gossip lanka

පාසල් ශිෂ්‍යාවෝ පස්දෙනෙක් තරුණයන් දෙදෙනකු සමඟ අරක්කු බී සූර් වෙති

ගනේමුල්ලේ යාගොඩ ප්‍රදේශයේ නිවෙසක උපන් දින සාදයක් යැයි පවසමින් මත්පැන් පානය කර සූර් වී කෑගසමින් සිටි පාසල් සිසුවියන් පස් දෙනකු හා ඔවුන් රැගෙන ආ බව කියන තරුණයන් දෙදෙනකු පෙරේදා (22දා) සවස ගනේමුල්ල පොලිසිය විසින් අල්ලා පොලිසියට රැගෙනවිත් තිබේ.

119 හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගනේමුල්ල පොලිස්
නිලධාරීන්ට දැරියන් පස්දෙනා මෙසේ සොයා ගැනීමට හැකිව තිබේ.

මේ සිසුවියන් පස්දෙනා අතරින් එක් සිසුවියක් හා තරුණයකු අතර සම්බන්ධයක් තිබී ඇති අතර ඒ අනුව උපන් දින සාදය මෙම ස්ථානයේ පවත්වා තිබේ. පසුව මත්පැන්වලින් සූර් වූ පිරිස සද්දෙට කෑගසමින් පාටිය සමරා තිබේ. කාලයක සිට මෙම නිවෙසේ සිදුවන යම් යම් සිද්ධීන් පිළිබඳ විමසිල්ලෙන් පසුවූ ප්‍රදේශවාසීන් මෙහි යම් අපචාරයක් සිදුවන බවට සැක සිතී පොලිසියට දැනුම් දී තිබේ.

මේ අය කඩවත ප්‍රදේශයේ පාසලක සිසුවියන් වන අතර ලබන වසරේ අ.පො.ස. සා.පෙළ විභාගයට මුහුණදෙන ළාබාල වයස්වල පසුවන්නන්ය. අමතර පන්ති යන මුවාවෙන් එක් සිසුවියකගේ ඇරයුමින් මේ ගමන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තරුණයන් දෙදෙනා සන්තකයේ තිබී ගංජා සුරුට්ටු පොලිසියට හසුවී තිබේ. තරුණයකු පොලිසියට පවසා ඇත්තේ නිවෙස තමාගේ නැන්දාගේ බවත් නැන්දා විදේශගතව සිටින නිසා තමා නිවෙස බලාගෙන ජීවත් වන බවත්ය. නමුත් ඊයේ (23දා) පරීක්‍ෂණ පවත්වන විට මොවුන් පැවැසූ සියල්ල බොරු බව පොලිසියට සනාථ වී තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට තරුණයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දැරියන් පස්දෙනා තවමත් පාසල් වයසේ පසුවන්නියන් නිසා ඔවුන්ගේ අනාගතය ගැන සිතූ පොලිසිය මවුපියන් කැඳවා දැඩි ලෙස අවවාද කර මවුපියන්ට භාරදී තිබේ. කිසිදු දෙයක් නොදැන පැමිණි මවුපියන් සිද්ධිය දැන ගැනීමත් සමඟ හඬා වැටෙමින් පොලිසියට ස්තුති කර දරුවන්ට පහර දෙමින් ගෙනගොස් තිබේ.

පොලිසිය පවසන්නේ මවුපියන් සිය දරුවන් ගැන විමසිල්ලෙන් පසුවිය යුතු බවයි. මෙසේ මත්පැන් පානය කර සිහි විකල් වීමෙන් පසුව සිදුවන දේ කිසිවකුට තීරණය කළ නොහැකි බව පවසන පොලිසිය ප්‍රදේශවාසීන්ගේ හා පොලිසියේ විමසිලිමත් බව නිසා දැරියන් විපතකින් තොරව මවුපියන්ට භාරදීමට හැකිවූ බව පැවැසීය.



gossip lanka