාරීන්ට හැකි විය.

 මේ ශ්‍රී ලාංකිකයන් තිදෙනා පිළිබඳව සියලූ විස්තර මෙන්ම ඔවුන් පදිංචි වී සිටින ස්ථාන පවා සොයා ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වූහ.

ජියෝන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අපරාධකරුවන් හඳුනාගැනීමට කටයුතු කිරීම පිළිබඳව කොරියානු රජය මෙන්ම එරට පොලිසිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අනේක වාරයක් ස්තුති කළහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පොලිස් අධිකාරි රංජිත් වෙදිසිංහ ඇතුළු නිලධාරින් පිරිස කොරියාවේ සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන්නේ ජියෝන්ට සිදු වූ අපරාධයේ විමර්ශන 80% ක් අවසන් කරගෙනය.

ජියෝන් නමැති කොරියානු ජාතික තරුණිය දුෂණය කර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තම විමර්ශන කටයුතු පිළිබඳව කොටුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

ජියෝන් නමැති සුරූපී විශ්වවිද්‍යාල ශිෂ්‍යාව දූෂණය කර මරණයට පත් කළ කාමාතුරයන් තිදෙනා සිටියේ ජාඇල, කැකිරාව සහ මහනුවර ප්‍රදේශවලය.

මේ කාමාතුරයන් තිදෙනා කොරියාවේ රැකියාවලට යන්නේ එරට රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ රැකියා අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ය.

මේ පාපතරයන් කොරියාවේ තේගු නගරයේ පිහිටි ඇඟලූම් කර්මාන්ත ශාලාවලට සම්බන්ධ රැකියා කරමින් සිටියහ.

ක්‍රිස්ටෝපර් රිෂාක් සහ ටෙරෝන් නවාතැන් ගෙන සිටියේ තේගු නගරයට ආසන්නයේ පිහිටි බෝඩිමකය. වෙහෙසකර රැකියාවෙන් පසු ඉඩ ලැබෙන හැම මොහොතකම මත්පැන් පානය කිරීමට මොවුන් පුරුදුව සිටියහ.

1998 වර්ෂයේ ඔක්තෝබරයේ එක්තරා මූසල දිනයක රාත්‍රියේ සිදු වූ ඒ අමිහිරි සිදුවීම පිළිබඳව සියලූ තොරතුරු මේ වන විට රහස් පොලිසියේ දක්‍ෂ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබුණේය.

 ඒ මූසල රාත්‍රිය දැඩි ශීතල කාලගුණයක් සහිත දිනයක් විය. එදින කොරියාවේ රැකියා කරන බොහෝ දෙනෙකුට නිවාඩු ලැබුණ දිනයක් වුණේය. ක්‍රිස්ටෝපර්, ටෙරෝන් සහ රිෂාක් සෝජු පානයට බෙහෙවින් ප්‍රිය කළහ.

 නිවාඩුවක් ලැබෙන සෑම රාත්‍රියකම අවන්හලකට වැදී රැය පහන් වන තුරුම සෝජු පානය කරමින් විනෝද වීමට මේ පාපතරයන් පුරුදුව සිටියහ. තේගු නගරය ආසන්නයේ පිහිටි එක්තරා අවන්හලක් මොවුන්ගේ තාවකාලික වාසස්ථානය වී තිබුණේය.

 මේ අමිහිරි සිදුවීම වූ දිනයේද මේ පාපතරයන් තිදෙනා තේගු නගරය ආසන්නයේ පිහිටි අවන්හලට වී සෝජු පානය කරමින් සිටියහ. ජියෝන් තම පෙම්වතා වූ ජූන්ද පාපැදියේ නංවාගෙන එන්නේ ඔය අතරතුරදී ය. ඒ වන විට ජූන් සිටියේ ද බමන මතින් ය. ජියෝන් තම පෙම්වතා අවන්හල අසල නතර කර තනිවම නිවස බලා යෑමට පිටත් වූවාය.

