gossip lanka

පී.කේ.ට වෙච්ච දේම තමා මටත් වුණේ

ක්ලාස් කට්කරලා ඇවිල්ලා තැන් තැන්වල රස්තියාදු ගහන කාලේ රහීමා එකට ගොඩවෙලා තෝසේ පාරක් දාලා ප්ලේන්ටියක් ගහනවාමයි. අදටත් ඒ පුරුද්දටද මන්දා රහීමා එක කිට්ටුවෙන් යනකොට ඒකට ගොඩ නොවී යන්න හිතෙන්නෙම නෑ... ඒ කාලේ ගත්ත ආතල් මතකයට ආවේ ඒක පහුකරන් යනකොට.

දෙමළ රසට තෝසෙ කාලා මම ආවා හරියටම
කියනවනම් කැම්පස් එක ඉස්සරහා බස් හෝල්ට් එකට.

පාර දෙපැත්තට විහිදුන මැයි මාර ගස් පෙළ දැක්කම මට මතක් වුණේ මිල්ටන් මල්ලවාරච්චිගේ අර සින්දුව... මේ මැයි ගහයට දවසක් දා... ඒක හිතට හරිම අමුතු හැඟීමක් ගේන දර්ශනයක්.

ඔන්න මම අර කියාපු කෙනා ආවා...!

කොහොමද මචං?

ඒ තමයි ඔහුගේ මුල්ම ආමන්ත්‍රණය...

මට මචං කීව ඒ මචං වෙන කවුරුත් නෙමේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.

අනම් මනම් වැල්වටාරම් නැතුව ඉසුරුගේ ජීවිතේ මේ දවස්වල ගෙවන තැනින්ම කතාව පටන් ගමුද?

පහුගිය දවස් ටික නම් ටිකක් විතර බිසී වුණා... චිත්‍රපට, ටෙලිනාට්‍ය කීපයක්ම කළා. මේ දවස්වලත් ෂූටින් තියෙනවා.. චැනල්වලට තියෙන වැඩසටහන්වලටත් යන්න ඕනෙනෙ. සමස්තයක් විදියට ටිකක් කාර්ය බහුලයි...

ඉසුරුගේ රඟපෑම් ඕනතරම් අපි දැකලා තියෙනවා... ඒවා ගැන නැතුව... බොක්කටම වැදුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද? හැබැයි ඒක සින්දුවක් වෙන්න බෑ...

මෙච්චර වෙලා වැඩිපුර කතාකරපු ඉසුරු... මොහොතකට නිහඬයි.

මෙහෙමයි... කියවීමයි සහ නැරඹීම දෙක ගත්තාම මම වැඩිපුර ඉස්සරහින් ඉන්නෙ නැරඹීමට... විශේෂයෙන් චිත්‍රපට නරඹන්න... මෑත කාලේ බලපු නිර්මාණවලින් මගේ හිතට තදින්ම දැනුණු නිර්මාණයක් තමා රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණය කරපු පී.කේ. කියන චිත්‍රපටය.



පී.කේ. චිත්‍රපටය ඉසුරුට මෙච්චරම දැනුණේ ඇයි?

