ලාංකික IS ත්‍රස්තයාගේ ඥාතියෙකු වූ මුස්ලිම් ඇමති කවුදැයි හෙළිවෙයි (photos)

ඉස්ලාමීය රාජ්‍යය (IS) ත්‍රස්ත සංවිධානයට ඍජුවම සම්බන්ධ බවට පසුගිය දා ඔස්ටේ‍්‍රලියා ආරක්ෂක අංශවලට කොටු වූ ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයා මෙරට මුස්ලිම් දේශපාලනඥයකුගේ ඥාති පුත‍්‍රයකු බවට  වාර්තා කළා.

එම මාධ්‍ය වාර්තා පළ වීමත් සමග මෙම සිදුවීම පිළිබඳව රට තුළ වූ කතාබහ තවදුරටත් උණුසුම් වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ මොහොමඩ් කමීර්
නිලාර් නිසම්ඩීන් නමැති 25 හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙක්.

මෙවැනි පසුබිමක් තුළ අද දින පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ මෙම තරුණයාට ඥාති සබඳතා ඇති දේශපාලනඥයා වන්නේ  කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා බව යි.

ඔහු අමාත්‍යවරයාගේ බිරිඳගේ සොහොයුරියගේ පුත‍්‍රයා බව ද එහි වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් අදාළ වෙබ් අඩවිය විමසීමක් ද සිදුකොට ඇති අතර එහි දී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ අදාළ තරුණයා සමග තමාගේ ඍජු ඥාති සබඳතාවක් නොමැති බවයි.

සැකකරු සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු රජය ඉදිරි පියවර ගනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කළ කොන්ත්‍රාත් සේවකයෙකු වූ ඔහු ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවට පැමිණි අයෙකු බවයි එරට මාධ්‍ය සදහන් කළේ.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔහු සන්තකයේ තිබූ ඉස්ලාමීය රාජ්‍යය (IS) ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ සැලසුම් ද අනාවරණ වූ බව සදහන්.

මූලික පරීක්ෂණවලින් අනතුරුව ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය තීරණය කර ඇත්තේ මෙම ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයා ඉස්ලාමීය රාජ්‍යය (IS) ත්‍රස්ත සංවිධානයට ඍජුවම සම්බන්ධ අයෙකු බවයි.

එමෙන්ම ඉලක්ක කරන පුද්ගලයින් හා සිඩ්නි නුවර මර්මස්ථාන ඇතුළත් සටහන් පොතක් ද ඔහු සතුව තිබී හමුව ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළා.

පසුගිය දා ධූරයෙන් ඉවත් වූ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ ඇමැතිනි ජුලියා බිශොප් සහ ලිබරල් පක්‍ෂ නායකයකු වූ බ‍්‍රවුනින් බිශොප් යන දේශපාලනඥයින් ඝාතනය කිරීම ද මොහුගේ සැලසුම් අතර තිබූ බව ඔස්ටේ‍්‍රලියා ත‍්‍රස්ත මර්දන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

එසේම ලෝක පූජිත සිඩ්නි ඔපෙරා ශාලාවට මෙන්ම පොලිස්‌ සහ දුම්රිය ස්‌ථානවලට ද ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් මොහු සතුව තිබූ බව ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම වැඩිදුරටත් අනාවරණය වී  ඇත්තේ  සිඩ්නි වරාය ද ඔහුගේ ඉලක්ක අතර තිබී ඇති බවයි.

අගමැති ටර්න්බුල් සහ හිටපු විදේශ ඇමැතිනි බිශොප් මරා දැමීමට සැලසුම් කර ඇත්තේ ඔවුන් IS සංවිධානයට එරෙහි හඬ නැගූ  නිසා බවයි වාර්තා වන්නේ.

මොහු ශ්‍රී ලංකාව වෙත කිහිප වතාවක් පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ හෙළිදරව් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් කිහිපයකට මොහු පසුගිය කාලය තුළ ගමන් කර ඇති බව ද එරට ආරක්ෂක අංශ පවසන නමුත් එම අනෙකුත් රටවල් කවරේ ද යන්න පිළිබඳව අනාවරණය කර නැහැ.

අදාළ ශ්‍රී ලාංකිකයාට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු පැවරීමට  ඕස්ට්‍රේලියානු බලධාරින් කටයුතු කර තිබෙනවා.

ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තාව මෙතනින්