මම දීර්ඝ කාලීනව ඌෂු සටන් කලාව සිදුකළා

අනුරාධපුර මධ්‍යය මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදුකරන කාලයේදීම රංගනයට ඇති ආසක්ත බව නිසාම වේදිකා නාට්‍යය නිර්මාණකරණයටද යොමුවන ඔහු, ඒ ගමන් මග තුළින් ටෙලි නාට්‍යය රංගන වරම්ද හිමිකර ගන්නේය. මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකටම රංගනයෙන් දායක වන ඔහු පූජන දන්දෙනියය. මේ කතාබහ ඔහු සමගය.

 ජූජන මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම දකින්න ලැබෙනවා?

ස්වාධීන රූපවාහිනියේ දෙයියන්ගේ රටේ, හිරු නාළිකාවේ උරුමයක අරගලය හා සියත නාළිකාවේ ‘නේත්‍රායන’ නාට්‍යය යන නාට්‍යයවලට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම දෙරණ නාළිකාවේ විකාශය වීමට නියමිත ‘රාවණා’ ටෙලි නාට්‍යයෙත්, ප්‍රියන්ත කොළඔගේ අධ්‍යක්ෂණය කරන ‘සංසාරි’ නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා.

මෙලෙස නිර්මාණ කිහිපයකම එක කාලපරාසයකදී රූගත කිරීම්වලට දායක වීම අභියෝගාත්මක නැද්ද?

රංගන ශිල්පියෙක් ලෙස අමාරුම කාර්යයක් තමයි එය. නමුත් මේ පවතින වටපිටාව තුළ එලෙස අපට වැඩ කරන්න සිදුවෙලා තියෙනවා. තිරපිටපත් ලැබෙන එකෙහි අඩුපාඩුකම් තිබුණත්, මේ දේවල්වලට මුහුණ දෙමින් පවතින ක්‍රමයත් එක්ක වැඩකරනවා.

දායක වන නිර්මාණවල චරිතයට සාධාරණයක් කරන්න හැකිවෙනවද?

මම හැමවිටම උපරිම සාධාරණයක් ඉටුකරන්න උත්සහ කරනවා. මේ වනවිට මම දායක වී තිබෙන ටෙලි නාට්‍යය තුළ සම්පූර්ණ පිටපතම ලැබුණු ටෙලි නාට්‍යය දෙකක් හෝ තුනක් තමයි තිබුණේ. අනිත් සියලුම ටෙලි නාට්‍යයවල පිටපත් නිර්මාණය සිදුවෙන ගමන් තමයි ලැබෙන්නේ. සමහර වෙලාවට පිටපත ලැබීම ප්‍රමාද වුණත්, අධ්‍යක්ෂකවරයාගේ විෂන් එක්ක තිබෙනවා නම්, ඔහු සමග කතාබහ කරමින් ඒ චරිතවලට උපරිම සාධාරණයක් කරන්න උත්සහ කරනවා.

මේ වනවිට දායකත්වය ලබා දුන් නිර්මාණ තුළ ඔබ වඩාත් කැමැත්තෙන් දායක වූ චරිතයක් තිබෙනවද?

‘සංසාරි’ ටෙලි නාට්‍යයේ ‘අරවින්ද’ කියන සංගීත ගුරුවරයාගේ චරිතයට මම කැමතියි. එය බහුතරයක් ටෙලි නාට්‍යය තුළ පවතින වේගයෙන් වැඩකිරීමට වඩා, ඉතාමත් විවේකීව සිදුකරන්න පුළුවන් චරිතයක් එය. ඒ වගේම අපිට සාමාන්‍යය ජීවිතේදි වැඩි වශයෙන් මුණගැහෙන චරිතයක් තමයි එය. දුෂ්කර පළාතකට ගිහින් ගමක පාසලක ළමයින් එක්ක කටයුතු කරන ග්‍රාමීයත්වයට මුහුණදෙන ගුරුවරයෙකුගේ චරිතයක්. මේ මොහොතේ රංගනයෙන් දායක වන නිර්මාණයක් ලෙස මම එයට කැමතියි.

‘රාවණා’ වැනි ඉතිහාස කතාවක් පාදක කරගෙන නිර්මාණය වන ටෙලි නාට්‍යයේ ඔබ දායක වන චරිතය හා එහි අත්දැකීම ගැන කිව්වොත්?

මම වැඩිපුරම රංගනයෙන් දායක වී තිබෙන්නේ ඉතිහාසය පදනම් කරගෙන ගොඩනැගුණු නාට්‍යවල. මගේ පෙනුම එක්ක ගොඩක් වෙලාවට මට ආරාධනා ලැබෙන්නේ මෙවැනි ඉතිහාස කතා පාදක කරගත් නාට්‍යයවලට. ‘රාවණා’ නාට්‍යයටත් එහෙම තමයි ආරාධනා ලැබුණේ. රාවණා කියන්නේ අලුත්ම අත්දැකීමක්. ඒක නැවුම් අත්දැකීමක් වගේම විශාල අත්දැකීමක් වුණා මගේ ජීවිතයට. අදින ඇඳුම්වල පසුබිම් එක්ක ඒක ගොඩක් ලොකු නැවුම් අත්දැකීමක් බවට පත්වුණා. මේ නාට්‍යයේ මම දායක වන චරිතය ගැන කතා කළොත්, ප්‍රහස්ත කියන චරිතයට තමයි මම දායක වෙන්නේ. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට රාවණගේ මාමාවරුන්ගෙන් කෙනෙක්. සුමාලි රජතුමාගේ පුතාලාගෙන් එක් කෙනෙකුගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. සටන්කාමි සහ වනගතව ගරිල්ලා සටන්ක්‍රම ප්‍රගුණ කළ කෙනෙක්.

