gossip lanka

ගොසිප්වලට බයනැති චූටි මැණිකේ; කෝල් එකක් ගන්න ෆෝන් එක දෙනවාද?... මගතොටේදී කොල්ලෝ ශලනිට කියන කතා...

ස් ස් ස්... පහලටද යන්නේ ? මේ පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පට කෝල් එකක් ගන්න ?' 

මේ ඉතා දිගු කාලයක් මුහුණුපොතේ සංසරණය වුණු පෝස්ට් එකක්. දෙවැනි ඉනිමට චූටි මැණිකෙගේ ආගමනයත් එක්කම තමයි මේ පෝස්ට් එක හැදෙන්නේ. ඒ ඇයගේ චරිතයට පේ‍්‍රක්ෂකයන්ගේ හිත් ඒ තරමටම ආකර්ෂණය කරගත් නිසා. ශලනි ප‍්‍රනාන්දු කිව්වම ඔබ බලයි මේ කවුද කියලා. කවුරුත් ඇය හදුනන්නේ චූටි මැණිකේ කියලා. ඇය දෙරණ
2017 වර්ෂයේ සුරූපී අවුරුදු කුමරිය. බොහෝ පේ‍්‍රක්ෂකයන් ගේ ඉල්ලීම නිසාවෙන්ම අද මීවිත කතාබහ ඇය වෙනුවෙන් වෙන්කරන්න අපි හිතුවා. මේ ඔබ ආදරය කරන චූටි මැණිකේ.

කොහොමද චූටි මැණිකේට තියෙන ප‍්‍රතිචාර මුල් කාලේ වගේමද ?

මුල් කාලෙට වඩා සෑහෙන ප‍්‍රමාණයකින් ප‍්‍රතිචාර වැඩිවෙලා කියලා දැනෙනවා. ඒ කියන්නෙ මුල්කාලේ මට ගොඩක් අය අඩුපාඩු කිව්වා. බැනලා තිබුණා. ඉන් පස්සෙ කාලයත් එක්ක මම ඒ හැමදෙයක්ම හදාගත්තා. ඒ වැරදි හදාගෙන තමයි අද මම මේ චරිතෙ කරන්නේ. මං ඒ වැරදි හදාගත්ත නිසා වෙන්න ඇති අද මට ඒ කාලෙට වඩා ප‍්‍රතිචාර වැඩියෙන් ලැබෙන්නේ. හැමදේටම මුහුණ දුන්න නිසා සහ මම හොඳ නරක දෙකම භාරගත්ත නිසා අද සෑහෙන ප‍්‍රතිචාර තියෙනවා.

 මොකද තාමත් ශලනි දෙවැනි ඉනිමෙන් විතරක් දකින්න පුළුවන් ?

මේ දවස්වල නම් දෙවැනි ඉනිමේ වැඩත් එක්ක තමයි ඉන්නේ. ආරාධනා ලැබෙන්නෙ නැතුව නෙවෙයි. ගොඩක් ආරාධනා ලැබෙනවා. නමුත් මම අලූත් නිර්මාණ කිසිවක් භාරගත්තේ නැහැ. මොකද මම ලන්ඩන් උසස් පෙළ විභාගයට සූදානම්වන ගමන් ඉන්නේ. ඒ වැඩත් එක්ක මට තවත් නිර්මාණ ගණනාවකට දායකත්වය දෙන්න අමාරුයි. අධ්‍යාපනයට මුල් තැන දීල තියෙන නිසා අනෙක් නිර්මාණ පොඞ්ඩක් පස්සට දාලා තියෙන්නේ. ඒකයි දැනට දෙවැනි ඉනිමෙන් විතරක්ම මාව දැකගන්න පුළුවන්.

ශලනි කියන්නේ මොනවගේ කෙනෙක් ද කිව්වොත් ?

මෙහෙමයි. ශලනි ප‍්‍රනාන්දු කියන්නේ පොඩි වයසෙන් ගොඩාක් දුර ආපු කෙනෙක්. මට අවුරුදු 05 දී තමයි මගේ තාත්ත නැතිවෙන්නේ. මට දැන් ඉන්නේ අම්මයි අයියයි විතරයි. වයස 17 දීි මම දෙරණ අවුරුදු කුමාරි වෙනවා. ඊට පස්සේ ලංකාවේ ජනප‍්‍රියම ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් ලැබෙනවා. එහෙම බලද්දි මම ගොඩක් දුර ඇවිත් තියෙනවා මේ පොඩි වයසට. ශලනි කියන්නේ ලේසියෙන් වැටෙන කෙනෙක් නෙවෙයි. මම හරි ශක්තිමත්. මම ආස නැහැ හිතේ එකක් තියාගෙන වෙන එකක් පිටට පෙන්නන අයට. ඒ වගේම කෙනෙකු ගේ අතීතය බලලා ඒ කෙනාව මනින කෙනෙකුත් නෙවෙයි. මගෙ හිත හරි ඉක්මනට රිදෙනවා. ඒ වුණාට ඒ දේ මම පිටට පෙන්නන්නේ නැති කෙනෙක්.

 අවුරුදු කුමාරි වුණේ නැත්නම් ඔබේ මේ ගමන වෙනස්වෙන්නේ කොහොමද ?

කුඩා කාලේ ඉඳන් මගේ හීනේ තියෙන්නේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න. ඒක අදටත් එහෙමමයි. ඒ ගැන මම දැන් ඉගෙනගන්න හොයනවා. කොහොමත් මගේ හීනෙ වෙන්නේ ඒ ක්ෂේත‍්‍රයට යොමුවෙන්න තමයි. අවුරුදු කුමාරි වුණ නිසානේ මට මේ අවස්ථාව ලැබෙන්නේ. එහෙම වුණේ නැත්නම් මම උසස් පෙළ කරගෙන ෆැෂන් ඩිසයින් පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරලා ඒ පැත්තෙන් ඉදිරියට යයි.

