එක ගබ්සාවක්‌ දාහත්දහස්‌ පන්සියයක්‌! නඩුත් තියෙද්දි ජාඇල ගෙදරක ගබ්සා මධ්‍යස්‌ථානයක්!

නොමනා හැසිරීම් රටා නිසා ගැබ් ගැනීම හේතුවෙන් පැමිණෙන තරුණියන්ට ගබ්සා කිරීමේ හා ගබ්සා පෙති (ටැබ්ලට්‌) අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නියෑළුණු ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු රුපියල් ලක්‌ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුතු ගබ්සා පෙති 80 කට අධික ප්‍රමාණයක්‌ සමඟ අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය 13 වැනිදා සවස සමත් විය.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරේ ජාඇල


ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලක (ෆාමසි) හිමිකරු සහ එම ගබ්සා පෙති පෞද්ගලික ඔසුසලට අලෙවි කළ පුද්ගලයා ද වන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

ප්‍රධාන සැකකරු ජාඇල, නිවන්දම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයකු බවත්, මොහු නිවසක හිඳ මෙම නීති විරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල නිරතව ඇති බවත් හෙළිවිණැයි ද එම නිලධාරියා කීය.

මොහුගෙන් ගබ්සා කර ගැනීමට අවුරුදු 14 ත් 25 ත් අතර වයසේ තරුණියන් පැමිණ ඇති බවත්, මින් වැඩිම පිරිසක්‌ ඇඟලුම් ආයතනවල සේවය කරන තරුණියන් බවත්, එක ගබ්සාවක්‌ සිදු කිරීම සඳහා රුපියල් දාහත්දහස්‌ පන්සියයක්‌ ප්‍රධාන සැකකරු විසින් අයකර ඇතැයි හෙළි වූ බවත් එම ඒකකය කියා සිටියේය.

ගබ්සා පෙත්තක්‌ (ටැබ්ලට්‌) ප්‍රධාන සැකකරු විසින් රුපියල් විසිදහසක මුදලකට අලෙවි කර ඇතැයි හෙළි වූ බව ද එම නිලධාරියා කියා සිටියේය.

ප්‍රධාන සැකකරු මීට පෙර කාන්තාවක ගබ්සා කිරීමේදී මියයැම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩුවක්‌ විභාග වෙමින් පවතින බව හෙළිවිණැයි ද එම නිලධාරියා කීය.

ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු ගබ්සා පෙති මිලදී ගත් ජාඇල පෞද්ගලික ඔසුසල් හිමිකරු (68) කොටු කර ගත් බව ද එම නිලධාරියා පැවසීය.

 අනතුරුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුට ගබ්සා පෙති ලබාදුන් කිරුලපන පදිංචි 52 හැවිරිදි අයකු ද අත්අඩංගුවට ගත් බව හෙතෙම කීය.

ප්‍රධාන සැකකරු විසින් දැනට නීති විරෝධී ගබ්සා කිරීම් 40 කට අධික ප්‍රමාණයක්‌ සිදු කර ඇතැයි අනාවරණය වී තිබේ.

 අධ්‍යක්‌ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ අධීක්‌ෂණය යටතේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක රංජිත් රාජපක්‌ෂ මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‌ෂක සම්පත්, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ජයලාල් (428), ප්‍රබුද්ධ (77981), මධුසංඛ (79548), කුලතුංග (84609), තෙන්නකෝන් (87154), ප්‍රියංකර (82452), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් නදීකා (7148), පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරු උදාර (16227) යන නිලධාරීහු හා ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.



gossip lanka