"එයාගේ අත මගේ ඇගේත් වැදුණා, මම සෙරෙප්පුව ගත්ත ගමන් ඒ කොල්ලගෙ පපුවට ගැහුවා පාර හිටින්න.." - හයිසින්ත් විජේරත්න

හයිසින්ත් විජේරත්න කියන චරිතය දැන් දකින්න ලැබෙන්නෙම පුංචි තිරයේ නපුරු අම්මා කෙනෙක් විදිහට. නැති  නම් නපුරු ආච්චි කෙනෙක් හැටිය. ඒ වගේම වලව්වේ හාමිනේ වෙන්නත් ඇයට නිතරම අවස්ථාව ලැබෙනවා. විවිධ චරිත එක්ක දකින්න ලැබෙන හයසින්ත් ඇය ගැන මෙහෙම කියනවා.

ගැටිස්සි කාලෙ...

මම කතෝලික ආගමේ. ආගමට තිබුණෙ පුදුම ලැදියාවක්. දවස ගානෙ පල්ලියේ පූජාවට සහභාගි වෙන එක මගේ දින චරියාවෙ අංගයක්. බැරි වෙලාවත් මම පූජාවට සහභාගි නොවුණොත් එදාට ෆාදර් අනිවාර්යයෙන්ම ගෙදරට ඇවිල්ල අම්මගෙන් තාත්තගෙන් අහනව මට අසනීපයක්ද කියල. ඒ තරමට මම ආගමට ලැදිව කටයුතු කළා.

පාසල් ජීවිතේ...
හෝඩියේ පංතියේ ඉඳල අවසානය දක්වා ඉගෙන ගත්තෙ මෝදර මේරි මාග්‍රට් ඉංග්‍රීසි විද්‍යාලයෙන්. දැන් ඒ නම වෙනස් වෙලා. ශාන්ත අන්තෝනි බාලිකා පාසල වෙලා. ආගම සහ ගණිතය කියන විෂයන්ට වැඩිපුර ලකුණු ගත්තා. හැම විෂයක්ම දක්‍ෂ ලෙස කළා. හොඳ නෙට්බෝල් ක්‍රීඩිකාවක්. ඉස්කෝලෙ යන කාලෙ කොණ්ඩෙ කොටට කපල හිටියෙ පිරිමි ළමයෙක් වගේ. ඒ නිසා ඕනම කොන්සර්ට් එකක පිරිමි චරිත රඟපාන්න ටීචර්ස්ල මාව ගන්නවා. ඒගැන මම හිටියෙ හරිම තරහෙන්. අනික මම රඟපාන්න හරිම අකැමැතියි.

ඇසුරු කරපු යෙහෙළියෝ...
බර්තා” ලූසිඩා” චින්තා” වසන්ති” මානෙල් ඒකනායක” ක්‍රිස්ටීන් ගුණවර්ධන තමයි ගොඩක් ළඟින් ආශ්‍රය කරන්න ලැබුණේ. ඒ වුණාට ගොඩක් යාළුවො හිටියා මට. අදටත් අපි නිතර නිතර කෝල් කරල හරි දුකසැප බෙදා ගන්නවා.

කල්ලි ගැහුණ තැන්...
ඉස්කෝලෙම තමයි අපි කල්ලි ගැහෙන්නෙ. වොෂ්රූම් තිබුණ පැත්තෙ ලොකු කොරිඩෝ එකක් තිබුණා. ඒ පැත්තට වැඩිය ළමයි ටීචර්ස්ල එන්නෙ නෑ. ඉතින් අපි එකතුවෙලා වේලාසනින්ම ඉස්කෝලෙ ගාවට එන ආච්චිලාගෙන් අඹ” දිවුල්” වෙරළු” අච්චාරු වගේ දේවල් අරන් හංගගෙන ඉඳල එතැනට ගිහින් ඒව කකා අපේ දේවල් කතාබහ කර ගන්නව මෙලෝ සිහියක් නැතුව. අවේලාවෙ එහෙම කතාකර කර ඉඳල මදර් ප්‍රිින්සිපල්ගෙන් ගුටි කාලත් තියෙනවා.

කරපු දඟවැඩ...
ඉස්කෝලෙ ඇරෙන කොට තියෙන අන්තිම යාඥාවට ඉස්සෙල්ල අනිවාර්යයෙන් පංතියෙන් එළියට පනින එක අපි කට්ටිය පුරුද්දක් කරගෙන හිටියා. එහෙම කලබලෙන් දුවන්නෙත් කඩචෝරු කන්න. ඔය වැරැද්ද නිසා අපිව පැය ගණන් දණගස්සලා තියෙනවා. පාසලට අල්ලපු වත්තෙ පාළු ඉඩමක කුරු වරක ගහක් තිබුණා. ඒකෙ මුල ඉඳල ගෙඩි. ඉදුණම අපේ පංතියට සුවඳ එනවා. මම හොරෙන් එළියට පැනල ගෙඩි කඩල දෙනවා. යාළුවො පංතියට ගෙනත් සුද්ද කරනවා. ඒකාලෙ අපි කොහොල්ල අරින්න පොල්තෙල් පවා ගෙනත් තියාගෙන ඉන්නවා. ටීචර්ස්ල පංතියට ආපු ගමන් වරක සුවඳයි කියනවා. ඉතින් අපි කියනවා එහා පැත්තෙ ගහක් තියෙනවනෙ කියල. ඒවැඬේ නම් අහු වෙන්නෙ නැතුව කළා.

