මැටි කපා අත හැර දැමු වලක අපුරු පාවෙන කබානා හෝටලයක් නිර්මාණය කරපු තරුණ ව්‍යාපාරිකයා

ලෝකය අලුත් කරන්නේ මිනිස්සුන්ගේ සිතුවිලිය. වෙනස් විදිහට දකින්නට අලුත් විදිහට සිතන්නට හැකි මිනිස්සු රටකට සම්පතකි. බොහෝ විට අසන්නට දකින්නට නොලැබෙන එවන් මිනිසෙකු පිළිබඳ පසුගියදා  දැනගන්නට ලැබුණි. ඒ තොරතුරු
ඔස්සේ අපි කොච්චිකඩේ මඩැම්පැල්ල පාරේ බෝලගලට ගියෙමු.

එම ගමනට එක්වූ මාධ්‍ය සගයන් අතර කෙරුණු කතා බහේදී පාවෙන සංචාරක හෝටලයක් නිර්මාණය කරන්නට කැපවුණු මේ ධෛර්යවන්ත තරුණ ව්‍යාපාරිකයා ගැන යම් අවබෝධයක් ලැබුණි. ඒ අවබෝධයත් සමඟ අප පිවිසුණේ ලහි ලහියේ වැඩ නිමවෙමින් පවතින අමුතුම මාදිලියේ හෝටල් සංකීර්ණයකටය.

එක් පසකින් දිය පිරුණු ජලාශයක් මත පාවෙන කබානා කිහිපයකි. තවත් පසකින් වැඩ නිමවෙමින් පවතින ජලයේ පාවෙන පිහිනුම් තටාකයකි. ජලාශය වටා වූ පස් බැම්ම දෙපස සරුසාර ගොවි බිමකි. තවම හරි හැටි වැඩ නිම නොවූ මෙම පරිශ්‍රය තුළ කුමක් සිදුවේද යන්න එහි යන පිටස්තර අයෙකුට එකවර අවබෝධ කරගැනීම අපහසුය. ඒ ගැන අවබෝධයක් ඇතිවුවද එහි නිර්මාණය වන අමුතුම මාදිලියේ කබානා සමුහය ගැන හා එහි ලඟා කරගැනීමට අපේක්ෂිත ඉලක්ක ගැන උපදින්නේ සැකයකි.

එය එතරම්ම සංකීර්ණ බව හොඳින් වැටහුණේ එහි නිර්මාණකරු වූ ඒ අධිෂ්ඨානශීලී ව්‍යාපාරිකයා කළ ප්‍රකාශ තුළිනි. ඔහු නමින් කැළුම් පෙරේරාය. ඉදිවෙමින් පවතින බෝලගල රිසෝල්ට් හිමිකරුවාද ඔහුය.

“මෙතන පාවෙන කබානා පනහකින් සමන්විත සංචාරක හෝටයක් ඉදිවෙනවා. මෙහෙම එකක් ලංකාවේ කොහේවත් නෑ කියලා තමයි සංචාරක මණ්ඩලය කියන්නේ. එහෙම තිබුණත් ගඟක, වැවක හෝ ජලාශයක් මතයි. ඒත් මේ කබානා සංකීර්ණය ඉදිවන්නේ කිසිඳු ලෙසකට ප්‍රයෝජනයට ගන්න බැරි, මැටි කපා අතහැර දැමූ වතුර පිරුණු අක්කර 13ක බිමකයි.”

අපේ රටේ බොහෝ කර්මාන්තකරුවන්ගේ ආත්මාර්ථකාමී බව හේතුවෙන් මතුවන පරිසර ගැටලු ගැන ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. නමුත් එවන් පරිසර ගැටලුවකට විසඳුමක් දෙන්නට ඉදිරිපත්වන ව්‍යාපාරිකයන් ගැන අසන්නට දකින්නට ලැබීම අති දුර්ලභය‍. කලා ඔය දකුණු ඉවුරේ පිහිටි බෝලගල ප්‍රදේශයේ අතහැර දැමූ අක්කර 300 පමණ මැටි නිධි සමූහය අවිධිමත් කර්මාන්තකරුවන්ගේ ආත්මාර්ථය සිහි ගන්වන ස්මාරක බඳුය.

කැණීම් කළ පසු ඒ බිම පුනරුත්ථාපනය කිරීමට බලපත්‍රලාභියා බැඳී සිටියි. එහෙම නම් අක්කර 300කට වඩා බිම් ප්‍රදේශයක් මෙහෙම වුණේ කොහොමද? කෙතරම් නීති රීති පැනවුවද මිනිසුන්ගේ ආකල්පමය වෙනසකින් තොරව ඒ අරමුණු කරා ළඟා විය නොහැකි බව කැළුම් කියූ මේ කතාවෙන් පැහැදිලි වේ.