චිත්‍රපටයක් හෝ.. ටෙලියක් හෝ වෙන ඕනම නිර්මාණයකින් කරන්න ඕනෙ අපි ඉන්න සමාජයේ ඇතුළෙම අපිට නොපෙනෙන නොදැනෙන පැත්තක් නැත්නම් දෙයක් දිහා දෑස් විවර කරලා බලන්න මානයක් සකසන එක... සරලව කිව්වොත් අපි අපිවම ප්‍රශ්න කරන තැනට පත් කිරීම නැත්නම් අපි ඉන්න සිස්ටම් එක ප්‍රශ්න කරලා හරිදේ පෙන්වාදීම. තමන්ට සාපේක්ෂවනේ හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා තීරණය වෙන්නෙ... එහෙම බලද්දි දකුණු ආසියානු රටවල් ගොඩක් මිත්‍යා විශ්වාස ගොඩක එල්ලිලා ඉන්නවනේ... මේ චිත්‍රපටයෙන් නිරුවත් කරන්නෙ, ඒ වගේ මිත්‍යා විශ්වාස සහ දෙවියන්ට මුවාවෙලා මිනිස්සුන්ව පාවිච්චි කරන යම් යම් පුද්ගලයන්ව. අන්න ඒ දේ නිසා තමා මම වඩාත්ම කැමති මේ ෆිල්ම් එකට... මේ චිත්‍රපටයේ රඟපාන අමීර් ඛාන් මගේ ප්‍රියතම නළුවා වීමත් එක හේතුවක්. තව හේතුවක් තමා මේ චිත්‍රපටයේ තිර රචනය. පී.කේ. චිත්‍රපටයෙන් කරන්නෙ හොඳ අවංක මිනිහෙක්ව සහ දෙවියන්ව හප්පන එක. වර්තමාන ලෝකයේ අවංක මිනිස්සු හොයාගන්න නෑනෙ... ඉන්නවනම් ඉතින් මේ දැන් ඉපදුණු ළමයෙක් තමයි. දවසින් දවස ජීවත්වෙන්න වෙන්න ඒ ළමයත් විනාශවෙනවා. විනාශ වෙනවා නෙමේ මේ සමාජය විසින් විනාශ කරනවා... හිරානිට මේ චිත්‍රපටය දැන් ඉපදුනු ළමයෙක්ව ගන්න බැරි නිසා... එයා තෝරගන්නෙ පිටසක්වල කෙනෙක්ව... මේ පිටසක්වල ජීවියා පෘතුවිය ගැන මුකුත්ම දන්නෙ නෑ... ඒ කියන්නෙ ඌ මාර අවංකයෙක්නෙ... ඔහු තමා පී.කේ. කියන්නෙ. ඌ අපේ සිස්ටම් එකට වැටිලා මාර ඇණ ගැනිල්ලක් ඇණ ගන්නවා.. දැන් අපිට වෙලා තියෙන්නෙත් ඒකම තමා... අපි හිතන් ඉන්නවා අපිට හරි ගිහිල්ලා කියලා... නෑ එහෙම වෙලා නෑ... අපේ භාෂාවෙන්ම කිව්වොත් අපිට කෙලවෙලා තියෙන්නේ... මේ සිස්ටම් එකෙන් මිදිලා පොඩ්ඩක් අපි කවුද, අපිට මොනවාද වෙලා තියෙන්නෙ කියන එක ගැන ප්‍රශ්න කරන්න හදපු මේ නිර්මාණය මට සිරාවටම හිතට වැදුණා...

පී.කේ චිත්‍රපටයේ ඉසුරු ආසම කැරුක්ටර් එක කවුද?

