මම රංගනයට තිත තියල නැහැ - ඉන්දිකා උපමාලි

අටුවා ටීකාවලින් හඳුන්වා දෙන්න තරම් ඔබ නොදන්නා චරිතයක් නම් ‍නෙවෙයි ඇය. ඒ තරමටම ඉන්දිකා උපමාලි කියන නම හුරු පුරුදුයි. පෙර වසරවලදී සේම මේ වසරෙත් ඇය සම්මානයට පාත්‍ර වුණා. ඒ එක සම්මානයකින් නම් ‍නෙවෙයි. සම්මාන ත්‍රිත්වයකින්. ඉතින් සිය හඬට ලැබුණු ඒ ඇගැයීම් ගැනත් වර්තමාන කලාව ගැනත් ඇය කතා කළේ මෙහෙමයි…

මේ දවස්වල කාර්යබහුලවද ගතවෙන්නේ?

ඇත්තටම ඔව්. වැඩ රාජකාරි කීපයක්ම එක්ක අතිශය කාර්යබහුලවයි මේ දවස් ගතවෙන්නේ.

මොනවද ඒ තරමටම තියෙන වැඩ ?
මම ගායිකාවක් හැටියට අලුතින් ගීත කිහිපයක් නිර්මාණය කළා. ඒ වගේම මම ආචාර්යවරියක්. ඉතින් මට පාසල්වල දේශන සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් එක්කම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුත් සිද්ධ වෙනවා සහ මම මගේ ක්ලාස්වල දරුවෝ එක්කත් එකතුවෙලා නිර්මාණ කාර්යයේ නියැළෙනවා. ඊට අමතරව ඉතින් සුපුරුදු ප්‍රසංග සඳහාත් ආරාධනා ලැබෙනවා.

මේ වසර සම්මානනීය වසරක් වුණා නේද ඔබට?
මේ වසර විතරක් ‍නෙවෙයි ගිය වසරත් මට සම්මානනීය වසරක්. මේ වසරේ සුමති, සිග්නස්, රයිගම් කියන සම්මාන රාත්‍රීන් ත්‍රිත්වයෙහිම සී රජ ටෙලි නාට්‍යයේ මගේ ගීත දෙකක් සම්මානයට පාත්‍ර වුණා.

සම්මානයක් ඔබට කොයි තරම් නම් වැදගත්ද?
මට විතරක් ‍නෙවෙයි සම්මානයක් කියන්නෙම කලාකරුවෙක්ගේ ඉදිරි ගමනට ලොකු හයියක්. ඒ වගේම වචන කළ නොහැකි ආකාරයේ සතුටක් තමයි සම්මානයක් ලැබිම තුළ තියෙන්නේ. ඒත් එක්කම තිබුණට වඩා වැඩි වගකීම් කොටසකුත් එකතු කරන්න සම්මානයක් සමත් වෙනවා.

මොනවද කෙරෙන අලුත් නිර්මාණ?
පසුගිය කා‍ලේ අශෝක හඳගම සහ චිත්‍රාල් සෝමපාල යන පිරිස එක්ක පැරණි ග්‍රීක පුරාවෘත්තයක් මුල් කරගත් ගීතයක් නිර්මාණය කළා. ඒක විරහා ගීයක්. රත්න ශ්‍රී මහතා සහ රෝහණ වීරසිංහත් සමග ‘පුතුනි මේ නැළවිල්ල නුඹටයි’ නමින් සමස්ත දරුවන් උදෙසාම නිර්මාණයක් කළා. ඒ වගේම මහින්ද බණ්ඩාරයන්ගේ සංගීතයෙන් ‘මං මලක්’ නමින් කාන්තා සිත දිහා බලන, කාන්තාව දිහා බලන හරි අපූරු ගීයක් නිර්මාණය වුණා.

ඔබ නිර්මාණ කරන්නේ කා සඳහාද?
මම ගායිකාවක්, විශ්වවිද්‍යාල දේශකවරියක්, විටෙක පාසල්වලට ගියාම මම ගුරුවරියක්. ඒ වගේම මම රංගන ශිල්පිනියක්, පෞද්ගලික ජීවිතේ මම මවක්, බිරිඳක් සහ යෙහෙළියක්. ඉතින් මේ භූමිකා මත සිට මම නිර්මාණකරණයේ නියැළෙනවා. එහෙම නැතුව සුවිශේෂී ඉලක්කගත පිරිසක් උදෙසා නිර්මාණ කාර්යය සිදු වෙන්නේ නැහැ.

රංගනයට තිත තියලා එහෙම නෑ නේද?
අපි ගොඩක් දුරට හිතන්නේ කලාව තියෙන්නේ රූපවාහිනිය ඇතුළේ කියලා. නමුත් මම නම් දකින්නේ කලාව නැත්තෙම රූපවාහිනිය ඇතුළේ. ඉතින් මම හිතන සහ මිනිස්සු මගෙන් බලා‍පොරොත්තු වෙන රංගනයක් තියෙනවා. ඒ විදිහට ගැළපෙන චරිතයක් ලැබුණොත් තමයි මම භාර ගන්නේ. මට සුදුසු අවස්ථා හා චරිත නිර්මාණය වනතුරු බලන් ඉන්න එක රංගනයට තිත තැබිමක් නම් ‍නෙවෙයි.

