"ඒ සම්බන්ධය අතරතුර කුඩු විකුණන ගෑනු කිහිපදෙනෙක් එක්ක සම්බන්ධකම් තිබුණා.." - ජපන් රස්සාවත් අතහැර මතින් හපන්කම් පෙන්වා පාරට වැටුණු තරුණයකුගේ කතාව

‘‘අපේ පවුලට හිටිය එකම පිරිමි දරුවා මමයි. අම්මයි, තාත්තයි පණටත් වඩා මට ආදරය කළා. රාජ්‍ය ආයතනයක ලිපිකරුවෙක් වෙච්ච අපේ තාත්තාට ලොකු ආදායමක් තිබුණේ නෑ. ඒත් අපිට කිසිම දේකින් අඩුවක් තිබ්බේ නෑ. මටයි, අක්කටයි හොඳට උගන්වන්න කියලා අම්මා ජොබ් එකකට ගියෙත් නෑ. අක්කා හොඳට ඉගෙනගෙන ජපානයට ගියා. දැන් අක්කා කසාද බැඳලා ලස්සනට ජීවත් වෙනවා. අපිටත් උදව් කරනවා. ඒත් මට සමාජයේ යහපත් පුද්ගලයෙක් වෙන්න බැරි වුණා. නවය වසර පන්තියේ ඉඳලා මම සිගරට් බොන්න ගත්තා. පන්ති
කට් කරලා යාළුවොත් එක්ක සිගරට් බිව්වා.

හිත දුමට ඇබ්බැහි වෙනකොට යාළුවො දෙන ඕනෑම මත්ද්‍රව්‍යයක් ගන්න දෙපාරක් හිතුවේ නෑ. මත් ටොෆි, චුයින්ගම් කෑවා. ඊට පස්සෙ මත් පෙති බොන්න පටන් ගත්තා. එතකොට අපේ ඉස්කෝලෙ මත් පෙති විකිණුවේ සිකියුරිටි අංකල්. එයා ළඟ ඕන මත්ද්‍රව්‍යයක් තිබුණා. සල්ලි පස්සෙ දෙන්නත් අංකල් අපිට බඩු දුන්නා. ඒකෙන් අංකල්ට හොඳ බිස්නස් එකක් තිබුණා. අපි මතට හුරු වුණා...’’

‘‘අපි තුන්හතර දෙනා පෙති කාඞ් පිටින් අරගෙන බීලා වාඩි වෙච්ච තැනිං නැඟිට ගන්න බැරිව ඉඳලා තියෙනවා. ඒත් අපි එක දිගට මත් පෙති ගන්න පෙළඹුණේ නෑ. සතියට දෙතුන් දවසක් තමයි පෙති බිව්වේ. සමහර කොල්ලො එක දිගට පෙති ගහලා පිස්සු නටලා ඉස්කෝලෙනුත් අයින් කළා. අපි ඒවා බලාගෙන සේප් එකේ කරගෙන ගියා. මත් නොවෙච්ච දවස්වලට ගෙදර ගහින් අක්කා එක්ක එකතු වෙලා පාඩම් කළා. සාමාන්‍ය පෙළ විභාගයත් හොඳට පාස් වුණා. උසස් පෙළ විභාගයත් පාස් වුණා. ඒත් කැම්පස් යන්න ලකුණු මදි වුණා. නැවත විභාගය කරන්න ගියේ නෑ. උසස් පෙළ විභාගය කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටිය කාලේ කොල්ලො එක්ක සෙට් වෙලා දවස ගානේ පාටි දැම්මා.

