ඡන්දයට ඉදිරිපත් වෙනවා කියන අදහස මා තුළ තිබුණේ නැහැ

මුලින්ම නිවේදකයෙකු ලෙස ප්‍රේක්ෂක අවදානය දිනාගත් ඔහු පසුව ප්‍රේක්ෂකාදරය දිනාගනිමින් රංගනයටද ප්‍රවේශ විය. මේ වනවිට කලාකරුවෙකු සේම දේශපාලනඥයෙකු ලෙසද කටයුතු කරන ඔහු ශෂි රංග වික්‍රමසේකරය. මේ කතාබහ ඔහු සමගිනි.

මුතු කුඩ ටෙලිනාට්‍යයේ රංගන දායකත්වයෙන් පසුව ඔබ දායක වන නිර්මාණ ගැන කතා කළොත්?

‘මුතුකුඩ’ ටෙලි නාට්‍යය අවසන් වූ පසු, එරංග
සේනාරත්න මහත්මයා අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක් වන ‘ඉලන්දාරියෝ’ ටෙලිනාට්‍යයට
දායක වෙන්න හැකියාව ලැබුණා. පසුගිය දිනවල, මොරටුව හා පානදුර ප්‍රදේශවල එහි රූගත කිරීම් සිදුවුණා

ඉලන්දාරියෝ ටෙලිනාට‍යේ ඔබේ රංගන දායකත්වය ගැන කතා කළොත්?

මම ත්‍රීවිල් රියදුරෙකුගේ චරිතයක් තමයි එහි නිරූපණය කරන්නේ. බෝඩිමක සිටින කොල්ලෝ හතර දෙනෙකු වටා තමයි මෙම කතාව ගොඩ නැගෙන්නේ. මම ත්‍රිවිල් රියදුරෙක් ලෙස කටයුතු කරනවා. තව කෙනෙක් සංගීතයට යොමු වූ කෙනෙක්. තවත් කෙනෙක් ටුවරිසම් සිදුකරනවා. තව කෙනෙක් නිශ්චිත රැකියාවක් කරන්නේ නැහැ. මේ ජීවිත ගැන තමයි මෙහි කතා කරන්නේ.

රංගන ශිල්පියෙක් ලෙස එතරම් නිර්මාණවල දකින්න නොලැබෙන්නේ ආරාධනා නොලැබෙන නිසාද ?

පහුගිය කාලයේ කාලවේලාව කෙසේ හෝ වෙන් කරගෙන ටෙලිනාට්‍යය තුනකට පමණ මම දායක වුණා. ඕනෑම රංගන ශිල්පියෙකුට එහෙම කාලයක් තියනවා.ඒ කාලවල සමහර වෙලාවට අසීමිත ලෙස වැඩ තිබෙනවා. එහෙම නොමැති කාලවකවානුත් තියනවා. ඒ කාලෙදී මෙලෙස සාමාන්‍යය පරිදි වැඩ කටයුතු සිද්ද වෙනවා. මම රංගන ශිල්පියෙක් ලෙස වැඩකටයුතු ආරම්භ කළ දවසේ ඉඳන් මේ වන විටත් අඩුම තරමින් රංගනය සඳහා නිර්මාණ එකක් හෝ ලැබී තිබෙනවා. පසුගිය කාලයේ මුතුකුඩ ,ඉලන්දාරියෝ හා සියත නාළිකාවේ ටෙලිනාට්‍යයකටත් දායක වුණා. මේ වෙද්දී ඉලන්දාරියෝ ටෙලිනාට්‍යායේ වැඩකටයුතු කරනවා. මේ කෙසේ වුණත් මට ලැබෙන්නේ එක නිර්මාණයයිද, මට එලෙස ලැබෙන නිර්මාණයට මම උපරිම සාධාරණයක් ඉටු කරනවා.

රංගන ශිල්පියෙක් ලෙස එලෙස සාධාරණයක් ඉටුකරන්න අපේක්ෂා කළත් නිවේදන කාර්යයෙන් ඔබ ඉවත්ව සිටිනවා?

අවසානයටම මම ‘සියත’ නාළිකාවේ නිවේදකයෙක් ලෙස කටයුතු කළා. පුද්ගලික වැඩ කටයුතු එක්ක ඇතිවුණ කාර්යය බහුලත්වයත් එක්ක තමයි නිවේදන කටයුතුවලින් ඉවත්වෙන්න සිද්ද වුණේ. මම කැමතියි රංගන ශිල්පියෙක්ට වඩා නිවේදකයෙක් වෙන්න. ඒ නිසා ඉදිරියේදී නිවේදකයෙක් ලෙස වැඩකටයුතු කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. මම දැන් මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කරනවා.

මේ මන්ත්‍රී භූමිකාවට පාලමක් හදා ගන්නද ඔබ මුලින් ඔබගේ නමින් පදනමක් නිර්මාණය කරගත්තේ?