“මගේ තාත්තාගේ කාලේ ඉඳලා කළේ උළු, ගඩොල් කර්මාන්තය. මම මේ ව්‍යාපාරය භාර ගත්තු දා ඉඳන්ම විශ්වාස කළේ අපි හදවතට එකඟව කටයුතු කළ යුතුයි කියලයි. මම මැටි කැපූ හැම බිමක්ම නිසි ලෙස පුනරුත්ථාපනය කළා. නමුත් මේ කැණීම් බිම මට එහෙම කරන්න බැරිවුණා.

ඒකට බලපෑ හේතු කීපයක් තියෙනවා. ඒ මොන හේතු තිබුණත් මගේ හිතට මේක මහ වදයක් වුණා. නීතියෙන් එන බලපෑමට වඩා හෘද සාක්ෂියේ බලපෑම ප්‍රබල වුණා. ඒ අනුව පරිසරයට ගැටලුවක් වුණු මගේ මේ කැණීම් බිමෙන් වැඩක් ගන්න මම කල්පනා කළා.”

ඔහු පැවසූ හැම වචනයකම තිබුණේ අධිෂ්ඨානශීලී බවයි. දීප්තියෙන් බැබළුණු දෙනෙත් පැවසුවේ නිර්මාණශීලිබවයි. ඒ අධිෂ්ඨානය තුළින් ගත් උත්සාහය මල්ඵල ගන්වන්නට සමත් වූ ඔහුගේ සංකල්පය ගැන ඔහු පැවසුවේ හරි අපූරු තොරතුරු සමූහයකි.

“මම මේ වැඩේට අත ගහන කොටම අපේ රටට ආවේණික ගැටලු රාශියක් ආවා. මේ ගැන ඇතැම් රාජ්‍ය නිලධාරින්ට අවබෝධයක් ලබා දීමත් අභියෝගයක් වුණා. ඔය කියන කාරණය සාර්ථක වෙයිද? කියන එක ගැන බොහෝ දෙනා සැක කළා.

ඔය කාරණය මහ පොළොවේ පැළ කරන එක ලෙහෙසි වෙන එකක් නැහැ කියලා සමහරු කිවුවා. සමහර නිලධාරින්ට මේක සුරංගනා කතාවක් වුණා. මේ නිසාම පළමුවෙන්ම මම මේ තියෙන කබානා එක ආදර්ශයක් විදියට නිර්මාණය කළා.”

සියලු තැන්හී සර්ව අසුබවාදීන් නොසිටි බවද ඔහුගේ හෙළිදරව්වෙන් පැහැදිලි වුණා. ඇතැමෙක් මෙය ක්‍රියාවට නංවන්න බැහැ කියද්දී ඔහු තුළ සිටි නිර්මාණශීලී මිනිසා හඳුනාගත් නිලධාරීන්ද ඔහුට හමු වී තිබුණා.

“භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂ ඉංජිනේරු සංජනද සිල්වා හා ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ කැණීම් ඉංජිනේරු කුෂාන් ගුණවර්ධන යන මහත්වරු මේ සඳහා ඉතා නිවැරදි මඟ පෙන්වීමක් ලබා දුන්නා.

ලංකා සංචාරක මණ්ඩලය මගේ මේ ව්‍යාපෘතිය සඳහා හොඳ දිරි ගැන්වීමක් ලබා දුන්නා. ආරම්භයේදීම මේ හෝටලයට තරු තුන ප්‍රදානය කරන්නත් ඔවුන් කැමැත්ත පළ කළා. මම දැන් මේ සියලු සැලසුම් සකස් කරන්නේ තරු හතර ප්‍රමිතියට අවශ්‍ය නිර්නායක මතයි.“

ආදර්ශයක් විදියට ඉදිකළ පාවෙන කබානාව ආලින්දයක්, නිදන කාමරයක්, නාන කාමරයක් ඇතුළු අති නවීන පහසුකම් සමඟ නිර්මාණය කර ඇත. මෙහි ඉදිවන පාවෙන කබානා සමූහය හා මේ ව්‍යාපෘතිය ගැන කැළුම් තුළ පැවැති සැලසුම මෙලෙස ඔහු හෙළි කළේය.

“ඩිලක්ස්, සුපර් ඩිලක්ස් හා ස්විප්ට් යනුවෙන් වර්ග තුනක් යටතේ මේ කබානා නිර්මාණය කරනවා. ස්විප්ට් වර්ගයේ කබානාව තුළ තමන්ට රිසි සේ ආහාර සකස් කර ගැනීමට පහසුකම් සලසනවා. මේ කබානා ජලය මත පාවෙන පිවිසුම් මගකින් එකිනෙක සම්බන්ධ වෙනවා.

ඊට අමතරව විශේෂිත වූ කබානා පහළොවක් නිර්මාණය කරනවා. ඒවා යම් සීමාවකට ගෙන යාමට හැකියි. ඒ අනුව මෙහි එන සංචාරකයන්ට තමන්ගේ කබානා එක ජලාශයේ තමන් කැමැති තැනකට රැගෙන යා හැකියි. ඒ වෙනුවෙන් ජැටියකුත් ඉදි කරනවා.”

