" නිර්වින්දනයේ ඉද්දි මෙවැනි දෙයක් කොහොම වුනාද මට කියන්න බැහැ..." - ලෝකයම පුදුම කරමින් ගර්භාෂයෙන් කුඩා අතක් එළියට ආ හැටි ගැන ඇත්ත නැත්ත

අමෙරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටාහි පදිංචි අඹුසැමි යුවළක් වූ ඇලෙක්ස් ආර්මස් සහ ජුලියා වර්ෂ 1999 වනවිට සිය කුළුඳුල් දරු උපත අපේක්ෂාවෙන් සිටියහ. ජුලියා වෘත්තියෙන් ප්‍රසව හෙදියක වූ අතර මැයි මාසයේ ඇගේ කුසට සති 14 ක් සම්පූර්ණව තිබුණෙන් කල් නොයවාම ඔවුහු උපදෙස් පතා නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු හමුවට ගියහ. එහිදී ජුලියා අල්ට්‍රාසවුන්ඞ් පරීක්ෂණයකට භාජන කළ
වෛද්‍යවරයාට දැනගත හැකි වූයේ ජුලියාගේ කුස තුළ සිටින බිලිඳාගේ කශේරුකාව සම්බන්ධ ගැටලූවක් පවතින බවයි. තවදුරටත් කළ පරීක්ෂණ වලදී හෙළි වූයේ දරුවාගේ කශේරුකාව ස්ථාන දෙකකින් බිඳීමකට (Spina Bifida) ලක්ව ඇති බවය.

මෙය බරපතළ තත්ත්වයක් බැවින් වෛද්‍යවරයාගේ අදහස වූයේ ජුලියා නාරි හා ප්‍රසව ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඒ පිළිබඳ ඉහළ විශේෂඥයකු වෙත යොමු කළ යුතු බවයි. වහා ක්‍රියාත්මක වූ අඹුසැමි යුවළ අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කොට ඒ පිළිබඳ වඩාත්ම සුදුසු තේරීම සොයා ගත්හ. ඒ ටෙනසි ප්‍රාන්තයේ නෑෂ්විලීහි වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආයතනයේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමයි. වෛද්‍ය ජෝශප් බෲනර් හා වෛද්‍ය නොයෙල් ටියුලිපන් නායකත්වය ඉසිලූ එම වෛද්‍ය කණ්ඩායම ගර්භාෂ ශල්‍යකර්ම පිළිබඳ හසල අත්දැකීම්වලින් යුතු විය. ඒ හැරත් ප්‍රසව හෙදියක ලෙස ජුලියා වෛද්‍ය ජෝශප් බෲනර්ගේ විශිෂ්ට ශල්‍ය වෛද්‍ය හැකියාව ගැන දැනුවත්ව සිටියාය. ජුලියා පරීක්ෂා කළ වෛද්‍ය කණ්ඩායම කලලයේ Spina Bifida තත්ත්වය නැවත සනාථ කළ අතර ඔවුන්ගේ අදහස වූයේ ඊට අදාළ ශල්‍යකර්මය සඳහා කලලය මෝරා නැති බැවින් එයට සති 21 ක්වත් පිරුණු පසු එය සිදු කළයුතු බවය.

ඒ අනුව 1999 අගෝස්තු 19 දින ජුලියාගේ ශල්‍යකර්මය සඳහා නෑෂ්විලී වැන්ඩර්බිල්ට් වෛද්‍ය පීඨයේ ශල්‍යාගාරයේ සැත්කම් මේසය වටා වෛද්‍ය කණ්ඩායම රැස් වූහ. මේ වෛද්‍ය බෲනර් ඇතුළු කණ්ඩායමේ 54 වන ගර්භාෂ සැත්කම විය. නිර්වින්දන වෛද්‍යවරයාගේ කාරියෙන් පසු බෲනර් විසින් ජුලියාගේ උදරය මත ක්‍ කැපුමක් කොට ඇගේ ගර්භාෂය පාදා ගන්නා ලදී. ජුලියාගේ ගර්භාෂය මතු කරගත් පසු වෛද්‍ය බෲනර් ඇතුළු කණ්ඩායමේ අදහස වූයේ කැපුමක් මගින් ගර්භාෂ තරලය ඉවත් කොට කලලය ඉවතට ගෙන එහි කශේරුකාව සැත්කමට භාජන කොට නැවත එය මවගේ ගැබ තුළ තැන්පත් කිරීමයි. ඒ අනුව ගර්භාෂය විවෘත කිරීම පිණිස බෲනර් ඒ මත සියුම් කැපුමක් කිරීම ආරම්භ කළා පමණි. සැත්කම් පිහිය ගර්භාෂ බිත්තිය මත අඟල් 4 ක පමණ දුර ගමන් කරන විට සැවොම මවිත කරමින් සිදු වූයේ මින් පෙර හෝ පසු හෝ කිසි දිනක සිදු නොවූ අසිරිමත් සිදුවීමකි. ජුලියා ගේ ගර්භාෂය තුළින් එක්වරම පිටතට ආ සම්පූර්ණව වැඩුණු එහෙත් සිඟිති අතක් විසින් වෛද්‍ය බෲනර්ගේ ඇඟිල්ලක් තදින් ග්‍රහණය කර ගන්නා ලද්දේය. ශල්‍යාගාරයේ සිටි සැවොම ඇසින් දුටු මෙම අදහාගත නොහැකි සිදුවීම ලෝකය හමුවේ තබන්නට එදින වෙනත් කටයුත්තක් සඳහා ශල්‍යාගාරයට පැමිණ මෙම දුර්ලභ සැත්කම මුල පටන්ම නිරීක්ෂණය කරමින් සිටි මයිකල් ක්ලැන්සි ඡායාරූප ශිල්පියාට වාසනාව තිබිණි. සැවොම මවිතව දෑස් දල්වා බලා සිටිත්දී U.S.TODAY පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියාට මේ අසාමාන්‍ය සිදුවීම කැමරාවේ සටහන් කරගන්නට තරම් සිහිකල්පනාව තිබුණි.