ගායන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ප්‍රමාණවත්ද?
කාන්තා හෝ පිරිමි නියෝජනය ප්‍රමාණවත්ද කියලා දැකගන්න හෝ මැන ගන්න අපිට ඇත්තටම විදිහක් නෑ අද. මොකද බොහෝ පිරිස් එනවා. ඒකාකාරී රටවක් තුළ කොටුවෙලා නිර්මාණ කරනවා. අන්තිමට පැවැත්මක් නැතුව යන්න යනවා. මේ හේතුව නිසාම තවමත් අපිට 70-80 දශකය තමයි කලාවේ විශිෂ්ටම අවධිය කියන මතයෙන් මිදෙන්න බැරිවෙලා තියෙනවා. මොකද මේ කලාවේ ඒ යුගයට පස්සේ එහෙම ඉදිරියට ඒමක් සිද්ධවෙලා නැති නිසා.

දැන් දැන් මේ ඇහෙන සින්දු ගැන ඔබට යමක් කියන්න කීවොත් මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ?
මේක වරදක් හෝ අඩුපාඩුවක් හැටියට පේනවා නම් ඒ වරද, අඩුපාඩුව එක පාරටම වෙච්ච දෙයක් නම් ‍නෙවෙයි. ක්‍රමයෙන් වුණු කඩාවැටීමක් තමයි අද මේ සරල ගීයේ අභාවයට හේතුවෙලා තියෙන්නේ. හොඳ නිර්මාණත් සිද්ධ වෙනවා. නමුත් බොහෝමයක් අවර ගණයේ තේරුමක් නැති නිර්මාණ බවට පත්වෙලා තියෙනවා අවාසනාවකට.

ඔබ කලාව තුළ තෘප්තිමත් කලාකාරිනියක්ද?
අනිවාර්යයෙන්ම කලාව තුළ මම තෘප්තිමත්. මොකද මගේ මාධ්‍ය තමයි කලාව. එතැනදි මට කලාව තුළින් තෘප්තියක් නොලබා පැවැත්මක් හදාගන්න අමාරුයි.

ආචාර්යවරියක් හැටියට ඔබ දකින දරුවන්ගේ රසඥතාව ගැන මොනවද කියන්න තියෙන්නේ?
දරුවෝ පව් කියලා තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. මේක දරුවන්ට ලැබෙන දේ පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. මොකද දරුවෝ යමක් හොයාගෙන ගිහින් වැලඳ ගන්නවා ‍නෙවෙයිනේ. ඔවුන් ළංකර ගන්නේ ඔවුන්ට අහන්න දකින්න තියෙන දේ. එතැනදි සමාජීය වගකීම ගැනත් හිතලා දරුවෝ ගැනත් නිර්මාණ වෙනවා නම් ඔවුන්ගේ රසඥතාව ඉහළ මට්ටමකට ගෙන එන්න පුළුවන්.

කලාවත් එක්ක ගවෛන ඔබේ සොඳුරු කැදැල්ල ගැනත් කතා කරමු?
දැන් අපේ පුතාට අවුරුදු තුනයි. එයා දැන් පෙර පාසල් යනවා. ඉතින් නිවස තුළ පුළුවන් තරම් උපරිම නිදහස දීලා අපි එයාව බලාගන්නේ. කලාවත් එක්ක ගවෛන ජීවිතේ හැරුණාම එයා ළඟ තමයි අපේ ජීවිතේ තියෙන්නේ.

පුතා ඔබේ හඬ ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඇහෙනකොට හඳුනනවාද?
මම මොන විදිහට ගායනා කළත් පුතා මාව හොඳින් හඳුන ගන්නවා. ඒකට හේතුව මම එයාට ඕන වෙලාවට එයා ළඟින්ම හිටපු එක වෙන්න ඇති. දැන් වෙලා තියෙන්නේ අපිට වෙලාවක් තියෙන විදිහටනේ අපි දරුවෝ ළඟට යන්නේ. එහෙම ‍නෙවෙයි. එයාට ඕන වෙලාවටයි අපි එයා ළඟ ඉන්න ඕන. එතකොට දරුවෝ දෙමාපියන්ට හොඳින් සමීප වෙනවා. ඒ වගේම මම ආඩම්බරයෙන් කියන්නෙ අපේ පුතාට මව් භාෂාව ඒ කියන්නේ සිංහල හොඳටම පුළුවන් මේ ‍පොඩි වයසට.

ඉදිරි ජීවිතේ ගැනත් යම් සැලසුමක් ඇති නේද?
මම හීන දැක්කේ පූර්ණකාලීන ගායිකාවක් වෙන්න. නමුත් මගේ හිස මතට වගකීම් රැසක් එක්කම ලැබුණු දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ගායිකාව කියන භූමිකාව වගේම ඒ භූමිකාව කියන්නේ මගේ යුතුකම්. ඒ නිසාම මේ හැම දෙයක්ම කළා වගේම තවත් හොඳින් ඉදිරියටත් පවත්වාගෙන යමින් අලුත් අලුත් නිර්මාණ සමාජයට දායාද කිරීම මගේ ඉදිරි ජීවිතේ සැලසුම සහ බලා‍පොරොත්තුවයි.

නඳුනි ආරියවංශ



gossip lanka