"ඒ විදියට මමම කරගත්තු ඒ හානිය මට ජීවත්වෙන තුරා අමතක වෙන්නෙ නෑ..." - ඩග්ලස් රණසිංහ - Photos

අම්ම තාත්තගෙ අාදරය විඳිමින් ඉතා කීකරුව හැදුන වැඩුන චරිතයක්. කුරුණෑගල තෝරවතුර කියන නිස්කලංක පරිසරයේ හැදුන වැඩුන නිසාම වැඩි දැගලිලි නැතුව පාඩුවේ ජීවත් වුණා. ක්‍රීඩාවට ගොඩක් යොමුවෙලා හිටියා. පාසලේදී ඕනෑම ක්‍රීඩාවකට යොමුවෙනවා. ඒ අතර කෙඩෙටින් - බොක්සිං විශේෂයි. කවදාවත් අධ්‍යාපන කටයුතු මගහැර ගත්තෙත් නෑ.

පාසල් ජීවිතේ

බොහොම සුන්දරයි. කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ තමයි අධ්‍යාපනය ලැබුවේ. සිංහල විෂයට තිබණෙ පුදුම කැමැත්තක්... මම අකමැතිම විෂය චිත්‍ර මොකද මට චිත්‍ර අඳින්න බෑ. ඒ වෙනුවට මම තෝරගත්තෙ පාලි භාෂාව... ඉංග්‍රීසිත් මම වැඩි වශයෙන් ලකුණු ගත්තු විෂයයක්.

ඇසුරු කරපු යාළුවෝ
කියන්න බැරි තරම් හිටියා. ඒත් අද වෙනකොට ඒ සබඳතා කාලයත් එක්ක බිඳ වැටිලා. ඉන්නවද නැද්ද කිියල සොයා ගන්න බැරි තත්ත්වෙට පත්වෙලා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරපු සෙනරත් බණ්ඩාර සුබසිංහ කියන මිත්‍රයා තමයි අදටත් ඒ කාලෙ ඇසුරු කරපු මිතුරන්ගෙන් කලාතුරකින් හරි කතා කරන්නෙ, හමුවෙන්නෙ.

කල්ලි ගැහුනු තැන්
පාසලෙන් එහාට කොතැනකදිවත් හමුවෙලා කල්ලි ගැහෙන්න ඉඩක් අපට ඒ කාලෙ හමුවුණේ නෑ. මොනව කළත් පාසල් වෙලාවෙ විතරයි. සිංහල සාහිත්‍ය සංගමයේ මම ක්‍රියාකාරී සාමාජිකයෙක් ඒ නිසා සමහර වෙලාවල්වල කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරන්න ලැබුණා. මොකද අපි දීප්ති කියලා සගරාවක් මුද්‍රණය කළා.

කරපු දඟ වැඩ
අද පාසල් ළමයි කරන කියන චාරයක් නැති දග වැඩ අපි කවදාවත් කරන්න තියා හිතලවත් නෑ. ලොකුවට දග වැඩක් කියලා අපි කළානම් ඒ චැලේන්ජ් කරල ෆයිට් කරපු එක විතරයි. ගහගන්න දෙන්න කලින්ම චැලේන්ජ් කරගන්නවා. අපිට ඉස්කෝලෙ ඉන්ටර්වල් දෙකක් ලැබුණා. එකක් 10.00 ට අනික 12.00 ට දෙවැනි එකේදී තමයි ගහගන්නේ. තුවාල වෙනකම් ඔය විදියට ෆයිට් කරගෙන ඇති. ඒක එදායින් ඉවරයි.

කරපු හොඳ වැඩ
ඒ කාලෙ අපි තරුණයො විදියට එකතු වුණාම කාටවත් නරකක් නපුරක් කරන්නෙ නෑ. හොඳ වැඩම තමයි කරන්නේ. තරුණ ගොවි සමාජ පිහිටුවාගෙන තිබුණා. ඒවට ආධාර වගේම උපකරණ ලැබෙනවා, තාත්තගෙත් කුඹුරක් ඉල්ලගෙන අපිත් දෙන උපදෙස්වලට අනුව හරියටම ඒකෙ වැඩ කළා. ගමේ මොන දේට වුණත් කරගහන පුරුද්ද අපිට තිබුණා. වොලිබෝල් ටීම් එකක් සහ කඹ අදින්න කට්ටියක් සෙට් කරගන හිටියා. අවට ගම්වල තරගවලට ගිහින් හරියට ජයග්‍රහණ ලැබුවා.

පට බැඳුණු නම්
මගේ නම ඩග්ලස් නිසා ඒක කෙටි කරගෙන මට යාළුවෝ ඩගී කියල තමයි කතා කළේ. පිරිමි දරුවන්ගෙන් වැඩිමලා නිසා අම්ම තාත්ත ලොකු පුතා කියල කතා කළා. ගමේ උදවිය පොඩි මහත්තය කියල නම දාගෙන හිටියෙ. ඒත් මම ඒ නමට හරි අකමැතියි.