”මම ශල්‍යාගාරය තුළ වූ අලූතෙන් සවි කරන ලද නවීන ස්කෑනර් යන්ත්‍රයක් ඡායාරූප ගනිමින් සිටියේ. ”ඔබ කුමන වේගයකින් යුත් පටල පටයක්ද පාවිච්චි කරන්නේ?”යි වෛද්‍ය බෘනර් මගෙන් විමසුවා. මා ඊට පිළිතුරු දෙන්නට ඔහු වෙත හැරෙද්දී මා දුටුවේ ඔහු ගර්භාෂය විවර කරමින් සිටින අයුරුයි. ඒ සමගම මම ඇස් කොණින් දුටුවේ ගර්භාෂය හදිසියේ සෙලවෙන බවයි. නමුත් කිසිවෙකුගේ අතක් ඒ අසල තිබුණේ නැහැ. සෙලවීම පැමිණියේ ඇතුළතින්. හදිසියේම කැපුම සැරෙන් ඉවතට තල්ලූ කරමින් කුඩා අතක් එළියට ආවා. එක්වරම බෲනර්ගේ ඇඟිල්ලක් තදින් අල්ලා ගත්තා. මම වහාම එම අසිරිමත් සිදුවීම ඡායාරූප ගතකළා. එය කෙතරම් ඉක්මණින් වුණාද කිවහොත් මට අනෙක් පසින් සිටි හෙදිය ‘මොකක්ද වුණේ?.යි මගෙන් ඇසුවා. වෛද්‍ය බෲනර්ටත් මේ සිදුවීම අදහාගන්න බැරිව ඔහු වික්ෂිප්තව සිටියා..

 මයිකල් විසින් ගනු ලැබූ මෙම ඡායාරූපය 1999 සැප්තැම්බර් 07 වන දින USA TODAY පුවත්පතේ පළ කරනු ලැබීය. ඉන්පසු එය වේගයෙන් ප්‍රසිද්ධව ගිය අතර ලොව පුරා සංවේදී ජනතාව අතර මහත් කැළඹීමක් ඇති කරන්නක් විය. එය වර්ෂයේ ඡායාරූපය ලෙස පමණක් නොව දශකයේ ඡායාරූපය ලෙස ද හඳුන්වන ලද්දේය. එය නම් කරන ලද්දේ ‘බලාපොරොත්තුවේ හස්තය. ලෙසිනි. වෛද්‍ය බෲනර් පැවසුවේ, ”මට එය ඉතා සංවේදී හැඟීම්බර මොහොතක් වුණා. ඒ අවස්ථාවේ මට හැඟුණේ ‘අනේ ඩොක්ටර්, මාව බේරාගන්න.යි දරුවා මට පැවසූ බවයි..

 එපමණක් නොව මෙම සංවේදී ඡායාරූපය ලොව පුරා සිදුවන ගබ්සා කිරීම්වලට විරුද්ධව විශාල ජනමතයක් ගොඩ නැගීමටද සමත් විය. නීති විරෝධී මෙන්ම නීත්‍යනුකූල ගබ්සා පිළිබඳවද නැවත සිතන්නට පොළඹවන ලද්දේය. කෙනකුගේ ජීවත්වීමේ අයිතිය තව කෙනකුට තීරණය කළ හැකිදැයි ලොව පුරා මාධ්‍ය ප්‍රශ්න කරන්නට විය. ශල්‍යකර්මය ඉතා සාර්ථක වූ අතර 1999 දෙසැම්බර් 02 වන දින ජුලියා දරුවා බිහි කළාය. ඔහු නම් ලද්දේ සැමුවෙල් ඇලෙක්සැන්ඩර් අර්මාස් ලෙසය. ඔහු ක්‍රමයෙන් වැඩෙන විට කශේරුකාව ද සීග්‍රයෙන්  යථා තත්ත්වයට පත්වන බව පෙනෙන්නට විය. සැමුවෙල්ට වයස අවුරුදු 10 වනවිට ඔහු පියා, මව හා ඡායාරූප ශිල්පි මයිකල් FOX රූපවාහිනී චැනලයේ වැඩසටහනක් සඳහා කැඳවන ලද්දේය.