මම කැමතිම චරිතය තමයි පී.කේ... කියන පිටසක්වලින් ආපු අවංක මිනිහා... මම දකින්නෙ ඒ චරිතය ඇතුළේ ඉන්නෙ මං කියලා. ඒකට හේතුව තමයි මම මාතර නිදන්ගල කියන ඈත ගමක ඉපදිච්චි එකෙක්. මම හිතන්නෙ ගමේ තාමත් මනුස්සකම ආරක්ෂා වෙලා තියෙනවා... වැඩිය දේවල් ඕන නෑ... කවුරු හරි ගමකට ගිහින් පාරක් අහන්නකො... අපි කියමුකො වින්කලේක වැඩකරන කෙනෙක්ගෙන් අහන්නෙ කියලා ඒ මනුස්සයා ඒ වැඩේ නතර කරලා වාහනේ ගාවට ඇවිල්ල කොහෙටද මහත්තයෝ යන්න ඕනෙ කියලා අහලා... පාර කියනවා... කොළඹ කාගෙන් හරි පාරක් ඇහුවොත් කියන්නෙ ඔන්න ඔය ඉස්සරහෙන් අහන්න කියලානෙ.... ගමේ ගැමිකමත් එකක් කොළඹ ආව මට වුණෙත් අර පී.කේ.ට වෙච්ච දේ... මම කොළඹ ඇවිල්ලත් අර ගමේ හිටපු විදියටම ඉන්න උත්සාහ කළා... මිනිස්සුන්ට උදවු කරගෙන. අපිට මුණගැහෙන මිනිස්සු එක්ක හිනාවෙලා කතාබහ කරලා... මෙහෙ අය අපි හිනාවුණාම. අහක බලාගෙන යනවා... ගමේ නම් අපි පාරක වාහනයක් රිවස් කරනවා නම් ළඟ හිටියොත් ගිහින් උදව් කරනවනේ, කොළඹ එහෙම කළාම අපිව ගණන් ගන්නෙ නෑ... අපේ වාහනේට ඉස්සර කරන්න වාහනයක් ආපුවාම අයින්වෙලා ඉඩදුන්නම අපි පෙන්නන මනුස්සකම හෙන අඩුපාඩුවක් විදියට මේ සිස්ටම් එක ඇතුළේ ඉන්න මිනිස්සු දකින්නෙ... ඒක කොළඹ නගරයේ තියෙන අවුලක් නෙමේ. මේ සිස්ටම් එකේ තියෙන අවුලක්. සද්ද නැතුව මගේ පාඩුවේ හිටියම ඔන්න මිනිස්සු කියන්න පටන්ගන්නවා අම්මට හුඩු ඉසුරුගෙ දැන් ලොකු සීන්, මූ හෙණ ආඩම්බරවෙලා කියලා. දැන් මම මිනිස්සු එකක් හිනාවෙන්නෙ නැති මිනිහෙක් වෙලා... ඇත්තටම එහෙම වෙලා නෙමේ... එහෙම හැසිරෙන්න මේ සමාජය මාව පොළඹවලා... පී.කේ.ට වෙච්ච දේම තමයි මට වෙලා තියෙන්නෙ... ඉතින් මේ චිත්‍රපටයේ ඉන්න ආසම චරිතය පී.කේ. තමා.. සමස්තයක් විදියට අනිත් චරිතවලටත් මම ගොඩක් කැමතියි..

ඉසුරුට පී.කේ චිත්‍රපටයේ ඉන්න කැපී පෙනෙන චරිත ඇත්ත ජීවිතයේදී හම්බවෙලා තියෙනවාද..?

මේ චිත්‍රපටයේ ඉන්න හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සු ඕනතරම් මට හම්බවෙලා තියෙනවා... වැඩිය ඕනෙ නෑ... අපේ රට පාලනය කරන දේශපාලනඥයෝ ටිකම ගන්නකො... කොච්චර බොරු කියනවාද? ඒ අය බොරුවෙන්මනෙ ජීවත්වෙන්නෙ.. ගමේ ගොඩේ නගරයේ ඉන්න අහිංසක අම්මලා තාත්තලා ඒ බොරුවලට අහුවෙලා කොච්චර දුක්විඳනවාද... මම ළඟදි ගියා ඕමානය කියන රටට... ඒක ඇත්තටම කාන්තාරයක්... වතුර බිංදුවක් නෑ. ඒ වුණාට ඒ රට හරිම දියුණුයි... අපේ රට බලන්නකො... වැටකට හිටවන ඉන්නත් දලුදානවනේ... අපි කාලා විසිකරන ඉඳුල්වල තියෙන ඇට පැලවෙන මහ පොළවක්නෙ මේක... මේක හදාගන්න බෑ කියන්නෙ.. හරිම අවාසනාවක් මේක... වෙසක්, පොසොන් පෝයදා ජීවිතය විඳින්න බඩු අදින්න තියෙන ලෑන්ඩ්මාස්ටරේ ඉටිකොළ දාගෙන වැස්සට කුඩ ඉහළගෙන තෙමි තෙමී ඇවිල්ලා බලුප් බලලා සතුටුවෙන අහිංසක මිනිස්සුනෙ ඉන්නෙ... ඇයි මේ අසරණ මිනිස්සුන්ව රවට්ටන්නෙ...?

මේ නිර්මාණය ඔබට හම්බෙන්නෙ කොහොමද කීවරක් ඔබ මේ නිර්මාණය බැලුවද?