කරපු හොඳ වැඩ...
අපේ ගෙදර කිරි එළදෙනක් හිටියා. ඉතින් උදේට අනිවාර්යයෙන් ලොකු කිරි වීදුරුවක් දෙනවා. අපි හරි අකැමැතියි. බීලම අප්පිරියා වෙලයි හිටියෙ. මම ගෙවල් ළඟ මගේ යාළුවෙකුව ගෙන්නගෙන ඒකෙන් තුන්කාලක්ම එයාට බොන්න දෙනවා. අනේ එයා හරි කැමැත්තෙන් බීල අපිත් එක්කම ඉස්කෝල යනවා. පුංචි කාලෙ ඉඳල කාට හරි කන්න බොන්න දෙන්න මම හරි කැමතියි. තාත්ත දෙන සල්ලි ඉතුරු කරගෙන ඉඳල යාළුවන්ට බිස්කට්” කිරි පැකට්” චොකලට් අරන් දෙනවා. සමහරු මම එනකන් බලන් ඉන්නවා පැණිරස කන්න.

පටබැඳුණු නම්...
යාළුවො අතරෙ කිසිම නමක් පටබැඳිල තිබුණෙ නෑ. අම්මයි තාත්තයි ආදරේට මට ගෙදරදි කතාකළේ සුද්දි කියල. යාළුවො ගෙදරට ආවම ඒඅය ඉස්සරහත් සුද්දි කියල කතා කරනවා. යාළුවො ඕක අල්ලගෙන ගිහින් මට සුද්දි කියල ඉස්කෝලෙදි කිව්වා. එයාල එහෙම කතා කළාම නම් මට කේන්ති යනවා.

අහපු කයි කතන්දර...
අම්මගෙන්ම තමයි ඒ කාලෙ මම වැඩිපුර කතන්දර අහන්නෙ. ගෙදරින්ම දඟ මම කියල මට නිතරම බණිනවා. කොල්ලෙක් වගේ හැදෙන්නෙ කියල.

පිරිමි ළමයින්ගෙ ආශ්‍රය...
ආශ්‍රය කරන්න තියා කොල්ලො මම ඉන්න අහලකට එන්නෙ නෑ. ඇත්තටම ඒ කාලෙ පිරිමි ළමයි මට බයයි. ඒකට හේතුවක් තියෙනවා. මගේ ගෙවල් ළඟම ඉඳල මාත් එක්ක හැමතැනම ආවගිය මගේ යාළුවගෙ කරට දවසක් එක පිරිමි ළමයෙක් අතක් දැම්මා. එයාගෙ අත මගේ ඇගේත්  වැදුණා. ඒක ඉතින් ඕන නැති වැඩක්නෙ. මම සෙරෙප්පුව ගත්ත ගමන් ඒ කොල්ලගෙ පපුවට ගැහුවා පාර හිටින්න. ඉතින් පිරිමි ළමයි මා එක්ක හරි තරහයි.

කරපු විලාසිතා...
එකම විලාසිතාවක් තමයි මම තරුණ කාලෙ අනුගමනය කළේ. මොනපාට ගවුමක් ඇන්දත් මට ඒ පාටින් අඟල් හතරක් පහක් පළල බෙල්ට් එකක් ඕන ඉණට දාන්න. ඒ වගේම ඒ පාටින්ම බැලරිනාස් සපත්තු දෙකක් ඕන. දැන්නම් ඒවට කියන්නෙ කෝඞ් ෂූෂ් කියලා.

තිබුණ බලාපොරොත්තු...
මගේ හිතේ ඒ වෙද්දි තිබුණ ලොකුම බලාපොරොත්තුව තමයි නර්ස් කෙනෙක් වෙනව කියන එක. ඒත් ඒ කාලෙ ගෑනු ළමයින්ට රස්සාවල් ඕන නෑ කියල තාත්තල හිතපු නිසා මට නර්ස් කෙනෙක් වෙන්න බැරිවුණා.

දුක හිතුණ අවස්ථා...
අපේ තාත්තගෙ ඉඩමක් තිබුණා කලාඔය කිට්ටුව. අපි ෆැමිලි ටි‍්‍රප් එකක් ගියා එහේ. ඒ ගිය වෙලාවක කලාඔයේ නාද්දි අපි ඔක්කොම ගිලූණා. ඒත් අපිව බේරගත්ත. අනේ මගේ ශිරානි නංගිව එදා බේරගන්න බැරිවුණා. ඒ වෙද්දි එයාගෙ වයස අවුරුදු 11 යි. එදා තරම් මම දුක්වෙලා නැහැ කවදාවත්.

සැබෑ නොවුණ හීන...
ආගමට තිබුණ බැඳීම නිසාම මම කවදහරි කන්‍යා සොහොයුරියක් වෙලා ආගමික කටයුතු අතරෙ ජීවිතය ගෙවනව කියල හිතාගෙන හිටියා. මගේ ඒ හීනය සැබෑ කරගන්න මට අම්මගෙ තාත්තගෙ අවසරය ලැබුණෙ නෑ.

අමතක නොවන සිදුවීම්...
මාව අම්ම කෙනෙක් කරල මගේ එකම පුතා මේ ලෝකෙ එළිය දැකපු එක තමයි අමතක කරන්නම බැරි සිදුවීම.


ධම්මික හේවාවසම්


gossip lanka