සිගරට්, අරක්කු, පෙති, ගංජා බීලා පිස්සු නැටුවා. විවිධ මත්ද්‍රව්‍යවල ෆීලින් එක ඇඟට හුරු වෙනකොට කුඩුත් බීලා බලන්න ඕනා කියලා මට පොඩි ආශාවක් ආවා. මම එක යාළුවකුට ඒ ගැන කිව්වා. එතකොට අපි කුඩු බොනවා දැකලා තියෙනවා. අපේ යාළුවකුගේ අයියා කෙනෙක් කුඩු පාවිච්චි කරනවා කියලත් දැනගෙන හිටියා. ඊට පස්සේ අපි ඒ යාළුවට කතා කරලා අයියා බොන්න ගෙනාපු කුඩු පැකට් එකක් ඉල්ලූවා. යාළුවා කුඩු පැකට් එකක් අරගෙන ආවා. අපි තුන්දෙනත් එක්ක පැකට් එකම බිව්වා. එදා කුඩු බිව්වා කියලා දවස ගානේ කුඩු බොන්න ගියේ නෑ. ආයෙමත් කුඩු චුට්ටක් බිව්වේ මාස හතකින් විතර. ඒ වතාවේ දවස ගානේ කුඩු බිව්වා. මැර උණත් සැරටම ඇඟට ඇවිත් තිබුණා. තවත් යාළුවකුගේ අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා පොඩි, පොඩි කොන්ත්‍රාත් වැඩ කළා. කප්පම් ගත්තා. කොල්ලො දම්මලා මාල කැඩෙව්වා. අතට පිස්තෝලය ගත්තට පස්සෙ අපිට වඩා තවත් එකෙක් හිටියේ නෑ. මිනිස්සුන්ට ගැහුවා, කැපුවා. පෙර පිනකට හිරේ විලංගුවේ වැටුණේ නෑ...’’

‘‘කුඩුවලට තදින්ම ඇබ්බැහිවීමත් එක්ක මැරකම්වලින් ඈත් වුණා. බඩට කෑමක් නැති වුණත් කුඩු නැතිව ඉන්න බැරි තත්ත්වයට පත් වුණා. පැය විසිහතරෙම කුඩු බිව්ව දවස් තියෙනවා. බොන්න, බොන්න තව ඇඟට ඉල්ලනවා. අරක්කු වගේ වෙරි වෙලා එපා වෙන්නෙත් නෑ. කුඩු කියන දේ කොච්චර බිව්වත් එපා වෙන්නේ නෑ. ඒ වගේම ඇල්කොහොල් වගේ බඬේ චණ්ඩි නෑ. කුඩු බිව්වට පස්සෙ සුරංගනා ලෝකවල පාවී පාවී ඉන්නවා. ගෙදර ගිහින් කෑම හෙව්වේ නෑ. අම්මා, තාත්තා එක්ක වැඩි කතා බහක් නෑ. කාමරයේ ඇඳට වෙලා සිවිලිම දිහා බලාගෙන හිටියා. මගේ වෙනසත් එක්ක මොනවහරි මත්ද්‍රව්‍යයක් ගන්න විත්තිය තාත්තටත් තේරිලා තිබුණා. ඒත් තාත්තා මට බැන්නෙ නෑ. සැර දැම්මේ නෑ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ආදීනව හොඳින් පැහැදිලි කර දීලා වැරැදි වැඩ කරන්න එපා කියලා කිව්වා. ඒත් තාත්තා දෙන අවවාද නොතේරෙන ගානට මගේ මනස මත් වෙලා තිබුණේ. මම දිගින්, දිගටම මතට ඇලූණා.

ගමේ මිනිස්සු මා ගැන එක, එක කතා කියනකොට අම්මයි, තාත්තායි අක්කට කතා කරලා මාව ජාපනයට ගන්න කියලා කිව්වා. එතකොට අක්කා ජපානයට ගිහින් අවුරුදු පහකට කිට්ටුයි. කොහොමහරි වලි කාලා අක්කා මාව ජපානයට ගත්තා. මම ජපානයට ගියේ හාඞ්වේයාර් අයිටම්ස් ගැන කොස් එකක් කරන විදිහට. ඒ කෝස් එකත් කරන අතරේ පේස්ටි‍්‍ර ෂොප්වල පාට් ටයිම් වැඩ කළා. මාසෙකට හොඳ ගාණක් හොයාගත්තා. සමහර මාසවල රුපියල් ලක්‍ෂ හතර හම්බ කළා. කුඩු සික් එකත් කැඩිලා හොඳට වැඩ කරගෙන ගියා. නිවාඩු දවස්වලට කොල්ලො එක්ක සෙට් වෙලා ගංජා අරක්කු බීලා ක්ලබ් එකකට බැහැලා ෆන් එකක් ගත්තා. ඒ හැරෙන්න දවස ගානේ කොල්ලො එක්ක සෙට් වුණේ නෑ. කුඩු ටිකක් ගන්න නම් අපි ඉන්න නගරයේ ඉඳලා කිලෝ මීටර් හාරසීයක් විතර යන්න ඕන වුණා. ජපානයේ හිටිය අවුරුදු එකහමාරටම මම තුන් වතාවයි කුඩු බීලා තියෙන්නෙ. කුඩුවලට තියෙන ආශාවටම කිලෝ මීටර් හාරසීයක් දුර ගිහින් බීලා ආවා. ඒත් අරගෙන ආවේ නෑ. ජපානේ කුඩුත් එක්ක පොලිසියට මාට්ටු වුණොත් ඇප නෑ...’’