නවක රංගන ශිල්පිණියක් වන ඔබට හිතෙන විදියට ගැහැණු ළමයෙකුට මේ ක්ෂේත‍්‍රයේ තනියම වැඩ කරන්න පුළුවන්ද ?

ඕනෑම ක්ෂේත‍්‍රයක හොඳ නරක දෙකම තියෙනවා. අපි දැනගන්න ඕනේ හොඳ තියාගෙන නරක ඈත් කරන්න. ඒක අපි අතේ තියෙන්නේ. අපිට කවුරුවත් බල කරන්නේ නැහැ මේක කරන්න මේක කරන්න කියලා. අනික බල කරත් ඒක කරනවද නැද්ද කියන එක අපේ අයිතියක්. මේකෙ හැමදෙයක්ම තියෙනවා. අපි දැනගන්න ඕනෑ මේකෙ ඇවිත් ඉන්න විදිය. මම කියන්නෙ නැහැ ගැහැණු ළමයින්ට රඟපාන්න එන්න එපා කියලා. එන්න. හැබැයි මොළේ කල්පනා කරලා වැඩකරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මගේ අම්ම සහ අයියා මට හැමදේකටම ඉන්න නිසා මම බය නැහැ. හැමදෙයක්ම ඒ දෙන්නත් එක්ක කතාකරලා තමයි මම කරන්නේ. මේක නරක ක්ෂේත‍්‍රයක් නෙවෙයි. හරි සුන්දරයි.

ශලනිට පෙම්වතෙක් එහෙම නැද්ද ?

තවම නම් නැහැ.

මේ පොඩි කාලෙට කලා ක්ෂේත‍්‍රය තුළ සහෝදර කලා ශිල්පීන්ගෙන් ආදර යෝජනා එහෙම ඇවිල්ල නැද්ද ?

අපෝ ඕනෑතරම් යෝජනා ඇවිල්ලා තියෙනවා. හැබැයි මම භාරගත්තේ නැහැ.

 නිරූපණයට නිවේදනයට යන්න අදහසක් නැද්ද ?

අකමැත්තක් කියලා නැහැ. ආරාධනාවක් ආවොත් එහෙම ආසාවෙන් භාරගන්නවා. නිරූපණය මට අලූත් දෙයක් නෙවෙයි. අවුරුදු කුමාරි වුණත් එක්කමයි මම නිරූපණයට යොමු වෙන්නේ. අදටත් ඒ වැඩ කරගෙන යනවා. ඕනෑම ක්ෂේත‍්‍රයක වැඩකරන්න ආරාධනාවක් ආවොත් මට ගැළපෙන දෙයක් නම් මම ආසාවෙන් ඒ දේ භාරගන්නවා.

ජනප‍්‍රිය සම්මානයට නිර්දේශ වෙලත් ඒක ලබාගන්න බැරිවුණ එක ගැන හිතේ දුකක් නැද්ද ?

ඇත්තටම නැහැ. සුමති ජනප‍්‍රියම ඛාණ්ඩයේ අවසාන 10 දෙනාට මම ආවා. සම්මානය ගන්න බැරිවුණා කියල මට දුකක් නැහැ. මේ පොඩි කාලේදි ඒ තැනට ආපු එකම මම ලබපු ජයග‍්‍රහණයක්. ඒක මට සම්මානයක් ලැබුණා හා සමානයි. මේ තියෙන අඩුපාඩුත් හදාගෙන බලමු ඉස්සරහට.

මගතොටේදි කොල්ලො එහෙම ෆෝන් එක දෙන්න අහන්නෙ නැද්ද ලොකු අප්පට කෝල් එකක් ගන්න ?

ඉල්ලන වාර අනන්තයි. මගෙන් අහනවා ෆෝන් එක දෙන්නද කියලත් සමහර වෙලාවට. ඒ දෙබස සෑහෙන්න දුර ගිය දෙබසක්. ගොඩක් ආදරෙන් හැමෝම කතාකරනවා. එතකොට මට දැනෙන සතුට කියාගන්න බැරි තරම්. සතුටුයි මට ඒතරම් පේ‍්‍රක්ෂකයන් පිරිසක් ඉන්න එක ගැන.

ශලනි ගොසිප් ගැන මොකද හිතන්නේ ?

5.4ශලනි කියන චරිතේ පොඞ්ඩක්වත් ගොසිප් වලට බය කෙනෙක්වත් සැලෙන කෙනෙක්වත් නෙවෙයි. කෙටියෙන්ම කිව්වොත් ඒ ගොසිප් හදන එකෙන් වෙන්නෙ අපි තව තවත් ප‍්‍රසිද්ධ වෙන එක. මටත් මුල්ම දවස්වල මම බැඳලා කියලා ගොසිප් එකක් හැදුණා. සෑහෙන කාලයක් ඒක ගියා. අදටත් මිනිස්සු මගෙන් අහනවා මම බැඳලද කියලා. ඒ නිසා මම ගොසිප් ඔළුවට ගන්නේ නැහැ. ඒවා එනවා යනවා. ඒ පස්සෙන් යන්න මට වෙලාවක් නැහැ ඇත්තටම.

ප‍්‍රසංග මාභරණ
ඡායාරූප - තුෂාර සංජීව


gossip lanka