අපි දෙන්නාට තනි තනිව මේ ගමන යන්න බැහැ - ලකා - සිකා

දුමින්ද ශ්‍රී කාන්ත (සිකා)

මෙරට කලා කේෂ්ත්‍රයට අන්තර්ජාලය ඔස්සේ ප්‍රහසන වැඩසටහන් රැසක් නැවුම් ලෙස දායාද කරමින් රසික සිත් සතන් දිනාගත් ජනයි-ප්‍රියයි සහ සමරේ-සමරේ හඳුන්වාදුන් අපි මෙවර එවැනිම දෙදෙනෙකු හඳුන්වාදීමට තීරණය කළෙමු. ‘ලකා සහ සිකා‘ ලෙස පෙනී සිටිමින් මේ වන විට විවිධ ප්‍රහසන වැඩසටහන් රැසක් කර ඇති මොවුහු යූ ටියුබ්, සමාජ ජාල වෙබ්
අඩවි වලින් පමණක් නොව වෙළෙඳ දැන්වීම්, ගුවන්විදුලි හා රූපවාහිනි වැඩසටහන් තුළින් රසික සිත් දිනාගන්නට සමත්ව සිටිති.

කවුරුද මේ ලකා, කවුරුද මේ සිකා? 
හැමෝම කතා බහ කරන ඒ අපූරු සුන්දර ශිල්පීන් දෙදෙනා පසුගියදා අපේ ආයතනය ගොඩවැදුණා. සුන්දර සිනහවෙන් හා ළෙන්ගතු කතා බහෙන් එක්වුණ ‘ලකා‘ ගේ සැබෑ නම තමයි ලක්මාල් වීරසිරි. ලක්මාල් කියන්නේ ටිකක් මහත සුදු කොණ්ඩේ කැරලි ගැහිච්ච තරුණයා. ‘සිකා‘ කියන්නේ දුමින්ද ශ්‍රී කාන්ත. තරමක කෙට්ටු ශරීරයක් හිමි කොණ්ඩේ ගැටගහලා ඉන්න තරුණයා. මේ දෙන්නම ළඟින් වාඩිකරගෙන මම ලකා එක්ක මුල්ම කතා බහ පටන් ගත්තා.

මේ දෙන්නාගේ නම්වලින් ඒ කියන්නේ ලක්මාල් ‘ලකා‘ වගේම ශ්‍රීකාන්ත ‘සිකා‘ වෙලා තමයි ‘ලකා - සිකා‘ වෙලා තිබෙන්නේ. ලකා කතාව පටන් ගත්තා.

‘‘මම ඉපදුණේ හම්බන්තොට. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා තමයි කොළඹට ආවේ. ඒ ඇවිත් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරන්න ගත්තා. දැන්නම් පදිංචිය කඩවත. පාසල් කාලේ ඉඳලා කලාවට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසාම නාට්‍ය, සාහිත්‍ය සංගම්වල බැහැල වැඩ කළා.‘‘

ඒ කියන්නේ වෘත්තියක් විදියට කලාව හදාරල නැද්ද? ඒ ප්‍රශ්නය සිතට ආවේ ක්ෂණිකවමයි.

‘‘එහෙම විශේෂ හැදෑරීමක් කරලා නැහැ. එහෙත් වෘත්තියක් විදියට ගුවන්විදුලියේ වැඩ කරන්න ගත්තම එහි අද්දැකීම් කලාවේ ගමනක් යන්න හොඳ අවස්ථාවක් උදා වුණා.‘‘

ලකා එක්ක එහෙම කතා කරද්දී ඊට ඇහුම්කම් දිදී හිටපු සිකාත් කතා බහට එක්වුණා.

‘‘මගේ ගම නුවර මාවිල්මඩ. පාසල් ගියේ මාවිල්මඩ මහා විද්‍යාලයට. හැබැයි මහා පරිමාණයෙන් කලා කටයුතුවල මට නිරත වෙන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. ඒකට හේතුව මගේ පාසල කුඩා පාසලක් වුණ නිසා. පාසලෙන් ඉවත් වුණාට පස්සේ රූපවාහිනී හා ගුවන්විදුලි කලාව ගැන ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතරතුර ගුවන්විදුලි ආයතන කිහිපයක වැඩ කරමින් ඉඳලා, ඒවායින් ඉවත්වෙලා සිනමාව හා වේදිකා රංගනය ගැන පාඨමාලාවක් හදෑරුවා.‘‘

පළාත් දෙකකින් කොළඹට ආව මේ තරුණයෝ දෙන්නා ලකා සහ සිකා විදියට ගමනක් ආරම්භ කළේ කොහොමද කියන ප්‍රශ්නය ඊ ළඟට සිතට ආවා.