‘‘ජපානයට ගිහින් අවුරුදු එකහමාරකින් නිවාඩුවට ලංකාවට ආවා. ඒ එනකොට ලක්‍ෂ විස්සක් විතර අරගෙන ආවා. පරණ යාළුවොත් එක්ක සෙට් වුණා. කුඩු, ගංජා, ඇල්කොහොල්වලින් නෑවා. හොඳ හැටි ආතල් ගත්තා. නිවාඩුවත් ඉවර වුණා. ඒත් නැවත ජාපනයට යන්න හිත දුන්නේ නෑ. මාස හතර, පහ යනකොට හම්බ කරපු සේරම සල්ලි මත්ද්‍රව්‍යවලටම ඉවර වුණා. කුඩු කෑල්ලක් ගන්නවත් අතේ සතේ නැති වුණා. ඊට පස්සෙ මාගේ යාළුවකුගේ මාමා කෙනෙක් එක්ක සෙට් වෙලා කුඩු විකුණන්න ගත්තා. මට තිබුණේ කියන තැන්වලට කුඩු කෑලි ගිහින් දීලා එන්න. අපි රට පුරාම කුඩු බෙදාහැරලා තියෙනවා.

ඈත ගම්මානවලට ගිහින් ගමේ පොරවල් දෙතුන් දෙනෙක් සෙට් කරගෙන නතර වෙලා කුඩු විකුණලා තියෙනවා. එතකොට මටත් දවසකට කුඩු ග්‍රෑම් දෙක, තුනක් පෙවෙනවා. හොඳට හම්බ කළා. කුඩු බොන්න සල්ලි වියදම් වුණෙත් නෑ. ඒ වගේම අතේ හොඳට සල්ලි ගැවසෙන්න ගත්තා. ඒත් ඒ සල්ලි යා දුන්නේ නෑ. අතට එනවට වඩා ඉක්මනට වියදම් වුණා. වැඩියෙන්ම සල්ලි වියදම් කළේ ගෑනුන්ට. වැඩියෙන්ම ඇසුරු කළේ කුඩු විකුණන ගෑනුයි, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙල්ලොයි. වනාතේ ගෑනියෙක් එක්ක කසාද බැඳලා වගේ ජීවත් වුණා. ඒ කෙල්ල මටත් වඩා බාලයි. එතකොටත් ළමයෙක් ඉන්නවා. ඒත් රූප සුන්දරියක් වගේ ලස්සනයි. මිනිහා දාලා ගිහින්. ඒ කෙල්ලව මට සෙට් වුණේ කුඩු ගන්න වනාත වත්තට ගිහින්. ඒත් ඒකි කුඩු විකුණුවේ නෑ.

කුඩු බිව්වෙත් නෑ. මටත් නිතරම කිව්වේ කුඩු බොන එක නතර කරන්න කියලා. ඒත් මම ඒ කතා ඇහුවේ නෑ. මුලදි මම ඒ කෙල්ලට ළං වුණේ රූපෙට වහ වැටිලා. ටික දවසක් යනකොට මම ඒකිව තියාගෙන හිටියේ වත්තට, යන්න එන්න පහසු නිසයි. දවස්, දෙක තුන කෙල්ලගේ ගෙදර නතර වෙලා හිටියා. වත්තෙ මිනිස්සුත් හිතුවේ අපි දෙන්නා කසාද බැඳලා කියලා. ඒ සම්බන්ධය අතරතුර කුඩු විකුණන ගෑනු කිහිපදෙනෙක් එක්ක සම්බන්ධකම් තිබුණා. කුඩු බීලා උපරිම සෙක්ෂුවල් කරන්න නම් අනිත් කෙනත් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා ඉන්න ඕනා. ගෑනු මත්ද්‍රව්‍ය පාවිච්චි කළාට පස්සේ කාම දේනුවන් වෙනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ගෑනුන්ට මම වැඩියෙන්ම කැමැති ඒකයි...’’