 ”මේ පින්තූරය දකින විට මා සිතුවේ මා කෙතරම් විශේෂ හා වාසනාවන්තද කියා. ඒ වෙලාවේ මාව මෙහෙයවන්න ඇත්තේ දෙවියන් වෙන්න ඇති..යි සැමුවෙල් එහිදී පැවසීය. ”එය මට ඉතාම වැදගත්. එය එසේ සිදු නොවන්නට බොහෝ දරුවන්ගේ ජීවිත නැති වන්නට තිබුණා..

 ”එය හරිම ආශ්චර්යවත් ඡායාරූපයක් මෙන්ම ඒක ආශ්චර්යවත් මොහොතක්.” මයිකල් ක්ලැන්සි කීවේය. ”එය මෙතෙක් වාර්තා වී ඇති මානුෂිකම ක්‍රියාව විය හැකියි. එය වාර්තා කිරීමට ලැබීම මගේ වාසනාවක්.”

 ”මම හිතන්නේ එය අපට වැදගත් පණිවුඩයක් දෙනවා. දෙවියන් එයින් අපට පෙන්වූයේ මොන තත්ත්වයක දරුවෙකුට වුවත් මේ ලෝකයට බිහි වීමට අයිතියක් තිබෙනවා කියායි.” ජුලියා ආර්මස් රූපවාහිනී වැඩසටහනේදී පැවසීය.

 වෛද්‍ය බෲනර් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය. එහෙත් 2000 ජනවාරි 09 දින The Tennessean පුවත්පතට ඔහු මෙසේ පැවසීය. ”එම අවස්ථාවේ මව හා දරුවා යන දෙදෙනාම සිටියේ නිර්වින්දන තත්ත්වයේයි. මෙවැනි දෙයක් කෙසේ සිදු වූවාදැයි මට කියන්නට බැහැ. සමහරවිට දරුවාගේ අත මා විසින් එළියට ගත්තා වෙන්නත් පුළුවන්.”යි ඡායාරූපයේ කතාව සංකීර්ණ කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.

 ”අවංකවම මට එය වැදගත් නැහැ.” මේ පිළිබඳව අදහස් දක්වමින් ජුලියා ආර්මස් පැවසුවාය. ”ඡායාරූපයේ පෙනෙන අන්දමට දරුවා වෛද්‍යවරයාගේ ඇඟිල්ල තදින් අල්ලාගෙන සිටින බව පැහැදිලියි. නමුත් දරුවා යම් ප්‍රමාණයක නිර්වින්දන තත්ත්වයක පසු වූ බව, වෘත්තියෙන් ප්‍රසූත හෙදියක් වන මා පිළිගන්නවා. ඉතින් දරුවා ගර්භාෂයෙන් පිටතට අත දැම්මාදැයි මා දන්නේ නැහැ. වෛද්‍ය බෲනර් දරුවාගේ අත ඉන් පිටතට ගත්තාදැයි මා දන්නේ නැහැ. නමුත් මේ කාරණයේ ඇත්ත නම් ඒ තිබුණේ දරුවාගේ අතයි. ඔහුගේ ජීවිත අයිතියයි. කවුරුන් කුමක් පැවසුවත් එයින් අර්ථවත් වන්නේ සැමගේම ජීවත්වීමේ අයිතියයි.”

 ඡායාරූප ශිල්පි මයිකල් ක්ලැන්සි පසුකලෙක සිය ඡායාරූප ශිල්පි වෘත්තියෙන් සමු ගත්තේය. ”ඉන්පසු මා යොමු වුණේ ධනාත්මක චින්තනය පිළිබඳ වැඩමුළු වලටයි. 2007 සිට 2012 දක්වා මේ අත්දැකීම රටවල් 3 ක වැඩමුළු 150 කට අධික සංඛ්‍යාවකදී ජනතාව දහස් ගණනක් සමග බෙදා ගැනීමට මට හැකිවුණා.” ඔහු තම වෙබ් පිටුවෙහි සටහනක් තබමින් පවසයි. මේ ඡායාරූපය පිටුපස කතාව The Gift of Life නමින් සිනමාවටද නැඟිණි. 2011 දෙසැම්බර් 15 වන දින සිට එය ලොව පුරා ප්‍රදර්ශනය කරන ලදී.


නිමල් ෆ්‍රැන්සිස්