අහපු කයි කතන්දර
අපේ ගෙදර අපි කිසි කෙනෙක් කාගෙන්වත් කතන්දරයක් ඇහුවෙ නෑ කියල. මට පැහැදිළිව කියන්න පුළුවන්. මොකද මගේ මව ගුරුවරියක්. ඇය ගුරු වෘත්තිය අතහැරල තිබුණෙත් අපිිව හරිමගට ගන්න. ඇය නිසා තමයි අපි කිසිම වැරදි වැඩකට යොමු නොවී හැදුනෙ වැඩුනෙ.

ගැහැනු ළමයින්ගෙ ආශ්‍රය
හොඳටම තිබුණා. හැබැයි ස්කූල් බස් එකේදී විතරයි. උදේට යද්දි හවසට එද්දි කතාබහ කරල අපි හැමෝම විහිළුවෙන් තහළුවෙන් සහෝදර සහෝදරියො වගේ බොහොම ලෙංගතුව හිටියා.

කරපු විලාසිතා
ගමේ ඉන්න කාලෙ විලාසිතාවලට ලොකු උනන්දුවක් තිබුණෙ නෑ. නීති විද්‍යාලයට  ආවට පස්සේ තමයි ඒවට හිත ගියේ. ඒ කාලේ හෑන්ඞ් ලූම් රෙදි හරි ජනප්‍රියයි. මම හරිම කැමතියි ඒවට. විශේෂයෙන්ම කොටු රෙදිවලින් අත් දිග ෂර්ට් අඳින්න මම වැඩියෙන් කැමතියි.

තිබුණ බලාපොරොත්තු
ක්‍රීඩා අංශයේ ගොඩක් ඉදිරියෙන් හිටපු නිසා කවදා හරි හමුදාවට හරි පොලිසියට යනව කියල තමයි මම හිතාගෙන හිටියේ. ඉල්ලූම්පත් යොමු කරල මාව එස්.අයි. විදියට තේරුණා. මොකක් හරි හේතුවක් නිසා අපිව බඳව ගන්න එක කල් ගියා. ඔහොම ඉන්න අතරේ තමයි මට හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණෙ. ඒ කාලෙම මට පොලිස් සේවයෙන් ඉවත්වෙලා හිටපු විජේරත්න වරකාගොඩ මහත්මයවත් හමුවුණා. මම පොලිසියට තේරුණ බව කියල පොලිස් දෙපාර්තමේන්තුව ගැන විස්තර ඇහුවාම ඔහු මට කිව්වා මල්ලි ඔයාට පොලිසිය ගැලපෙන්නෙත් නෑ. පොලිසියට ඔයාව ගැලපෙන්නෙත් නෑ. ඔයා මෙන්න මේක කරගෙන ඉන්න කියලා ඇත්තටම ඒ කියපු දේ අහල මම ගත්තු තීරණය හරි.

දුක හිතුන අවස්ථා
මට වඩා අවුරුදු දෙකකින් වැඩි මල් මගේ සොහොයුරියක් අකාලයේ මියගියා. ඇයත් මමත් හරිම එකමුතුයි. ඒ වියෝව මට දරාගන්න බැරි වුණා. ඒ වගේම මගේ අම්ම තාත්ත එකම අවුරුද්දක් තුළ වියෝවීමත් බොහොම දුක හිතුන අවස්ථා.

සැබෑ නොවුණ හීන
සැබෑ නොවුණු හීනය තමයි මට පොලිසියට හරි හමුදාවට හරි සේවයට යනව කියල හිතුවට ඒ රැකියාවට යොමු වීමට නොහැකි වුණ එක. මමම හිතල තමයි නොගියේ. ඊට වඩා අද සිටින තැන ගැන මම සතුටුයි. මොකද මම එදා පොලිස් සේවයට බැඳුනනම් අද රංගන ක්‍ෂේත්‍රය තුළ නොඉන්න පුළුවන්. දෛවය මට හිමි තැන දීල තියෙනවා. ඒ තුළ මම සැනසීමෙන් ජීවත් වෙනවා.

අමතක නොවන සිදුවීම්
මේ ජීවිතේ ලේසියෙන් කෙනෙකුට හිමි නොවන අවස්ථාවක් මට හිමි වුණා. ඒ තමයි බ්‍රිටිෂ් ඉංග්ලිෂ් තියටර් එකට සම්බන්ධ වීම. ඒත් මම ඒ අවස්ථාව මගහැර ගත්තා. මම එදා ඒ වෙත යොමුවුණානම් අද මම කොතැනද ඉන්නේ කියල හිතෙද්දී ලොකු කනගාටුවක් එක්ක පසුතැවීමක් ඇති වෙනවා. ඒ විදියට මමම කරගත්තු ඒ හානිය මට ජීවත්වෙන තුරා අමතක වෙන්නෙ නෑ.