gossip lanka

ගොළු තරුණියක් බිය ගන්වා ගැබිනියක් කරපු පුද්ගලයාට සිද්ධ වුණ දේ

14 හැවිරිදි පාසල් සිසුවකුව සිටියදී 17 හැවිරිදි කථන ආබාධිත තරුණියක බලහත් කාරයෙන් දූෂණය කර ඇය මවක්‌ බවට පත්කළ පුද්ගලයෙකු චෝදනාවට වරද පිළිගත් අතර ඉකුත් 23 වන දින රත්නපුර අංක 1 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුට රුපියල් ලක්‍ෂ 2 ක වන්දියක්‌, වසර 2 ක සිරදඬුවමක්‌ සහ රුපියල් 15000 ක දඩයක්‌ නියම කළා.

විත්තිකරු වූයේ සමන්ත පුෂ්පකුමාර නොහොත් බණ්‌ඩාර නමැත්තෙක්. 1997.08.25 වන දින දෙල්වල
දී වයස 18 ට අඩු තැනැත්තියක්‌ දූෂණය කළේ යෑයි විත්තිකරු මෙම නඩුවේදී අධි චෝදනා ලැබ සිටියා.

විත්තිකරු පාසල් වියේ සිටියදී වින්දිත දැරියගේ දෙමාපියන් නිවෙසින් බැහැරව සිටි අවස්‌ථාවකදී දැරියගේ නිවෙසේ වැසිකිළිය අසලදී බියගන්වා මුල්වරට දූෂණය කළ බවත් පසුව රාත්‍රි කාලයේදී රහසේ නිවෙසට පැමිණ වරින්වර තවත් අවස්‌ථා 4 කදී එම වරදම කළ බවත් දැරිය තද බල ලෙස බිය ගන්වා තිබීම නිසා ගැබිනියක්‌ වන තුරුම දැරිය රහස රැකගෙන සිටි බවත් නඩුවේදි හෙළි වුණා.

ගැබ්ගත් දැරිය දරුවා ප්‍රසූත කළ පසු රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩත්තු නඩුව ප්‍රකාරව ඇයට දාව උපන් පිරිමි දරුවා වෙනුවෙන් විත්තිකරු නඩත්තු මුදල් ගෙවූ බවද දැරිය බිහිකළ දරුවාද ගොළු දරුවකු බවද හදා වඩා ගැනීමට ඇති නොහැකියාව මත එම දරුවා අඟුණකොළපැලැස්‌ස කථන ආබාධ අධ්‍යාපන මධ්‍යස්‌ථානයට භාරදී එහි අධ්‍යාපනය ලබන බවද මේ වන විට ඔහුගේ වයස අවුරුදු 20 ක්‌ බවද අධිකරණයේදී හෙළිදරව් වුණා.

දූෂණයට ලක්‌වූ දැරිය මේ වන විට අවුරුදු 38 ක වියපත් අවිවාහක කාන්තාවක්‌ ලෙස සිය දෙමාපියන්ගේ රැකවරණය හමුවේ අධිකරණයට පැමිණ සිටි අතර විත්තිකරු 35 හැවිරිදි අවිවාහක අයෙක්.

විත්තිකරු මුලසිටම දරුවාගේ පියා තමා නොවන බව තරයේම ප්‍රකාශ කළ අතර පසුව අධිකරණ නියෝගයකින් සිදුකළ ඩීඑන්ඒ පරීක්‍ෂණය අනුව දරුවාගේ පියා විත්තිකරු බවට සනාථ වුණා.

විත්තිකරු දැරියට ගෙවිය යුතු රුපියල් ලක්‌ෂ 2 ක වන්දි මුදල විත්තිකරු විත්තිකූඩුවේ සිටම ගෙවා දැමූ අතර එම මුදල පැමිණිලිකාරියගේ පියාට භාරදුන් අධිකරණය වින්දිත දැරිය බිහිකළ දරුවාගේ නමින් ඉතිරි කිරීමේ ගිණුමක්‌ විවෘත කර එම මුදල එහි තැන්පත් කර දෙසැම්බර් 5 වන දින බැංකු ගිණුම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරනු ලැබුවා.

විත්තිකරුට නියම කරන ලද බරපතල වැඩ ඇතිව වසර 2ක සිරදඬුවම වසර 15 කට අත්හිටුවනු ලැබුවා.


gossip lanka