ගොඩබිම, පරිසරය හා ගස්වැල් සීමිත වූ මෙම භූමියේ සංචාරකයන් වඩාත් ආකර්ෂණීය අයුරින් සැලසුම් කිරීම ගැනත් ඔහු තුළ පැවතුණේ සුවිශේෂ අදහසක්.

“මෙහි නවතින සංචාරකයන්ට මෙහි ජලාශය මත ජල ක්‍රීඩාවල නිරත විය හැකි අන්දමේ පරිසරයක් නිර්මාණය කරනවා. අඩි හතළිස් පහක් දිගට, අඩි තිහක් පළලට, අඩි හතරක් ගැඹුරට පාවෙන පිහිනුම් තටාකයකුත් ඉදි කරනවා. එහි වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් ආරක්ෂාකාරී ලෙස ජල ක්‍රීඩා කරන්නට හැකි වෙනවා.

ජලාශය වටේට අඩි විස්සක් පළලට ඉදිකළ බැම්මේ පලතුරු, උඩරට සහ පහතරට එළවළු, පලා වර්ග කාබනික වගාවක් ලෙස වගා කරනවා. බැම්ම මැද ඉදිවෙන මාර්ගයේ විදුලි කාර් රථයකින් ගමන් කරමින් ඒ පලතුරු, එළවළු අස්වැන්න නෙළා ගන්න මෙහි එන සංචාරකයන්ට හැකි වෙනවා.

එසේ නෙළා ගත් එළවළු හා පලතුරු ඔවුන්ගේ කැමැත්ත පරිදි සකස් කර දෙන්නත් අපේ කාර්ය මණ්ඩලය කැපවී සිටිනවා. මේ ජලාශයේ ඉස්සන් හා මිරිදිය මසුන් වගාවකුත් ආරම්භ කරලා තියෙනවා.“

අක්කර දහතුනක ජලාශයක් පැවතියද මෙහි වතුර පානයට සුදුසු නොවන නිසා මේ හෝටලයට ජලය ලබා ගැනීම යම් විදියක අභියෝගයක්ව තිබිණි. කැළුම් ඒ අභියෝගය ජයගෙන ඇත්තේ බෝලගල ගම්වාසීන්ටද පිහිට වෙමිනි. ඒ එතෙක් ගැටලුවක්ව පැවති පානීය ජල ප්‍රශ්නයට අපූරු විසඳුමක් දෙමිනි.

ඒ අනුව ඔහුගේ පුද්ගලික වියදමින් ලක්ෂ තිස් හතක් වැයකර ජල ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත. ඒ ව්‍යාපෘතියෙන්ම මේ හෝටලයේ ජල ගැටලුවටත් විසඳුම් ලැබේ.

දිය මත පාවෙන මේ කබානාවලින් මුදා හරින සියලු අපජලය ප්‍රතිචක්‍රීකරණය කරන්න විශේෂ යන්ත්‍ර පද්ධතියක් මෙහි ස්ථාපනය කර ඇත. පැය හතරක් තුළ අපිරිසුදු ජලය පිරිසුදු කර වගාවන් සඳහා භාවිත කරන්නටත් සැලසුම් කර ඇත්තේ හරි අපූරුවටය.

වඩාත් පරිසර හිතකාමී ලෙස මෙරට සංචාරක ව්‍යාපාරය තුළ නව පියවරක් තබන්නට සූදානම් වුණු කැළුම් ඔහුගේ පුද්ගලික ජීවිතයේ තොරතුරුද මෙසේ පැවසීය.

මගේ පියා කතෝලික, මව බෞද්ධ. මම ඉගෙන ගත්තේ වෙන්නප්පුව ජෝශප්වාස් විදුහලේ. අපේ ජීවිතය කතෝලික දහමට වගේම බුදු දහමටත් නැඹුරුයි. මගේ තාත්තා වෙනුවෙන් චෛත්‍යයක් හදන්න අම්මාගේ ලොකු ආසාවක් තිබුණා.

ආනමඩුවේ සන්දනම් පොකුණේ ලක්ෂ පනහක් වියදම් කරලා චෛත්‍යයක් හදලා පූජා කළා. මුරුතව පල්ලියේ පාද නමස්කාර කරන්න තැනක් මගේ වියදමින් සකස් කරලා දුන්නා.

“මේ සියලු දේටත් වඩා මම මහත් සැනසීමක් ලබන්නේ මගේ ව්‍යාපාර පරිසරයට හානියක් නොකොට ලබන දියුණුව තුළයි.” අප සමුගන්නා මොහොතේ මේ අපූරු නිර්මාණශීලී තරුණ ව්‍යාපාරිකයා පැවසූ ඒ වදන් තුළ අප කාටත් සිතන්නට බොහෝ දේ ඉතිරිව ඇත.

මුලාශය – රැස පුවත්පත / සටහන – පබදු සපුතන්ත්‍රි