ඔබ සටන් ශිල්පය හදාරා තිබීමත්, ඒ චරිතය ගොඩනගාගන්න පහසුවක් බවට පත්වෙන්න ඇති?

ඔව්, මම දීර්ඝ කාලීනව ඌෂු සටන් කලාව සිදුකළා. නාට්‍යය විෂය තුළ පුහුණුවීම්වලට තිබෙන දේවල්වලට සමාන තත්ත්වයක් තමයි මේ තුළ තිබුණේ. එයත් චරිතය සාර්ථක කරගන්න හේතුවක් වුණා කියලා මං හිතනවා. ඒ වගේම මගේ රංගන කටයුතුවලටත් ඒ ඉගෙන ගත් ශිල්පය ප්‍රයෝජනවත් වෙනවා.

මැදවච්චිය වැනි නගරයක ඉඳන් කොළඔ එන්නේ රංගන ශිල්පියෙක් බවට පත්වීමේ අපේක්ෂාව එක්කද?

එහෙම නළුවෙක් වෙනවා කියන බලාපොරොතුත්වක් එක්ක මේ ගමන එනවා කියන එක තිබ්බේ නැහැ. මම වේදිකා නාට්‍යය කළා. ඉතාම කුඩා කාලේ සිට නාට්‍යය කළා. මේ තුළින් ඉදිරියට එන්න පුළුවන් වෙයි කියලා අදහසක් තිබ්බේ නැහැ. එවැනි මග පෙන්වීමක් ගැන මම දැනන් හිටියෙත් නැහැ. මම දායක වූ, මම සිදුකළ නාට්‍යය යෞවන සම්මාන හා රාජ්‍යය නාට්‍යය උළෙලවල්වලට ඉදිරිපත් කළා. එයට දායක වීමේ දී තරුණ සේවා සභාවේ නාට්‍යය හා රංගකලා පාඨමාලාවකට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. මේ විෂයට ආදරය කිරීම පමණයි මම කළේ.

වේදිකා නාට්‍යය තුළින් මේ ගමන ආරම්භ කළ ඔබ, ටෙලි නාට්‍යය මාධ්‍යය තුළ නිරත වෙන්නේ ඇයි?

මෙහෙමයි, මගේ මුල්ම අඩිතාලම වැටෙන්නේ වේදිකා නාට්‍යය තුළින් තමයි. පසුව ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලාව නිමකළා. ඉන් පසුව සෝමලතා සුභසිංහ ‘ප්ලේ හවුස්’ තුළින් රංගනය ගැන වැඩිදුරටත් ඉගෙන ගත්තා. මේ වෙද්දිත් මගේ වැඩිම ආදරයක් හා ගෞරවයක් ඇති වෙන්නේ වේදිකා නාට්‍යයවලට. ටෙලි නාට්‍යය කලාවට යොමු වුණේ කාරණා කිහිපයක් නිසා. එක් කාරණාවක් වෙන්නේ ආර්ථිකය, අනෙක් කාරණය නළුවෙක්, රංගන ශිල්පියෙක් ලෙස සමාජගත වීමට තිබුණ වුවමනාව. ඉතා ඉක්මනින් සමාජගත විය හැකි මාධ්‍යය තමයි ටෙලි නාට්‍යය. ඒ නිසාවෙන් තමයි මම ටෙලි නාට්‍යය කලාවට දායක වුණේ. මගේ සිහිනය සිනමා මාධ්‍යයට යොමුවීම. සිනමාව තුළ මට වඩා හොඳ දෙයක් කරන්න හැකිවෙනවා. හොඳ පිටපතක්, අධ්‍යක්ෂකවරයෙක්, සිනමාභාවිතාවක් තුළ වැඩකරන්න කැමැත්තෙන් ඉන්නවා. මේ වෙද්දි ප්‍රියන්ත කොළඔගේ මහතාගේ ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයට දායක වෙන්න පුළුවන් වුණා. පසුව චිත්‍රපට කිහිපයකට සම්බන්ධවීමට ලැබුණත්, ඒවා සාර්ථක වුණේ නැහැ. චිත්‍රපටය ක්ෂේත්‍රය තුළත්, රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න කැමැත්තෙන් සිටිනවා.

රංගන ශිල්පියෙකු ලෙස ඔබේ ඉදිරි ගමන් මග මොකක්ද?

ඒක තමයි ගැටලුව. මේ මොහොතේ ක්ෂේත්‍රය පවතින විදිහත් එක්ක මම මේ තැනට යන්න ඕන කියලා විදිහක් නැහැ. රංගනය කියන දේට මම ඇබ්බැහිවෙලා ඉන්නේ. එහෙම වුණාම මට ලැබෙන හොඳ නිර්මාණවලට සාධාරණයක් ඉටුකරමින් වැඩකටයුතු සිදුකරමින් ඉන්නවා. මේ පවතින ක්‍රමවේදය තුළ හැකි ලෙසකින් මේ කටයුතු සිදුවෙනවා; මම දායක වූ ප්‍රදීප් ධර්මදාස මහතාගේ සහ රසික සුරවීරආරච්චිගේ කොටස් පහළොවේ ටෙලි නාට්‍යය වන ‘අවසන් හුස්ම තෙක්’, වගේම ‘ත්‍රෛයිලෝකා’ කියන වෙනස් ආකාරයක නිර්මාණ දෙක රූපවාහිනියෙන් ඉදිරියේ දී දැකගන්න ලැබෙයි.

නිදුක් මදුෂික/ඡායාරූප මිහිර බණ්ඩාර