‘ශෂි රංග වික්‍රමසේකර ජන සහන’ නමින් පදනමක් නිර්මාණය කරගත්තේ මීට වසර තුනකට පෙරදී. ඒක කළේ දේශපාලන අරමුණක් එක්ක නෙමෙයි. ඒ වෙද්දී මම ඡන්දය ඉල්ලනවා කියලා තීරණයක් අරගෙන තිබුණේ නැහැ. අපේ ගමේ ඉන්න දරුවන්ට පොත් පත් ලබාදෙන වැඩකටයුත්තක් තමයි එහි සිදුකළේ. මෙයට ගමේ ජනතාවගෙන් ප්‍රසාදයක් ලැබුණා.

‘සිසුදිරිය’ කියලා වැඩසටහනකුත් ආරම්භ කළා. හැම වසරකම මේ කටයුතු කළා. වෙහෙර විහාරවලට උදව්කරන වැඩත් අපි කළා. පදනමට මුදල් නැති වුණත් හැම මාසෙකම ප්‍රාදේශීය සභාවෙන් ලැබෙන දීමනාවෙන් මම මාසයකට එක සමාජ සේවාවක් කරනවා. රංගනය හා මගේ නිෂ්පාදන ආයතනය තුළින් ජීවන වෘත්තියට මුදල් ලැබෙනවා. පදනමක් පිහිට ගන්න ප්‍රධාන අරමුණ වුණේ ගමට වැඩ කරන්න. ගමට වැඩ කරන්න මුල් වුණේ දේශපාලනය නෙමෙයි. මගේ ගමේ තිබ්බ අපහසුතා මම දැක්කා. දේශපාලනයෙන් ගමට දෙයක් වෙන්නේ නැහැ කියන එක දැක්කා. මම ඒ කටයුත්ත කරද්දී මිනිසුන් මාව අනුමත කළා. ඔවුන්ගේ ආදරය ලැබුණා.ඒත් එක්කම මට දේශපාලනයට යොමු වෙලා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන්න ලැබුණා.

කලාකරුවෙක් ලෙස නිර්මාණ තුළින් දේශපාලනය කරන්නේ නැතුව ,දේශපාලනඥයෙකු ලෙස ඉදිරියට එන්නේ ඇයි?

කලාකරුවෙක් ලෙස මම වසර ගණනාවක්ම කටයුතු කළා.මේ අතර තුර මම විවිධ අවස්ථාවන්වලදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරැන්ගේ මාධ්‍යය ලේකම්වරයෙකු ලෙසත් වැඩකටයුතු කර තිබෙනවා. කවදා හෝ ඡන්දයට ඉදිරිපත් වෙනවා කියන අදහස මා තුළ තිබුණේ නැහැ. නමුත් ඒ කාලය තුළ මම දේශපාලනය හොඳින්ම සිදුකළා. මේ කටයුතුවලින් ඉවත්වෙනවාත් එක්ක මෙවර පැවැත් වූ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණා. ගමේ ඡන්දයක් තිබුණේ. ගමේ බොහෝ දෙනාගේ ඉල්ලීමක් අනුව තමයි මම මෙයට ඉදිරිපත් වුණේ.

මම විවිධ අය සමග ජාතික දේශපාලනය තුළ කටයුතු කර තිබෙනවා. ඒ ආභාෂය එක්ක තමයි මේ දේශපාලනඥයෙක් බවට පත්වුණේ. අවසානයේදි මට මැතිවරණය ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබුණා. මේ වන විට හැමදේම සමබරව සිදුකරගෙන යනවා. දේශපාලඥයෙක් ලෙස ජනතාව මාව පිළිගත්තා.

ශෂි රංග කියන කලාකරුවා,ශෂිරංග කියන දේශපාලනඥයා තරම් පිළිගත්තේ නැද්ද?

කලාකරුවා කියන තැන මම උපරිමයෙන් කටයුතු කළා.අදටත් බොහෝ දෙනෙක් කියන්නේ මම මන්ත්‍රීවරයෙක් නොවී නළුවෙක් වුණොත් හොඳයි කියලා. මන්ත්‍රීවරයෙක් මට නළුවෙක් කියලා කියන්න බැහැ කියලත් සමහර අය කියනවා. සමහර දේශපාලන චරිත ගත්තම විවිධ හැල හැප්පි මඩ ප්‍රචාර එක්ක කටයුතු කරන්න වෙනවා. නමුත් මම කලාකරුවෙක් ලෙස සමාජය පිළිගත්තා, මිනිසුන් ආදරය කළා. ඒ නිසා කලාකරුවට කරන ආදරයම ඒ මන්ත්‍රීවරයාට ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකයි මම මෙහි කටයුතු කරන්නේ.

ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ අවසන් ලෙස සඳහන් කළොත්?

එරංග සේනාරත්නගේ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු මේ වන විට සිදුවෙනවා. ටෙලිනාට්‍යය දෙකකට සිරස ආයතනයෙන් මට ආරාධනා කර තිබෙනවා. මම අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුද්ගලික ජීවිතය පැත්තෙන් කතා කළොත් ළඟදිම විවාහ වෙන්න අපේක්ෂාවෙන් සිටිනවා.


නිදුක් මදුෂික