මෙහෙමයි මම චිත්‍රපට ගැන ගොඩක් හොයනවා.. මොකද අපිට රංගනය හදාරන්න විශේෂ තැනක් නෑ... එහෙම හොයනකොට හම්බවෙච්ච චිත්‍රපටයක් තමා මේක... තවත් දෙයක් තමා අමීර් ඛාන්ගෙන පට්ටම රසිකයෙක්නෙ. එයා ඉන්න චිත්‍රපට මම කොහොමත් බලනවා... මම මේක චිත්‍රපට ශාලාවලට ගිහිල්ලත් බැලුවා... ගෙදරට ගෙනල්ලත් බැලුවා.. දහවතාවකට වැඩිය මේක මම බලලා ඇති...

හරි ඉසුරු... මේ චිත්‍රපටය අවසානයේ ඔයාට මොනවගේ දෙයක්ද හිතට ආවේ..

මුකුත්ම නැතුව පියෝ මිනිහෙක් පෘතුවියට එනවනේ... ඌ හරි අවංකයිනෙ... උගෙ ලෝකෙට යන්න තියෙන යතුරත් මෙහෙ එවුන් හොරකම් කරනවා. කොහොම හරි ඔහු ඒ යතුර හොයාගෙන එයාගේ ලෝකයට යන්න හදන වෙලාවේ පී.කේ. පෘතුවියෙන් අරන් යන්න හදන්නෙ කැසට් රේකෝඩරයක් විතරයි. අනුෂ්කා ශර්මා අහනවා මොකක්ද ඔයා මේ අරන් යන්නෙ කියලා.. පී.කේ. කියනවා මම මේ කුරුල්ලන්ගෙ සද්ද රෙකෝඩ් කරගෙන අහන්න මේක අරන් යනවා කියලා. ඇත්තටම පී.කේ. ගෙනියන්නෙ අනුෂ්කගේ වොයිස් එක... පී.කේ.ත් බොරුවට පුරුදුවෙනවා. මේ චිත්‍රපටය පුරාම පී.කේ. බොරු කියන්නෙම නෑ. කොච්චර අවංක මිනිහෙක් වුණත් මේ සිස්ටම් එකට වැටුණම ඉවරෙටම ඉවරයි.

මේ වගේ චිත්‍රපට තුළින් අපේ සමාජයට මොනවගේ දෙයක්ද ගන්න පුළුවන්...?

ගන්න නම් ගොඩක් දේවල් තියෙනවා... අපි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්නෙ... අපේ මුතුන් මිත්තො විශ්මිත දේවල් කළානෙ... අපේ වාරි තාක්ෂණය කොච්ච දියුණුද කියලා යෝධ ඇළෙන්ම කියන්න පුළුවන්. අහසේ ගෑවෙන්නෙ වෙහෙර විහාර හදපු ජාතියක් තමා අපි... සාගර වගේ වැව් හදපු මිනිස්සු හිටපු රටක් මේක... අද වෙනකොට ඇල්පෙනිත්තක්වත් හදාගන්න බැරිවෙලා තියෙනවා... ඉස්සෙල්ලාම අපි මේ බොරුව අත අරින්න ඕනෙ.. මොකද අපි ලොකු තරගයකට වැටිලා... එකෙක්ට එකෙක් නෑ... අපේ දේවල් ඔක්කොම අමතක කරලා.. අපේ රටට අවේනික වෙච්ච ක්‍රමයක් තිබ්බනේ... අපි පිටරටින් එන හැමදේම බදාගන්න ගිහින් තමා මෙහෙම වුණේ... දක්ෂ ළමයි ඉන්නව වඩුවැඩවලට... ඒත් උන්ව අරන් ගිහින් අයි.ටී. උගන්වනවා... වැඩිහිටියන්ට කරගන්න බැරිවෙච්ච දේ ළමයින් හරහා කරවගන්න උත්සාහ කරනවා. ඒක වැරදියි.. අපි වෙන කවුරුත් වෙන්න ඕනෙ නෑ.... අපි අපියි වෙන්න ඕනෙ.

මම - මම සහ මම.... ඒක සමීකරණයක්.... තනියෙන් විසඳලා බලන්න ලැබෙන උත්තරය....



ධනුෂ්ක

gossip lanka