දරු දෙන්නාගේ කෑගැහිල්ලෙන් මුළු ගෙයම පිරිලා

අම්මා කියූ නාමේ මට දුන් පුතේ

රාජිණියකී දැන් මා පුතුගේ පිනෙන්

හැම මව්වරුන් සේ අම්මා නුඹේ

සතුටින් හිඳිම් පිහිනා පුතුගේ නමින්



සමාධි අරුණචායා කියන්නෙත් අපේ කලා
ක්ෂේත්‍රයේ ඉන්නා තවත් ඉතා දක්ෂ රංගන ශිල්පිණියක්. සමාධිව කවුරුත් දන්නේ ‘මලී’ කියලයි. ඒ තරමටම ඒ චරිතයට සමාධි සාධාරණයක් ඉෂ්ඨ කළා. පසුගියදා දිනෙක සමාධිගෙත් සංජයගේත් පවුලට තවත් පුංචි අමුත්තෙක් එකතු වුණා.

මේ පුංචි අමුත්තාව පිළිගන්නට සමාධි, සංජය වගේම තවත් පුංචි අමුත්තියක් එකතු වුණා. ඒ තමයි සමාධිගේ ලොකු දෝණි. ඒ කියන්නේ මේ සමාධිගේ දෙවැනි මව් පදවිය.

ජූලි මාසේ හතර වැනිදා තමයි පුංචි අමුත්තා අම්මාගේ කුසෙන් මෙළොව එළිය දැක්කේ. දෝණියක් ඉන්න පවුලට පුංචි පුතෙක් ඉපදුණාම ඒ සතුට දෝර ගලනවා. පුංචි පුතාට සමාධි අපූරු නමකුත් තිබ්බා. ඒ තමයි සයුල් දිව්‍ය මොරගොල්ල. පවුලට මුලින්ම දෝණි එකතු වුණ නිසාම දෙවැනි දරු උපතේදී සමාධි ආසාවෙන් හිටියේම පුංචි පුතෙක්ටයි. දුවෙක් ඉන්න අම්මා කෙනෙක් පුතෙක් පතන එක සාධාරණයිනේ. වාසනාවකට මෙන් සමාධිගේ ඒ බලාපොරොත්තුව ඉටු වුණා.

කුළුඳුලේ ඉපදුණු දෝණි වගේම පුංචි පුතාත් මෙළොව එළිය දැක්කේ ස්වභාවික දරු උපතකිනුයි. පුංචි පුතා ඉපදෙද්දී සමාධි ළඟින්ම සංජය හිටියා. ස්වභාවික දරු උපතේදී මවක් විඳින සුන්දර වේදනාකාරී අත්දැකීම සමාධි දෙවැනි වරටත් අත්වින්දා. නමුත් පුංචි පුතාගේ මුහුණ දකිද්දී ඒ හැම වේදනාවක්ම ඒ හිතට දැනුණේ නම් නැහැ.

සමාධි වගේම මල්ලිව පිළිගන්න අවුරුදු දෙකහමාරක් වෙච්චි පුංචි අක්කණ්ඩිත් හරි හරියට සූදානම් වෙලා හිටියා. මල්ලි එනතුරු හරිම ආසාවෙන් බලාගෙන හිටියා. පුංචි පුතා ඉපදී ගෙදරට ආවට පස්සෙත් පුංචි අක්කණ්ඩිගෙන් ලොකු සහයෝගයක් සමාධිට ලැබෙනවා. මල්ලිව අතගාන්න, පුංචි නැප්කින් පුළු පුළුවන් විදිහට නවලා දෙන්න ඇය හරි කැමතියි. හැබැයි ඉතින් අම්මාගෙන් පුංචි පුතා කිරි බොද්දිනම් ඒ පුංචි හිතට එතරම් සතුටක් දැනෙන්නේනම් නැහැ. ඒ නිසා මල්ලි බබා කිරි බොද්දිනම් අක්කණ්ඩිට පොඩ්ඩක් කේන්ති යනවා. අවුරුදු දෙකහමාරක් වෙච්චි අක්කණ්ඩිත් තාමත් පුංචියි. හුරතල්. අම්මාගේ බණ්ඩියේ හිටපු මල්ලි බබායි මේ ඉන්නේ කියද්දි ඇය මල්ලි දිහා බලාගෙන ඉන්නවා. දරු දෙදෙනාටම එකසේ අසීමිතව ආදරේ වුණත් සමාධි වැඩිපුරම ඒ දරු සෙනෙහස තවමත් පෙන්නන්නේ පුංචි දෝණිටයි. නැත්නම් ඒ පුංචි හිත දුකෙන් පිරෙනවා.

සමාධි කියන විදිහටනම් තවමත් රාත්‍රියට හරිහැටි නින්දක්නම් නැහැ. පොඩි අයගේ සුන්දරත්වය, ආදරය, සෙනෙහස නිසා හැම දුකක්ම අකාමකා ගියත් මේ දවස්වල දවස හරිම වෙහෙසකාරියි. සංජය වගේම ඔහුගේ පවුලේ හැමෝම මේ වැඩවලට උදව් කරනවා.

අද සමාධිත්, සංජයත් දරුවන් දෙදෙනකුගේ මව්පියෝ. අද ඒ ජීවිත පිරිලා. දරු දෙන්නාගේ කෑගැහිල්ලෙන් මුළු ගෙයම පිරිලා. ජීවිතේ මුල් අවස්ථාවලදී ඉඳන්ම සමාධි පැතූ හැම දෙයක්ම ඇයට ලැබුණා. අද සමාධි දුවෙක් සහ පුතෙක් ඉන්න ආදරණීය අම්මා කෙනෙක්.