"එයාව සතුටු කරන්න ඕන මුලින්ම. ඊට පස්සේ තමයි විවාහය ගැන හිතන්නේ.." - අනුරාධා එදිරිසිංහ

අහස් මාලිගා' පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියාගේ හුරතලේ ලබන පොඩ්ඩිට කවුරුත් ආදරය කරනවා. ඒ නිසාමයි මග තොටේදිත් ඇය හමුවන ප්‍රේක්ෂකයන් ඇයට 'පොඩ්ඩි' යනුවෙන් අමතන්නේ. ඒ ගැන අනුරාධා එදිරිසිංහ මෙහෙම කියනවා.

පොඩ්ඩි කියන්නද? අනුරාධා කියන්නද?

කැමැති නමක් කියන්න. හැබැයි මේ දවස්වල ගොඩක් අය කතා කරන්නේ නම් පොඩ්ඩි කියලා. ඒ අහස් මාලිගා ටෙලි නාට්‍යයේ පොඩ්ඩි කියන චරිතය නිරූපණය කරන නිසා.

කොහොමද පොඩ්ඩිට ලැබෙන ප්‍රතිචාර..
ප්‍රතිචාර හොඳයි. හොඳ නිසානේ මග තොටේදි හමුවන අය මට පොඩ්ඩි කියල කතා කරන්නේ. එහි සිටින සියලුම රංගන ශිල්පීන්ටත්, අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයාටත් ස්තූතියි. ඔවුන් සියලුදෙනාගෙන්ම මගේ චරිතය සාර්ථක කරගන්න හොඳ සහයෝගයක් ලැබෙනවා.

'අහස් මාලිගා' අනුරාධාගේ පළමු ටෙලි නාට්‍යයද..
නැහැ. මීට පෙර ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් ගණනාවකත් රඟපාලා ති‍යෙනවා.

රංගනයට එන්නේ වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන්..
ඔව්. ඒ මීට අවුරුදු තුනකට පෙර. මගේ තාත්තාගේ හිතවතකු පෞද්ගලික ආයතනයක වෙළෙඳ දැන්වීමක පෙනී සිටින්න මාව දෙනවද කියා අසා තිබෙනවා. තාත්තා මගෙන් ඒ ගැන ඇහුවා. මම කැමැතිවුණා. එම දැන්වීමෙන් පස්සේ තව තවත් දැන්වීම් ලැබුණා. ඒ විදිහට කලාවට ඇවිත් අවුරුද්දක් යනතුරුම කළේ වෙළෙඳ දැන්වීම් නිරූපණය විතරයි. ඉන්පසු මියුසික් වීඩියෝ කිහිපයක රඟපෑවා. ඔය අතරතුරේදි ටෙලි නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉන් පසු ගත වු වසර තුනේදි ටෙලි නාට්‍ය දහයක පමණ රඟපෑවා.

මේ වන විට ඔබ නර්තන ශිල්පිනියක සහ නිවේදිකාවක ලෙසත් දක්ෂතා දක්වනවා..
ඔය කියන්නේ හිරු නාළිකාවෙන් විකාශය කෙරෙන මෙගා ස්ටාර් -2 වැඩ සටහන ගැන වෙන්න ඇති. එහි මගේ පාට්නර් ලෙස පැතුම් තරග කරනවා. අපි දෙදෙනාම මුලින්ම තරගයට සහභාගි වුණේ පළමු හෝ දෙවැනි වටවලින් ඉවත් වෙන්න සිදුවෙයි කියා හිතාගෙනයි. එහෙත් කොහොම හරි අවසන් වටය ළඟාවෙනතුරු අපි තරග වැදුණා. මේ තරම් දුරක් එන්න අපිට සහාය වු රසික ප්‍රභාත්ට ස්තූතිවන්ත වනවා. ඔහු තමයි නර්තනය ගැන අපිට කියලා දුන්නේ. නිවේදිකාවක ලෙස හිරු නාළිකාවේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා.

අනුරාධා කෙටි කලකින්ම මෙතරම් ජනප්‍රියත්වයක් ලැබුවේ කොහොමද?
පසුගිය අවුරුදු දෙකට වඩා මේ අවුරුද්දේ විවිධ පැති ඔස්සේ කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ වසර මට කලාවට සුබයි. ඒ වගේම මම කිසිම අවස්ථාවක කාගෙවත් හිත රිද්දල කැපිල පේන්න හදන කෙනෙක් නෙමෙයි. මම හැම වෙලේම විශ්වාස කරනවා අපි හොඳින් ඉන්නවා නම් හැම දේම හොඳ විදිහට සිදුවනවා කියන එක. ඒ වගේම ප්‍රවීණයන්ට ගරු කරමින් ඔවුන්ගේ උපදෙස් පිළිපදිනවා. එවැනි හේතු නිසා වෙන්න ඇති මේ තරම් ඉක්මනට කලාවේ ජනප්‍රිය චරිතයක් වෙන්න හැකි වුණේ.

පාසල් කාලයේදිත් රංගනය හැදෑරුවද?
නැහැ. පාසලේදි හැදෑ‍රුවේ සංගීතය. මගේ පාසල හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය.

පියාගේ වියෝව තවමත් අනුරාධාට දැනෙනවා...
ඇත්තටම තවමත් තාත්තා ජීවත්වෙනවා වගේ දැනෙනවා. දැන් ඔහු මිය ගිහින් අවුරුදු දෙකයි. මම හිතන්නේ තාත්තා ඉන්න තැනක සිට මට ආශීර්වාද කරනව ඇති. ඔහු පොලිස් නිලධාරියෙක්. ඔහු නැත්නම් අද වනවිට අනුරාධා කියා කෙනෙක් කලාවේ නැහැ. දැන් මට මේ ලෝකේ ඉන්නේ අම්මත්, අයියත් පමණයි. අයියා විවාහකයි.

දිගටම රංගනයේ යෙදෙන්නද හිතාගෙන ඉන්නේ..
මොකද මේ කාලයේ වෙන දෙයක් නොකරන නිසා රංගනය වෘත්තිය වෙලා. දැනට නම් රංගනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

දිගටම රඟපානවාට පෙම්වතා අකැමැති වුණොත්..
අකැමැති වෙන්න තවම මට පෙම්වතෙක් නෑ. මේ දවස්වල මට විවාහ යෝජනා එනවා. නමුත් මම තවම එහෙම දෙයක් ගැන හිතලා නෑ. මම කැමැතියි මගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. මගේ අම්මාට සහ අයියට ගොඩක් දේවල් කරන්න තියෙනවා. මම රංගන ශිල්පිනියක වීම නිසා මේ වනවිටත් රටේ ලෝකෙ ගොඩක් තැන් දැකගත්තා සහ අත්වින්දා.

ඒ දේවල් මගේ අම්මාට සහ අයියාට දකින්න, අත්විඳින්න අවස්ථාව ලබා දෙන්න ඕනෑ. ඒ අයගේ බලාපොරොත්තු සපුරලා තමයි විවාහයක් ගැන හිතන්නේ. මගේ අම්මා කැමැතියි මම රංගනයෙන් ඉදිරියට යනව දකින්න. ඇයව සතුටු කිරීම තමයි මගේ බලාපොරොත්තුව.

gossip lanka