 අවන්හල අසල වීදි පහන් එළියෙන් ජියෝන්ගේ රූ සපුව දුටු කාමාතුරයන් තිදෙනා කුලප්පු වූහ.

 ‘‘බලපන්කෝ මේකිගෙ ලස්සන. කොරියාවට ආවට පස්සේ මේ වගේ ලස්සන කෙල්ලෙක් දැක්කමයි ටෝක් කරලා බලමුද?’’

 ක්‍රිස්ටෝපර් තම සගයන්ට කීවේය. ඔවුන් ද ඊට එක පයින් කැමැති වූහ.

 කාමාතුරයන් තිදෙනා කොරියානු භාෂාවෙන් බොහොම විනීතව ජියෝන්ට කතා කළහ. කොරියානුවන් බොහොම විනීත ජාතියක්. අනෙකාට ගෞරව කිරීම ඔවුන් මහ ඉහළින් සිදු කරන ගුණධර්මයකි. ‘‘නංගි කොහෙද යන්නෙ තනියම’’ ක්‍රිස්ටෝපර් කොරියානු භාෂාවෙන් ජියෝන්ගෙන් විමසුවේය.

 ‘‘අද අපේ යුනිවර්සිටි එකේ පාටියක් තිබ්බා. මගේ බෝයිට ටිකක් වැඩි වුණා. එයා කිව්වා මේ රෙස්ටුරන්ට් එකේ ඉන්නම්. මට යන්න කියලා.. මම ගෙදර යන ගමන්...’’

 ජියෝන් බොහොම විනීතව උත්තර දුන්නාය. ජියෝන්ගේ පියකරු මුහුණ දැකීමෙන් කාමාතුරයන්ගේ පහත් ආශාවන් තව තවත් අවදි වන්නට වූහ.

 ‘‘නංගී අපිත් යන්නේ ඔය පැත්තට තමයි. එන්න අපිත් එක්ක මොනව හරි බීලා හෙමින් කතා කර කර යන්න පුළුවන්.’’

 ක්‍රිස්ටෝපර්ගේ විනීත කතා විලාශය ගැන පැහැදුනු ජියෝන් නිවසට යෑම පසෙක දමා ඔවුන් අසලට ආවාය. ජියෝන් ද සෝජු පානයට දැක්වූයේ අසීමිත ආශාවකි. කාමාතුරයන් තිදෙනා ජියෝන් වෙනුවෙන් සෝජු බෝතල් කීපයක් ඇනවුම් කළහ.

සෝජු බෝතල් කීපයක් හිස් කළ ජියෝන් ආගන්තුක මිතුරන්ට සමු දී නිවසට යන්නට සූදානම් වූවාය. කොරියාව යනු අසීමිත නිදහසත්, ආරක්‍ෂාවත් ඇති රටක් ලෙස ප්‍රසිද්ධය. ඕනෑම රාත්‍රියක ඕනෑම මාර්ගයක සුරූපිනියකට තනිවම යෑමට හැකි තත්ත්වයක් කොරියාවේ තිබුණේ එහි ජනතාව ඒ තරමට විනීත නිසාය.

මධ්‍යම රාත්‍රියේ තම නිවසට තනිවම යෑමට ජියෝන්ට කිසිම බියක් සැකයක් දැනුනේ නැත්තේ ඒ නිසාය. රාත්‍රියේ තනිවම ගිය තරුණියකට අතවරයක් වූ බවක් ජියෝන් ජීවිතයේ කිසි දිනෙක අසා තිබුණේ නැත.

‘‘නංගී තනියම යන්න එපා. ඉන්න. අපිත් එනවා.’’

