දහඅට වංගුවේදී කෝටි 6ක් උස්සපු කන්ද උඩරට ලොකුම මංකොල්ලයේ හොරු අල්ලපු මෙහෙයුම

කන්ද උඩරට ඉතිහාසයේ විශාලතම මුදල් මංකොල්ලය 2018 ජුනි 11 දින වාර්තා විය. ඒ මාතලේ, රත්තොට, දිගන, තෙල්දෙණිය, උඩුදුම්බර, මහියංගණය සහ මහනුවර වැනි ප්‍රදේශ කිහිපයක මූල්‍ය ආයතන 23ක රුපියල් කෝටි හය හමාරකට ආසන්න මුදලක් කොළඹදී බැංකු ගත කිරීමට ආරක්ෂක විධිවිධාන යටතේ ගෙන යමින් තිබිණි. රිපීටර් වර්ගයේ ගිනි අවියකින් සන්නද්ධ ආරක්ෂක නිලධාරියකුද සමඟ වෑන් රථයකින් මෙම මුදල් තොගය ගෙන යමින් තිබුණේය. දහ අට වංගුව පසුකරමින් සිටි ආරක්ෂක නිලධාරියා ඇතුළු නිලධාරීන් එදින දහවල් වූයේන් දිවා ආහාරය ගැනීම සඳහා 14 වන වංගුව අසල රථය නවතා ආහාර ගනිමින් සිටියේය. හදිසියේම වෑන් රථයකින් කඩා වැදුණු කොල්ලකරුවන් පළමුවෙන්ම ගිනි අවි පෙන්වා මුදල් ගෙන යමින් සිටි නිලධාරීන් බිය ගන්වා ඔවුන් අත වූ රිපීටර් වර්ගයේ ගිනි අවිය උදුරා ගත්තේය.

කෝටි හයහමාරේ මුදල් මංකොල්ලය පිළිබඳව තොරතුරු ළැව් ගින්නක් මෙන් පැතිර ගියේ පළාතේ සියලුම පොලිස් ස්ථාන සීරුවෙන් තබමිනි. පොලිස් මුරකාවල් යෙදිණි. ජංගම පොලිස් මුර සේවා ක්‍රියාත්මක විණි.


එහෙත් මංකොල්ලකරුවන් හෝ පැහැර ගත් මුදල් පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට කිසිදු පොලිසියකට නොහැකි විය. කන්ද උඩරට ඉතිහාසයේ සිදු වූ විශාලතම මංකොල්ලය හෝ කොල්ලකරුවන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් හෝ සොයා ගැනීමට නොහැකිවීම පොලිසියට කළු පැල්ලමක් එක් කෙළේය. එහෙත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත භාර) එස්.එම්. වික්‍රමසිංහ මහතා මෙවැනි අපරාධ හමුවේ මුනිවත රකින්නකු නොවේ.

ඒ අනුව සිද්ධියෙන් දින කීපයකට පසුව මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක එස්.පී.එම්. තිලකවර්ධන සහ ලග්ගල පොලිසියට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ජී. ඒකනායකට ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කැඳවීමක් ලැබිණි.

මධ්‍යම පළාතේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව කන්ද උඩරට හෙල්ලූ මහා මුදල් මංකොල්ලයේ විමර්ශනය නව දිශානතියකට ගෙන යෑමට උපදෙස් දුන්නේය. පිටතින් කැඳවූ පොලිස් නිලධාරීන්ගෙන්ද සහාය ඇතිව මධ්‍යම පළාතේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශන කටයුතු ආරම්භ කළේ ඉලක්කයක් ඇතිවය. උඩදුම්බර - තෙල්දෙණිය මාර්ගය ආසන්නයේ නිවෙස් සහ වෙළෙඳසල්වල සීසීටීවි කැමරා දර්ශන විමර්ශකයන්ගේ විමර්ශනයට ලක්විය.

සීසීටීවී දර්ශනවල සැක සහිත වාහනයක් ඔවුන්ගේ උකුසු ඇසට අසුවිය. දැඩි පරිශ්‍රමයකින් සැක සහිත වාහනය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගත් විමර්ශකයන් මංකොල්ලයේ සුලමුල සොයා ගැනීමට හැකි අයකු භාවිත කළ සිම්පතක් තම භාරයට ගත්තේය. දුරකථන සංවාද විමර්ශනය කළ පරීක්ෂකයන් දිගන පාලිත නම් වූ පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේය. කිසිදා අනාවරණය කර ගැනීමට නොහැකිවීමට තරම් ඉඩ තිබූ මේ මහා මංකොල්ලයේ අක්මුල් පාලිතගේ මේ සිම්පත හරහා සොයා යෑමට විමර්ශන කණ්ඩායමට හැකි විය.

