කරාපිටිය රෝහලේ බීමත් අයකු නාන කාමරයක නිරුවතින් යකා නටයි; රෝහල් උපස්‌ථායිකාව නාන කාමරයෙන් එළියට පනී!

කරාපිටිය රෝහලේ 53, 54 යන වාට්‌ටුවලට අයත් නාන කාමරයකට බීමත්ව අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසුරුණු අයකු පෙරේදා (11) පස්‌වරුවේදී කරාපිටිය රෝහලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකරු තිස්‌ හය හැවිරිදි වියේ පසුවන අයෙකි. පෙරේදා පස්‌වරුවේ මොහු අධික ලෙස බීමත්ව රෝහලේ 53 හා 54 යන වාට්‌ටු සඳහා ඇති නාන
කාමරයට ඇතුළු වී ඇඳුම් උනා දමා දිය නෑමට පටන් ගෙන තිබේ. මෙම අවස්‌ථාවේ රෝහලේ උපස්‌ථායිකාවක්‌ විසින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස්‌ගත අයකු දිය නාවමින් සිට ඇත. එම සේවිකාව මෙම සිද්ධියත් සමඟ නාන කාමරයෙන් පිටතට පැන ගෙන ඇති බව රෝහල් පොලිසිය කියයි.

 සැකකරු ගාල්ල පොලිසියට භාරදී ඇති අතර ඊයේ (12 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කරාපිටිය රෝහල් පොලිසියේ ස්‌ථානාධිපති උ. පො. ප. ජයසිරි මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.