‘‘මම ගුවන්විදුලියෙන් ඉවත් වෙලා නිදහස් ශිල්පියෙක් විදියට වැඩ කරන්න පටන් ගත්තා. එහෙම ඉද්දි දවසක් සිරස Y fm එකේ නාට්‍යයක හඬකවන්න අවස්ථාව ලැබිලා ඊට සහභාගි වුණා. එතනදි තමයි මට ලකාව මුලින්ම මුණ ගැසුණේ.‘‘

සිකා එහෙම කියල ලකා දිහාවට හැරුණා. ‘‘මට සිකා මුණගැසුණෙත් එතැනදීමයි‘‘

ලකාත් ඒ කතා බහ තහවුරු කළා.

‘‘මේ වැඩ අතරේ අපේ වෙළෙඳ දැන්වීම් ආයතනයක් කරගෙන ගියා. විශේෂයෙන් අපි එහිදී කළේ රූපවාහිනිවලට වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීමයි. මේවායේ සාර්ථකත්වය මත තමයි අපි දෙන්න තීරණය කළේ යම් පණිවිඩයක් දිය හැකි වගේම ප්‍රහසනාත්මක දෙයක් කරමු කියලා. ඒ අනුව පුංචි වීඩියෝ හතරක් කරලා You Tube (යූ ටියුබ්) එකට දැම්මා. අපි නොහිතපු විදියට ප්‍රතිචාර එන්න ගත්තා. අවසානේ අපි තීරණය කළා මෙය වැඩක් විදියටම කරගෙන යන්න. මෙහි පිටපත් සකස් කරන්නේ ලකා. මොකද එයාට ඒ ගැන හොඳ හැකියාවක් තිබෙනවා.“

මේ දෙන්නා කොයි කතාබහකදීවත් එකි'නෙකා පරයා යන්න උත්සහ කළේ නැහැ. හැම මොහොතේම එක්කෙනෙක් අනෙක් කෙනා ගැන කතා කළේ මිත්‍රත්වයට එහා ගිය සහෝදරත්වයෙන් වගේම ළෙන්ගතුකමෙන්.

පසුගිය කාලයේ අපි දැක්කා මෙලෙස ප්‍රහසන වැඩසටහන් කරන නිවේදක යුගල. ඒ කියන්නේ මෙයත් තව අනුකරණයක් වගේ කියලයි සිතෙන්නේ. මේ ප්‍රශ්නය අප ලකාගෙනුයි සිකාගෙනුයි ඇසිය යුතුමයි.

‘‘මෙවැනි දේ පටන් ගත් මුල්ම රට අපේ රටේ නෙවෙයි. විදෙස් රටවල ඕන තරම් මෙවැනි දේවල් තිබෙනවා. අපේ රටෙත් මේ වගේ වුණ චූටි මල්ලි- පොඩි මල්ලි, ජනා-ප්‍රියා සහ තව තවත් අය ඉන්නවා. හැබැයි කවුරුත් වෙනස් දේවල් කරන අය මිසක් කිසිම වෙලාවක අනිත් කෙනා කරන දේවල් කරන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ නැහැ මෙතැනදී කිසිම අනුකරණයක් සිදු වෙනවා කියලා.


 ලක්මාල් වීරසිරි (ලකා)

මෙවැනි වැඩසටහන් කරන සමහර අය කරන දෙපිට කැපෙන වචන සහිත දේවල් තිබෙනවා. ඒත් අපි කුණුහරුප, වෙනත් අරුතක් දෙන වචන, දේශපාලනය කිසි විටකදි කතා කරන්නේ නැහැ. මොකද අපි අපිටම ඒ සීමාවන් දාගෙන තමයි වැඩ කරන්නේ. මේ දෙයින් අපි බලාපොරොත්තුවන්නේ යම් පණිවිඩයක් වගේම යම් විනෝදයක් දීම. ඒ සඳහා කිසිම වෙලාවක පුද්ගල චරිතවලට හානි නම් කරන්නේම නැහැ.‘‘

ඒ කියන්නේ කිසිම විදිහක තර්ජන ගර්ජන හෝ බලපෑම් ඇවිත් නැතුව ඇති.

‘‘අපි එවැනි දේ කරන්නේ නැති නිසා කිසිම දවසක අපි දෙන්නගෙන් කාටවත් එවැනි ප්‍රශ්න ඇවිත් නැහැ.‘‘

දැන් ටිකක් ජනප්‍රිය නිසා ආඩම්බර ඇති. මම එහෙම කියලා ලකා දිහා බැලුවා.