කොල්ලකරුවන් එකින් එකා කොටු කර ගැනීමට පොලිසියට හැකි වූයේය. පාතාල නායකයකු වන සමයංගේ ගෝලයකු මෙන්ම එක්තරා දේශපාලනඥයකු දේශපාලන සම්බන්ධතා පිළිබඳ කටයුතු මෙහෙයවා ඇති අයකු බවට හඳුනා ගත් මංකොල්ලයේ මහ මොළකරු තුෂාර ප්‍රියන්ත දිසානායක ඇතුළු සැකකරුවන් සීරුමාරුවට අල්ලා ගැනීමට තරම් පොලිස් නිලධාරීන්ට මූලික ශක්තියක් වූයේ මේ සිම්පතය.

මෙම සිම්පතේ සඳහන් නම ව්‍යාජය. ලිපිනය, ඡායාරූපය ව්‍යාජ ඒවාය. සියල්ල ව්‍යාජ වූවාට කොල්ලකරුවන්ට සිම්පතේ රහස් අංකය පිළිබඳව දැනුමක් නොතිබුණා විය හැකිය. අපරාධ විමර්ශනයේ අති දක්ෂයන් වූ පොලිස් නිලධාරීන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගේ සහාය ඇතිව රහස් අංකය සහිත එම හැඳුනුම්පත හිමියා සොයා ගත්තේය. ඔහු මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර කුලී මෝටර් රථයක් ගැනීමේදී හුවමාරුවූ ඔහුගේ හැඳුනුම්පත විකෘති කර ඇති බව අනාවරණය කර ගැනීමට විමර්ශකයන්ට අපහසු වූයේ නැත. ඔහුද අත්අඩංගුවට පත් විය.

2000 වසරේ මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ගෙන යමින් සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරීන්ගේ ගිනි අවියක් උදුරා ගෙන වෙඩි තබා පලා ගියේය. ඔහු රටේ ලියාපදිංචි නමගිය අපරාධකරුවෙකි. මේ මුදල් මංකොල්ලයේ මහ මොළකරු ඔහුය. තුෂාර දිසානායක නමැති ඔහු පොළොන්නරුව, කුරුණෑගල සහ ගල්නෑව ප්‍රදේශවල මංකොල්ලකෑම් කීපයකට සම්බන්ධ බවටද තොරතුරු විමර්ශකයන් අනාවරණය කර ගෙන තිබේ. තෙල්දෙණිය නගරයේදී මූල්‍ය ආයතනයකින් මුදල් වෑන් රියකට පැටවූ අන්දම දුටු සැකකරුවන් මුදල් කන්දරාවක් බැංකු ගත කිරීමට මෙලෙස ගෙන යන බවට තොරතුරු සොයා ගත්තේ මාස කීපයකට පෙරය. කොළඹට රැස්වූ කණ්ඩායම ඉන් අනතුරුව කොල්ලකෑම සැලැසුම් කර තිබේ. මාස දෙකක් තිස්සේ ඔවුන් මුදල් ගෙන ගිය වෑන් රථය හඹා ගොස් ඇත.

මුදල් භාරව ගමන් ගන්නා නිලධාරීන්ගේ දුර්වල තැන් සොයමින් සිටි කොල්ලකරුවන් දහවල් දහඅට වංගුවේදී දිවා ආහාර ගැනීම දුර්වලම කාර්ය බවට තහවුරු කර ගත්තේය. මුදල් භාරකරුවන් දිවා ආහාරය ගනිමින් සිටි අවස්ථාවේදී වෑන් රථයක් පැමිණියේ අනපේක්ෂිත අන්දමටය. කඩිනමින් වාහනයෙන් බැස ගත් කොල්ලකරුවන් පිස්තෝල පෙන්වා ආහාර ගනිමින් සිටි අය බිය ගන්වා පළමුව රිපීටර් වර්ගයේ ගිනි අවිය උදුරා ගත්තේය. අනතුරුව නිලධාරීන්ගේ අත් පා ගැට ගසා මුදල් සහිත වෑන් රථයේ සිරකර ගත් කොල්ලකරුවන් මුදල් සම්භාරය ගෝනි මලුවලට දමා ගෙන ආරක්ෂක නිලධාරියා, මුදල් භාරකරු ඇතුළු නිලධාරීන් සමඟ වෑන් රිය අතහැර දැමුවේය. කොල්ලකරුවන් පැමිණි වෑන් රථයේද අත් පා ගැට ගැසූ අයෙකි.