කාමාතුරයන් තිදෙනා ද මත්පැන් පානය කිරීම පසෙක තබා නැගී සිටියහ. පහත් පෙළේ කාම ආශාවන්ගෙන් මේ කාමාතුරයන්ගේ සිරුරු ගිනි ගනිමින් තිබුණේය. තමන් මේ මැදිව සිටින්නේ ව්‍යාඝ්‍රයන් රැළකට බව අහිංසක මුවැත්තිය දැන සිටියේ නැත.

ඒ වන විට මධ්‍යම රාත්‍රිය උදා වී තිබුණේය. මාර්ගයේ බලූ බල්ලෙක් නැත. අහිංසක සුරූපිනිය මැදි කර ගත් කාමාතුරයන් තිදෙනා තේගු නගරයේ භූමා නමින් හඳුන්වන අධිවේගී මාර්ගය දෙසට ගමන් කළහ. ඒ වන තුරුත් ජියෝන්ට ආගන්තුක තරුණයන් ගැන සැකයක් ඉපිද තිබුණේ නැත.

අධිවේගී මාර්ගයේ කුඩා උමගක් සහිත ස්ථානයේ කාමාතුරයන් තිදෙනා නතර වූහ. ජියෝන් කලබලයෙන් වටපිට බලන්න වුණේ ඉන් පසුවය.

‘‘මට ගෙදර යන්න ඕනෙ.... මට යන්න ඉඩ දෙන්න.’’

අහිංසක ජියෝන් කාමාතුරයන්ගෙන් ගැලවීමට උත්සාහ කළාය.

 ‘‘අද අපි උඹට යන්න දෙන්නෙ නැහැ. අතට අහුවෙච්ච ගොදුර අතහරින ජාතියේ කොල්ලො නෙවෙයි අපි....’

 පාපතරයන් අහිංසක ජියෝන් සිය ග්‍රහණයට ගත්හ. තමන් බේරා ගන්නා ලෙස කියමින් ඇය විලාප නැඟුවාය. අධිවේගී මාර්ගයේ වේගයෙන් ධාවනය වන වාහනවල හඬින් ඇගේ විලාපය අඩපණ වී ගොස් තිබිණි.

 කාමාශාවෙන් අමනුෂ්‍යයන් බවට පත්ව සිටි ක්‍රිස්ටෝපර්, රිෂාන් සහ ටෙරෝන් වරින්වර ඒ අහිංසක මුවැත්තිය විනාශ කළහ. පැය ගණනක් යනතුරු භූමා අධිවේගී මාර්ගයේ උමගක් තුළ සිදු වූ ඒ මහා අපරාධය කිසිවකුත් දැන සිටියේ නැත.

 අහිංසක ජියෝන් තලා පෙළා විනාශ කර දැමූ කාමාතුරයන් තිදෙනා ඇය අධිවේගී මාර්ගයට තල්ලූ කර දැමුවේ තමන් සිදුකළ අපරාධය සදාකාලිකව වැළලී යනු ඇතැයි සිතාගෙනය.

 එහෙත් මහපොළොව නුහුලන අපරාධයක් කළ ඒ පාපතරයන්ට ඉන් ගැලවී යා නොහැකි විය. දිට්ඨධම්මවේදනීය කර්මය මොවුන්ට මෙලොවදීම පල දුන්නේය. ජියෝන් මිය ගොස් විසි වසරකට හෝ පසුව ඇය වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ලැබීම කිසියම් වූ භාග්‍යයකි.

 ජියෝන් හිටිය නම් අද එයාට අවුරුදු 38 ක් එහෙම නම් මම දරු මුණුබුරොත් දකිනවා. මගේ අහිංසක කෙල්ල මට නැති වුණා. අවුරුදු විස්සකට පස්සෙ හරි එයාට සාධාරණයක් ලැබිච්ච එක ගැන පුංචි සතුටක් දැනෙනවා.

 ජියෝන්ගේ පියා විමර්ශන කණ්ඩායම්වලට සිය ප්‍රසාදය පළ කළේය.

 හේමන්ත රන්දුණු