‘‘අපිත් එක්ක හිටපු එක කෙල්ලෙක් කුඩු බිව්වට පස්සෙ තනිකරම පිස්සියක් වගෙයි. හරිම ලස්සනයි. කුඩු බොනවා කියලා කියන්නවත් බෑ. හොඳ වැදගත් පෙනුම. ඒකිව අනාථ කරලා තිබුණේ තාත්තා. කොල්ලො කිහිපදෙනෙක්ගේ අතින්, අතට ගිහින් එක කොල්ලෙක් කුඩුවලට ඇබ්බැහි කරලා තිබුණා. ඊට පස්සෙ ඒ කෙල්ල කුඩු ඕනර් කෙනෙක් සෙට් කරගෙන එයත් එක්ක ඉඳගෙන කුඩු බීලා, සෙක්ස් ආතල් ගන්නවා.

මාත් එක්කත් මාස හයක් විතර හිටියා. කුඩු බොන කෙල්ලන්ගේ ජීවිත කතා ඇහුවම දුක හිතෙනවා. ඒ වගේම කෙල්ලො මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණහම ලේසියෙන් ගැලවෙන්නේ නෑ. ඒත් මොන ගෑනි ඇසුරු කළත් මගේ පෙම්වතිය ජීවිතේ එක වුණා. අපේ ආදරය පටන් ගත්තෙ එකොළහ වසර පන්තියේ ඉගෙනගන්න කාලේ. මම මේ ආයතනගත වෙනකොටත් කෙල්ල මාත් එක්ක හිටියා. මම කුඩු බොන විත්තියත් එයා දන්නවා. ඒත් මාව දාලා ගියේ නෑ. එහෙම වෙන් වෙන්නත් බෑ, අපි අතර තියන්නෙ අඹු සැමි ඇසුරක්. මාව හදාගන්න කෙල්ල උපරිම උත්සාහ කළා. කෙල්ලගේ කන්කරච්චිචය නිසා මාස ගණන් කුඩු නොබී ඉඳලා තියෙනවා. සමහර වෙලාවට කෙල්ලවත් මම කුඩුවලට ඇබ්බැහි කරන්න හැදුවා. ඒත් කෙල්ල මතට තුරුලූ වුණේ නෑ. මාව තුරුලූ කරගෙන හදාගන්න හැදුවා. ඒත් නිතරම කුඩු එහා, මෙහා ගෙනියනකොට හිත කුඩු ඉල්ලූවා. ඒ වෙලාවට කුඩු නොබී ඉන්න මට බැරි වුණා...’’

‘‘කුඩු බොන්න පටන් ගත්ත මුල් අවධියේ විතරයි ෆිලීන් එක තියෙන්නෙ. ඊට පස්සෙ කුඩු බොන්නෙ සික් එකට. ඇගේ , පතේ වේදනාවට. කුඩු බිව්වට පස්සෙ තමයි ඇඟට පණ එන්නෙ. කුඩු කියන්නෙ මත්ද්‍රව්‍ය ලෝකයේ තියෙන වේදනාකාරීම මත්ද්‍රව්‍ය. හතුරෙක්වත් කුඩුවලට නම් පොළඹවන්න හොඳ නෑ. ආත්ම ගණනකට ගෙවා නිම කරන්න බැරි පාපයක් වෙනවා. මම කුඩු බොන්න පටන් අරගෙන අවුරුදු අටක් විතර වෙනවා. ඒ කාලය තුළ කුඩු නතර කරන්න මත්ද්‍රව්‍ය විශෝධන මධ්‍යස්ථාන කිහිපයක නතර වෙලා ප්‍රතිකාර ගත්තා. දෙවතාවක් රෝහල්වල නතර වෙලා ඇෙඟ් ලේ අයින් කළා. ඉස්පිරිතාලවල නතර වෙලා බෙහෙත් කෝස් අරගෙන තියෙනවා. ඒත් ගෙදර ඇවිත් සතියක් දෙකක් යනකොට සිගරට් එකට හුරු වෙනවා. එතැනින් කුඩුවලට ඇබ්බැහි වෙනවා. මේ ආයතනයට එන්න මාස තුනකට කලින් කෙල්ලගේ බලකිරීමට අවුරුදු එකහමාරක් විතර කුඩු බොන්නෙ නැතිව හිටියා. යාළුවකුගේ පාටි එකකට ගිහින් තමයි ආයෙමත් කුඩු බොන්න පටන් ගත්තේ. එදා ඉඳලා නැවත කුඩුවලට ඇබ්බැහි වුණා. කුඩුවලට තදින්ම ඇබ්බැහි වෙලා ඉඳලා නතර කරලා, එක දවසක් හරි කුඩු බිව්වොත් දිගටම ඇබ්බැහි වෙනවා. කුඩු කියන්නෙ පිළිලයක් වගෙයි. චුට්ටෙදී දලූ දානවා...’’