ඔහු එම වාහනයේ රියැදුරුය. මළ ගෙදරක යෑමට බව පවසා කුලියට ගත් වාහනයේ රියැදුරුය. සීමිත කාලයක් තුළ මේ සියල්ල කළ කොල්ලකරුවන් මැණික්හින්න ප්‍රදේශයේදී පොහොර මලුවල තිබූ මුදල් බෑග් කීපයකට දමා ගෙන පොල්ගොල්ල ප්‍රදේශයේ වැලි තොටුපළක් දක්වා ගමන් කළෝය. කුලියට ගත් වෑන් රථය සහ අත් පා බැඳ සිටි රියැදුරුද වැලි තොටුපොළ අසල අතහැර දැමූ කොල්ලකරුවන් මුදල් සහිත බෑග් සමඟ අතුරුදන් විය. යටපත්වීමට ඉඩ තිබූ මෙම කොල්ලයේ විමර්ශකයන්ට බලවත් ගැටලුවකට මුහුණදීමට සිදුවිය. සිම්පත හරහා ලබා ගත් දුරකථන සංවාද හා සැක සහිත දුරකථන සංවාද ඔස්සේ තවදුරටත් විමර්ශනය තීව්‍ර කළේය.

ඒ අනුව නිකවැරටියේ ලක්ෂ්මන් ප්‍රියචන්දන නමැත්තකු මාරවිල ලන්සිගමදී අත්අඩංගුවට ගත්තේය. ධනවත් ව්‍යාපාරිකයකු ලෙසට වෙස්වළා ගෙන තම අනියම් බිරිය සමඟ සුඛෝපභෝගීව ජීවත්වීමට මේ මහා මංකොල්ලයේ මුදල් යොදා ගෙන තිබූ බව අනාවරණය කර ගත් පොලිසිය ඉඩම් මිලදී ගැනීමේ තැරැව්කරුවන් ලෙසට වෙස්වළා ගනිමින් වැටලීම සිදු කර ඇත.

මහනුවර සුදුහුම්පොළ පදිංචිකරුවකු වන තිළිණ නමැත්තා රුවන්වැල්ලේදී අත්අඩංගුවට පත් විය. ඉඩම් හිමි වැවිලිකරුවකු ලෙසට වෙස්වළා ගෙන අනියම් බිරියක හා රුවන්වැල්ලේ විසූ ඔහු සන්තකයේ තිබූ කොල්ලයට යොදා ගත් පිස්තෝලයද පොලිසිය භාරයට පත්විය. මහ මොළකරු සමයංගේ ගෝලයා අත්අඩංගුවට ගැනීම පහසුකාරියක් නොවීය. ඔහු පදිංචිය වෙනස් කරමින් තැනින් තැන සුඛෝපභෝගීව කල් ගෙවීමට සැලැසුම් කර තිබිණි. ගිනි අවියක් පෙන්වා බලහත්කාරයෙන් අනියම් බිරිය කර ගත් කාන්තාවක සමඟ මයිකේ‍රා් වර්ගයේ පිස්තෝලයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට විමර්ශකයන්ට හැකි විය.

ඔත්තු ජාලයක සහාය ඇතිව තීක්ෂණ බුද්ධියෙන් සැලැසුම් කර ඇති මේ මහා මංකොල්ලය කාලයේ වැලිතලාවෙන් වැසී යෑමට ඉඩ නොතැබූ විමර්ශකයන් සහාය හෝ අනුබල දුන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු සමඟ කොල්ලකෑ රුපියල් කෝටි හතරක මුදල් සහ එම මුදල් යොදවා ගත් ස්වර්ණාභාරණ වාහන හා දේපොළ පිළිබඳවද සවිස්තර තොරතුරු අනාවරණය කර ගත්තේය.

මධ්‍යම පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.එස්. වික්‍රමසිංහ මහතාගේ ඍජු අධීක්ෂණය නොවන්නට පිටතින් කැඳවූ උප පොලිස් පරීක්ෂක එස්.පී.එම්. තිලකවර්ධන සහ ඩබ්ලිව්. ජී. ඒකනායක යන නිලධාරීන්ගේ කැපවීම නොවන්නට මහනුවර විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙනරත් දිසානායක, උප පොලිස් පරීක්ෂක එච්.එම්.එම්. හේරත්, පොලිස් සැරයන්වරුන් වන මහින්ද (28542), චන්ද්‍රානන්ද (2958), කාන්තා පොලිස් කොස්තාපල් මංජුලා (3753) සහ පොලිස් රියැදුරු සිසිර (80126) යන නිලධාරීන් සමඟ පොලිස් සැරයන් එල්.ඒ.ඩී.එම්.ඒ.කුමාර (28695) සහ පොලිස් රියැදුරු ඩබ්. ජී.එන්.කේ. චන්ද්‍රසිරි (75533) යන නිලධාරීන්ගේ පූර්ණ කැපවීමද දහඅට වංගුවේ මහා මුදල් මංකොල්ලයේ සුලමුල සොයා යෑමට ඉවහල් විය.

මව්බිම