gossip lanka

'දිලි' කියන චරිතයට අදටත් ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා

තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් නිළියන් අතරේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය හරහා කලා ක්ෂේත්‍රයට ආ සෙනාලි ෆොන්සේකාට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ප්‍රකාශ් සීවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘දිලී’ ලෙස පසුගිය දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගත් සෙනාලි, මේ දිනවල සිනමා නිර්මාණ කිහිපයක් සමගින් එක්ව සිටින්නීය. මෙවර කතාබහ දිග හැරෙන්නේ ඇය සමගිනි.

‘හාර කෝටිය’යෙන් පස්සේ සෙනාලිව අපි කලා නිර්මාණවලින් දුටුවේ නැහැ?

‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වුණා. ඒ නිසා ටෙලි නාට්‍යවලට දායක වුණේ නැහැ. බාර ගත්තු චිත්‍රපට දෙකක වැඩ ඉවරයි. මේ දිනවල තවත් කිහිපයක වැඩ කරගෙන යනවා. චිත්‍රපට ප්‍රදර්ශනය කරන කොට ඒ නිර්මාණවල තොරතුරු කියන්නම්.

‘සිරි පැරකුම්’ වලින් පස්සේ නේද සෙනාලි චිත්‍රපටයක වැඩ කරන්නේ?

ඔව්, ‘සිරි පැරකුම්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණ කාලයේදීත් මට චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නමුත්, මම විදෙස් ගතවෙලා හිටිය හින්දා මට ඒ නිර්මාණ භාර ගන්න බැරි වුණා. අනෙක් කාරණය තමයි ‘සිරි පැරකුම්’ චිත්‍රපටයෙන් පස්සේ මම වැඩිපුරම කාලය යොමු කරලා තිබුණේ මගේ අධ්‍යාපන කටයුතුවලට. ඒ නිසා චිත්‍රපට සඳහා සම්බන්ධ වෙන්න ලැබුණ ආරාධනා ප්‍රතික්ෂේප කළා.

ඔබ එම නිර්මාණවල රඟපාන්නේ?

දැනට වැඩ ඉවර කරලා තියෙන චිත්‍රපට දෙකෙන් එකක මම ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. අනෙක් චිත්‍රපටයේ නම් ප්‍රධාන චරිතය නෙමෙයි කරන්නේ. ඒත්, ඒ චරිතය චිත්‍රපටය පුරාවටම කතාබහ වෙන චරිතයක්. කරන චරිතය මට ඉතින් වැදගත් නැහැ. සුළු චරිතයක් වුණත් ඒ තුළ මට යමක් කරන්න පුළුවන් නම්, මම ඒ චරිතය භාරගෙන කරනවා.

ඔබ රඟපෑ ‘දිලි’ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා නේද?

ඔව්, අදටත් ‘දිලි’ චරිතයට ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ‘සිරිමල් එතෙනා’ චරිතයට පස්සේ බොහෝ දෙනෙක් මා ගැන කතා කළේ මේ චරිතය හරහා. ඇත්තටම, මේ චරිතය මට ලොකු අභියෝගයක් වුණ චරිතයක් කිව්වොත් හරි. නමුත්, මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි එහි අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම මට ලබාදුන්න සහයෝගය ගැන. ඒ නිසා තමයි මේ චරිතයට මට යම් සාධාරණයක් කරන්න ලැබුණේ.

‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ දෙවැන්න ‘කෝටිපතියෝ’. ඒ ටෙලි නාට්‍යයට ඔබ නැහැ?

දෙවැනි නාට්‍යයටත් මට කතා කළා. නමුත්, මට හිතුණා ‘දිලි’ කියන චරිතය ‘හාර කෝටිය’ හරහා ජනප්‍රිය වුණා කියලා. ඔය චරිතය හරහා මම දිගටම ප්‍රේක්ෂකයන් අතරට ගියොත්, සමහරක් විට ඔවුන් මාව එපා වෙන්නත් පුළුවන් කියන දේ මගේ හිතට ආවා. ඒ හින්දා ‘හාර කෝටිය’ තුළ ‘දිලි’ ජනප්‍රිය වුණා හොඳටම ඇති කියලා හිතලා තමයි මම ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ නොවුණේ. ‘දිලි’ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා වගේම, මම කැමතියි අලුත් චරිතයකින් ප්‍රේක්ෂකයෝ මා ගැන කතා වෙනවා නම්. ඉදිරියේ දී බොහෝ විට මා නිරූපණ කළ චරිතය ‘දිලි’ වගේ ජනප්‍රිය වේවි කියලා හිතනවා.

ටෙලි හා සිනමා නිර්මාණවල නොදැක්කත් ඔබ මේ දිනවල ගීත රූප රචනාවක් තුළ ජනප්‍රිය වෙලා තියෙනවා?

ඔව්, ප්‍රිහාන් මඩප්පූලී ගායනා කරන ‘යන්න එපා සූදෝ’ කියන ගීතය තුළින්. මම දායක වුණ පළමු ගීත රූප රචනාව ඒක. එය රංගනයෙන් යමක් කරන්න ලැබුණ ගීත රූප රචනාවක් කිව්වොත් හරි. එහි මම දියණියක්, බිරිඳක්, මවක් හැටියට රඟපානවා. මේ දිනවල මේ ගීතය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම මේ ගීතයට රසික ප්‍රතිචාරත් ඉහළින්ම ලැබෙනවා.



බුද්ධික සේනාධීර

gossip lanka