‘‘ආයතනගත වෙන්න ඉස්සෙල්ලා අන්තිම මාස දෙක, තුනේදී මම ගෙදර සල්ලිත් හොරකම් කළා. අම්මගේ කරේ තියෙන මාලෙත් ගලවගෙන ගිහින් උකස් තියලා කුඩු බිව්වා. කොල්ලො දම්මලා කෙල්ලන්ගේ චේන් කැඩෙව්වා. පොකට් ගැහුවා. තනිකරම හොරෙක් වුණා. දවසට ලක්‍ෂයක් හෙව්වත් එදාම කුඩු බීලා ඉවර කළා. මම විනාශ වෙනවා බලාගෙන ඉන්න බැරිම තැන තාත්තා මේ ආයතනය හොයාගෙන එක්කගෙන ආවේ. ආයතනගත වුණේ නැති වුණා නම් රොබරියකට කොටු වෙලා මෙලහකටත් හිරේ. ඒක දැනගෙන තමයි මම මේ ආයතනයට ආවේ. අදටත් මම මේ ආයතනයේ ඉන්නේ කැමැත්තෙන්. මේ ආයතනයේ බෙහෙත් දෙන්නෙ නෑ. ඒත් නියම ක්‍රමයට මොළය සෝදනවා. දැනටත් මගේ හිතෙන් මත්ද්‍රව්‍ය සේදිලා ඉවරයි. දැන් මම මේ ආයතනයට ඇවිත් මාස හතකට වැඩියි. අවුරුද්දක් විතර මෙතැන ඉන්නකොට සම්පූර්ණයෙන්ම මම මත්ද්‍රව්‍යයෙන් මිදෙනවා. ඒක මට ස්ථිරයි. ඊට පස්සෙ තමයි මම ගෙදර යන්නෙ. ඒත් ලංකාවේ ඉන්නේ නෑ. මේ ආයතනයෙන් ගිහින් හැකි ඉක්මනට නැවත මම ජපානයට යනවා. ඒ ගමනට අවශ්‍ය සියලූම කටයුතු අක්කා සූදානම් කරලා තියන්නෙ...’’

‘‘මේ වතාවේ මතෙන් ගැලවෙන්න බැරි වුණොත් මට ජීවිතයක් නෑ. කෙල්ලත් මාව දාලා යනවා. අම්මයි, තාත්තායි දැන් වයසයි. අක්කටත් හැමදාම මට උදව් කරන්න බෑ. මට ඉතිරි වෙන්නෙ මහ මඟ තමයි. ඒ වගේම සමාජයේ මල්ලිලා, නංගිලාට මම කියන්නෙ අත්හදාබැලීමටවත් මත්ද්‍රව්‍ය නම් ජීවිතයට ළං කරගන්න එපා කියලයි. විශේෂයෙන්ම සිගරට් තමයි මත්ද්‍රව්‍යවලට හුරු කරන ප්‍රධාන මූලය. සිගරට්වලට ඇබ්බැහි වුණා කියන්නෙ මත්ද්‍රව්‍යවලට නැඹුරුවන ප්‍රවණතාව වැඩියි. මතට ඇබ්බැහි වුණා කියන්නෙ රැයක්, දහවලක් දැනෙන්නේ නෑ. ජීවිතේ විඳවීමක් විතරයි...’’

තරංග රත්නවීර