‘‘මිනිස්සු නිසා නේ අද අපි මෙතෙන්ට ඇවිත් තිබෙන්නේ. තමන්ගේ ඩේටා කපාගෙන තමයි ඔවුන් අපි කරන දේවල් බලන්නේ. එහෙම මිනිස්සු කරද්දී ඇයි ආඩම්බර වෙන්නේ? අපි එක්ක කවුරු හරි කතා බහ කළොත් හිනා වුණොත් අපි කිසිම ආඩම්බරකමක් නැතුව ඒ දේට ප්‍රතිචාර දක්වනවා. අද අපි එක්ක වයස් භේදයකින් තොරව, ගැහැනු පිරිමි භේදයකින් තොරව ගොඩක් අය කතා කරනවා.‘‘

ලකා- සිකා දේශපාලනය කරන්නේ නැහැ කිව්වට මේ දිනවල සිරස රූපවාහිනියේ නම් පූර්ව ප්‍රචාරක පට වගයක් යනවා දේශපාලනඥයෝ එක්ක ගැවසෙන.

‘‘ඒ දේශපාලන වැඩසටහනක් නෙවෙයි. දේශපාලනඥයෝ ගෙනත් විවිධ ආහාර වර්ග උයන පිහන වැඩසටහනක්. ඒ වැඩසටහන යන අතර තුරේදී විවිධ විනෝදජනක දේ ගැන කතා කරනවා. කිසිම තැනක දේශපාලනය ගැන නම් කතා කරන්නේ නැහැ.‘‘

යම් හෙයකින් දේශපාලනය ගැන කතා කරන්න කියල යෝජනාවක් ආවොත් මොකද කරන්නේ?

‘‘එහෙම නම් අපි මේ වැඩසටහන බාරගන්නේ නැහැ.‘‘

කවද හරි තනිවම ගමනක් යන්න හිතුණොත් දෙන්නා වෙන්වෙයිද?. මට එහෙම අහල ඉවරවෙන්නත් කලින් ලකා කතාව පටන් ගත්තා.

‘‘මේ වැඩේ පටන් ගත්තේ ලකා සහ සිකා දෙන්න එක්ක. ඒ නිසා අපි දෙන්න නැතුව තනි තනිවම මේ ගමන යන්න බැහැ කියන දේ අපි දන්නවා. එහෙම යන්න ඕන වුණානම් මුලින්ම තනිවම මේ දේ ආරම්භ කරනවා.‘‘

මම සිකා දිහාටත් හැරිලා ඒ ප්‍රශ්නයම අහද්දි ඔහු කිව්වෙත් ලකා කිව්ව දේම තමයි කියලා අනුමත කළා.

එතකොට ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය.

‘‘ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මේ තරම් දුර ගමනක් යන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අපි හිතනවටත් වඩා ඉහළ සහයෝගයක් ඒ අයගෙන් ලැබෙනවා. විශේෂයෙන්ම ලකා ගැන කියන්න ඕනෑ“ කියලා සිකා යළි කතාව පටන් ගත්තා.

‘‘ලකා කියන්නේ හොඳ ගීත රචකයෙක්, පිටපත් රචකයෙක්. හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ඒ සියලු දේ කැටිකරගත් හොඳ නිර්මාණ රැසක් ඉදිරියේදී ලබාදෙන්නත් අපි සැලසුම් කරගෙන යනවා. මාව දැකලා තිබෙන්නේ ප්‍රහසන නළුවෙක් විදියට. ඒත් මගේ අනාගත බලාපොරොත්තුව තමයි චරිතාංග රංගන ශිල්පියෙක් වෙන එක.‘‘

මගේ අවසාන ප්‍රශ්නය වුණ ඔවුන් විවාහකද කියන ප්‍රශ්නයත් පාඨකයන් වෙනුවෙන් ඇසිය යුතුමයි.

ලකා ගත් කටටම කිව්වේ ‘විවාහකයි විවාහකයි‘ කියලා.

‘‘මගේ බිරිය ශාලිකා නදීෂාණි. ඇය තමයි අපේ වීඩියෝවල කාන්තා චරිතවලට පෙනී සිටින්නේ. ලොකු දුව සෙතිනි එවන්මා. ඇය 2016 වසරේ හොඳම ළමා නිළියට හිමි සම්මානය දිනාගත්තා. දෙවැනි දුව මෙතිනි සවින්මා.‘‘

සිකා ඒ අතරත් පුංචි විහිළුවක් කරන ගමන් ලකාගෙන් ඇහුවා ‘මචං මගේ බිරියගේ නම මොකක්ද?‘‘ කියලා. ලකා ඒකටත් උත්තර දුන්නා.

‘‘සිකාගේ බිරිඳගේ නම තාරිකා සඳමිණි. දියණිය තාවි නාද්‍යා, පුතා සකිනු රමිරෝ. අපේ නම් ගම් වැරැද්දුවට මේ නම් ගම් නම් වරද්දන්න එපා පුතෝ අපි ගෙවල්වල ගිහිල්ලත් ඉවරයි!“

එහෙම කියල හිනාවෙලා යළි හමුවෙන්න එනවා කියන බලාපොරොත්තුවත් දීලා ලකයි සිකයි සමුගත්තා.