ඔබත් රැවටුනාද..? මියගිය දරුවා විකුණාගෙන කෑ ජාවාර‍මේ ඇත්ත කතාව

රෝගාතුරවී සිටින කුඩා  දරුවන්ගේ ජීවිතය බේරාගැනීමට බව පවසමින් මුදල් එකතු කරන බොහෝ පිරිස් ප්‍රධාන නගර ආශ්‍රතව නිරන්තරයෙන්ම දක්නට ලැබෙනවා. එවැනි අවස්ථා වලදී ඔවුන් සත්‍ය වශයෙන්ම මුදල් එකතු කරන්නේ යහපත් අරමුණකින්ද නැතිනම් ව්‍යාජ සිදුවීමක් මවාපාමින්ද යන්න සොයා බැලීම අපහසු වනවා.

තම රෝගාතුර වූ කුඩා දරුවාගේ ජීවිතය බේරාගැනීමට බව පවසමින් ත්‍රීරෝද රථයකින් 
දිවයිනේ විවිධ ප්‍රදේශවල ටිකට් පත් විකුණු එවැනි වංචනික පුද්ගලයන් තුන් දෙනෙකු කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙනතිබුනේ අදාළ දරුවා මිට මාස හතකට පමණ පෙරදී මිය ගොස් ඇති බවට අනාවරණය වීමත් සමගයි.

මස්පිඩු දිය වීමේ රෝගයකට ගොදුරු වී සිටි රුවන්වැල්ල ප්‍රදේශයේ දහතුන් හැවිරිදි පිරිමි දරුවෙකු ඡායාරූපයක් පෙන්වමින් එම සැකකරුවන් මුදල් එකතු කර ඇති අතර පෙරේදා (08) කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් අසලදී මුදල් එක්රැස් කරමින් සිටියදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුනේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40, 39 සහ 70 යන වයස් කාණ්ඩවලට පසුවූවන් බව වාර්තා වන අතර 40 හැවිරිදි පුද්ගලයා 39 හැවිරිදි කාන්තාව විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

gossip lanka