STF එකේ සේවය කළ දෙදරු පියා 16 හැවිරිදි සිසුවිය රවටා අතවර කර ගැබ් ගැනීම වැළැක්‌වීමට පෙති දීලා!

දැරණියගල නගරය ආශ්‍රිතව උපකාරක පන්තියක අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවියක්‌ රවටා දින කීපයක්‌ ත්‍රීවීල් රථයකින් ගරාජයට ගෙන ගොස්‌ එහිදී සිසුවියට අතවර කිරීම සම්බන්ධයෙන් 29 දා අධිකරණයට ඉදිරිපත් කළ දෙදරු පියෙකු සැප්තැම්බර් 10 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්‌සාවේල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චාමලි වීරසූරිය මහත්මිය පොලිසියට නියෝග කරන ලදී.

 සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ දැරණියල පොලිසියේ සැරයන් එස්‌. අබේවික්‍රම මහතා (7710)
උසාවියට කරුණු වාර්තා කරමින් පවසා සිටියේ දැරණියගල පදිංචි 32 හැවිරිදි මෙම සැකකරු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ (STF) වසර පහක්‌ සේවය කළ දරු දෙදෙනකුගේ පියෙකු බවය.

 උපකාරක පංති යමින් සිටි මෙම සිසුවිය අතරමඟදී දැක හඳුනාගෙන ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා පසු අවස්‌ථා කිපයක්‌ම ඇය දූෂණය කර ඇය ගැබ් ගැනීම වැළැක්‌වීමට සැකකරු සිසුවියට පෙති වර්ගයක්‌ද පානය කිරීමට ලබා දී තිබේ.

 මේ වන විට සිසුවිය අවිස්‌සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පැවැසීය. මෙම සිද්ධිය දැන ගැනීමෙන් පසු (දැරියගේ) පියා සහ මව දැඩි ලෙස සිත් වේදනාවට පත්වී තිබේ. තවද සිසුවියගේ අධ්‍යාපන කටයුතු ද අතර මග නැවතී ඇත.

 අවිස්‌සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවක්‌ ඉදිරි නඩු වාරයේදී ඉදිරිපත් කිරීමට පොලිසියට නියම කළ මහෙස්‌ත්‍රාත්වරිය නැවත නඩු විභාගය සැප්තැම්බර් 10 දාට කල් තැබීය.